"සිත් හැරීම සම්පූර්ණ වන්නේ යළි පව් නොකිරීමට ඇති කරගන්නා අධිෂ්ඨානයෙන්" - සැබෑ සිත් මාරුවේ පරීක්ෂාව සුදොතුම් පියතුමා විස්තර කරයි

Pope Francis: Conversion requires a resolve to sin no more


(2019 අප්‍රේල් 7)
යළි පව් නොකිරීමට ඇති කරගන්නා දැඩි අධිෂ්ඨානය සිත් හැරීම සම්පුර්ණ වීමට අත්‍යවශ්‍ය සාධකය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"සෑම සැබෑ සිත් මාරුවකම අරමුණ නව අනාගතයකි. නව ජීවිතයකි, සොඳුරු ජීවිතයකි. පාපයෙන් තොර ජීවිතයකි. ත්‍යාගශීලි ජීවිතයකි. මන්ද උන්වහන්සේ නැවුම් ජීවිතයක දොරටු විවෘත කරන නිසා" යැයි ප්‍රැන්සිස් සුදොත්ම පියතුමා කීවේය. "චතාරික කාලය යනු සිය පාපී බව පිළිගෙන දෙවියන් වහන්සේ ගෙන් ඊට සමාව ඉල්ලා සිටීමට කතෝලික ජනතාව කැඳවනු ලබන සමයයි. පව් සමාව පෙරළා  දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය ඇතිකර අප තුළ සාමය ඇති කරන අතර නව කතාවක් ආරම්භ කිරීමට අපට සහය වෙයි."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අප්‍රේල් 7 වැනිදා ඉරිදා මධ්‍යාහ්නයේ එතුමන් ගේ තුන්කාල ආරාධනා මරිය දැහැනට සම්බන්ධ වීම සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන් අමතමිනි. මෙදින එතුමා තුන්කාල ආරාධනා දැහැනේ භාවනාවට පාදක කර ගත්තේ එම ඉරුදින දිව්‍ය පූජාවේ කියවන ලද ජුවාම් තුමාගේ  සුබ අස්නේ කොටසයි. එනම්  ගල් ගස මරාදැමීම සඳහා ජේසු සමිඳුන් ඉදිරියට පමුණුවන ලද පව්කාර ස්ත්‍රිය පිලිබඳ  සිද්ධියයි. ඔවුන් ගේ අරමුණ වී තිබුණේ පව්කාර ස්ත්‍රීන්ට ගල් ගසා මර දමන ලෙස ඉගැන්වූ  මෝසස් තුමා ගේ නීතිය පාදක කරගනිමින් ජේසු සමිඳුන් වැරැද්දකට පටලවා ගැනීමයි.

" මේ සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක හිර වී සිටින පරිසිවරුන් සහ ලේකම්වරුන්  විනිශ්චය සහ දඬුවම් පිලිබඳ ඔවුන් ගේ දැක්ම අනුව මනුෂ්‍ය පුත්‍රයා කොටු කර ගැනීමට උත්සාහ කරමින් සිටියා. එහෙත් උන්වහන්සේ මෙලොවට පැමිණියේ විනිශ්චය කිරීමට හෝ දඬුවම් කිරීමට හෝ නොවේ. එහෙත් ජනතාව ගලවා ගෙන ඔවුනට නව ජීවනයක් ලබා දීමටයි," යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

මෙම සුපුවත් සිද්ධිය තුළ එන ආකල්පමය ගැටුම එතුමා පෙන්වා දුන්නේය:  "මෙම සිද්ධිය වෙනස් ආකල්ප දෙකක්  අතර අසමානතාව ප්‍රදර්ශනය කරනවා. එක පැත්තකින් පරිසිවරුන් සහ ලේකම්වරුන්. ඔවුනට අවශ්‍ය වන්නේ මේ ස්ත්‍රීය මරණයට තීන්දු කිරීමටයි. මන්ද තමන් නීතියේ සහ එය විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීමේ භාරකරුවන් බව ඔවුන් විශ්වාස කරන නිසයි. ඒ වෙනුවට ජේසු සමිඳුන්ට අවශ්‍ය වන්නේ ඇය ගලවා ගැනීමටයි. මන්ද උන්වහන්සේ  සමාව දීම මගින් ගලවා ගන්නාවූ ද, සමගි සන්ධානය කරන්නා වූ ද, නවතාවට පත්කරන්නා  වූ ද දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ මාංශගත වූ තැනැන්වහන්සේ  නිසයි."

පරිසිවරුන් සහ ලේකම්වරුන් තමන් වැරැද්දට පටලවා ගැනීමට යෙදූ මෙම උපායට ජේසු සමිඳුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය එතුමා පැහැදිලි කළේය: "මෙම 'පරීක්ෂණය'ට ජේසු සමිඳුන් ගේ පිළිතුර වූයේ නිශ්ශබ්දව සිට, බිමට නැමී, කසල මත ලියන්නට පටන් ගැනීමයි. උන්වහන්සේ එසේ කළේ එකම නීති සම්පාදකයාත් එකම විනිශ්චයකාරයාත් නීතිය ගලෙක ලියා දුන් දෙවියන්  වහන්සේම  බව සිහිපත් කිරීමට වාගෙයි."

"ඉන් පසුව උන්වහන්සේ මෙසේ පවසනවා: 'ඔබ අතරේ පාපයක් නොමැති තැනැත්තේ ඇයට ප්‍රථම ගල ගසාවා!' මෙසේ කීම මගින් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ පරිසින් ගේ සහ ලේකම්වරුන් ගේ හෘදය සාක්ෂියටයි. ඒ මගින් උන්වහන්සේ ඔවුන් ගේ ම පව්කාරකම ඔවුනට සිහිපත් කරනවා."

"එසේ කියා උන්වහන්සේ යළිත් කසළ මත ලියන්නට ගන්නවා. උන්වහන්සේ යළිත් හිස ඔසවන විට ඔවුන් සියල්ලෝම එතැනින් ඉවත් වී ගිහින්. ඉතිරිව සිටින්නේ උන්වහන්සේත් එම ස්ත්‍රියත් පමණයි: එනම් 'දයා කරුණාවත් පව්කාරකමත්' පමණයි" යැයි ශු. අගොස්තීනු තුමන් මේ සිද්ධිය ගැන කළ භාවනාව මතක් කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"ඉන් පසුව ජේසු සමිඳුන් එම ස්ත්‍රියට මෙසේ ආරාධනා කරනවා. 'යන්න. මෙතැන් සිට යළිත් පව් නොකරන්න.' මේ මගින් ජේසු සමිඳුන් ඇය  ඉදිරියේ නව මාවතක් විවෘත කරනවා. එය දයා කරුණාවෙන් ජනිත කරන ලද මාවතක්. එය යළිත් පව් නොකරන්නට ඇය වෙතින් කැපවීමක් ඉල්ලා සිටින මාවතක්."

මෙය ජේසු සමිඳුන් අනුයන අප සියල්ලනට කෙරෙන අභියෝගයක් හා ආරාධනයක් ද බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය:
එය අප සෑම කෙනෙකුටමත් අදාළ වන ආරාධනයක්. ජේසු සමිඳුන් අපට සමාව දෙන විට උන්වහන්සේ අපට ඉදිරියට පා නගන්නට නැවුම් මාවතක් විවෘත කරනවා."

මෙම සුපුවත් පණිවිඩය කිතුනු ජනතාවට  කරන දෙවන ආරාධනය හා අභියෝගය වන්නේ අන්‍යයන් පිලිබඳ වැරදී කතා කිරීම සහ ඔවුන් විනිශ්චය කිරීමෙන් වැළකී සිටීම බව සුදොතුම් පියතුමා කියා සිටියේය:
"අපත් පව්කාරයන් බව අවබෝධ කරගැනීමට මේ සුපුවත් ජවනිකාව අපට ආරාධනා කරනවා. ඒ මගින් අන්‍යයන් අපකීර්තියට පත්කිරීමට , ඔවුන් විනිශ්චය කිරීමට , ඕපා දූප කතා කිරීමට අප අතට ගන්න ගල් අපේ අත්වලින් වැටෙන්නට ඉඩ හරින ලෙස මේ සිද්ධිය අපට ආරාධනා කරනවා."

සුදොතුම් පියතුමා භාවනාව අවසන් කලේ අපට දයා කරුණාවේ නැවුම් මාවත් විවෘත කිරීම මැදිහත් වන ලෙස දයා කරුණාවේ මාතාවන් වන මරිය මෑණියන්ට යාච්ඥා කරමිනි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය