"ජේසු ගේ හදවත තුළ පාපයට වඩා වැදගත් වන්නේ පව්කාරයායි" - සුදොතුම් පියතුමා පාපොච්චාරණයේ වැදගත්කම පහදයි

"In Jesus' heart, the sinner is more important than the sin" 


(2019 අප්‍රේල් 07)
ජේසු සමිඳුන් පව්කාරයන් දකින්නේ නීතියට අනුව දඬුවම් දිය යුතු අපරාධකරුවන් හෝ නීතිය කඩන්නන් ලෙස නොව පාපයෙන් නිදහස ලැබිය යුතු හා බලාපොරොත්තුව ඇති කරගත යුතු ජනතාවක් ලෙස බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "අප තුළ ඇති නපුරෙන්, නීතිය විසින් වැළක්විය හැකි නමුත් ඉවත්කළ නොහැකි නපුරෙන්,  ශුද්ධාත්මයාණන් ගේ බලයෙන් අපට  නිදහස ලබා දෙන්නේ ජේසු සමිඳාණන් ය"යි එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් මාර්තු 29 වැනිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පවත්වන ලද පශ්චාත්තාපික මෙහෙය ආරම්භ කරමිනි. එදින පැවැත්වුණු 24 පැය සමගි සන්ධාන දේවප්‍රසාද  නිධාන (පාපොච්චාරණ) දිනය ආරම්භ කරමින් මෙම මෙහෙය පැවැත්විණි.

ධර්ම දේශනයෙන් පසුව හෘදය සාක්ෂිය පරීක්ෂාව  සඳහා නිහඬ යැදුම් කාලයක් ලබා දී තිබිණි. එය අවසානයේ සිය ජනවන්දනා ඇඳුම් උනාලූ  සුදොතුම් පියතුමා දෙව්මැදුරේ පාපොච්චාරණ ආසනයක් වෙත ගොස් එහි දණගසා එහි සිටි පියතුමා හමුවේ පාපොච්චාරනයකර ගත්තේය. ඉන් අනතුරුව එතුමා ද පාපොච්චාරණ අසුනක වාඩිවී විශ්වාසිකයනට එම දේව ප්‍රසාද නිධානය ලබා දුන්නේය. පුදැදුරු, රදගුරු හිමිවරු රැසක් එදින පාපොච්චාරණය දීම සඳහා එහි පැමිණ සිටියහ.

මෙම මෙහෙයේ ධර්ම දේශනය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තෝරාගෙන  තිබුනේ ජුවාම් සුබ අස්නේ එන, පරිසිවරුන් විසින් පාපයේ යෙදී සිටියදී හසු වූ  ස්ත්‍රියක් ගල් ගසා මරා දැමීම සඳහා ජේසු සමිඳුන් ඉදිරියට ගෙන ඒමේ සිද්ධියයි. "මෝසස් ගේ නීතියට අනුව එම පව්කාර ස්ත්‍රියට ගල් ගසා මරා දැමීම කල යුතු දැයි" ඔව්හු සමිඳුන් ගෙන් ප්‍රශ්න කළහ.

"ඔබ අතරේ පාපයක් නොමැති තැනැත්තේ ඇයට පළමු ගල ගසන්නැ"යි ජේසු සමිඳාණෝ පිළිතුරු දුන්හ. ඉන් පසුව උන්වහන්සේ හිස පහත්  කරගෙන පොළොවේ ලියන්නට පටන් ගත් සේක.

උන්වහන්සේ මෙම උපදේශය දුන් පසුව "වැඩිහිටියාගේ පටන් එහි සිටි සියලු දෙනා එතනින් ඉවත්ව ගියා" යි ශු. අගෝස්තීනු තුමන් මේ සිද්ධිය ගැන ලියූ මෙනෙහි කිරීම් ගෙනෙහර පාමින් කතා කල සුදොතුම් පියතුමා  කියා සිටියේය.
"අවසානයේ දී ඉතුරු වූයේ ජේසු සමිඳුන් හා එම පව්කාර ස්ත්‍රිය පමණයි: දයා කරුණාව සහ දුක්ඛිතකම.මන්ද උන්වහන්සේගේ නෙත්  ඉදිරියේ වටිනාකම වන්නේ 'එම කාන්තාව, එම පුද්ගලයා' යන්න පමණයි."

"ක්‍රිස්තුන් වහන්සේට පව්කාරයා පාපයට වඩා ඉදිරියෙන් සිටිනවා. දෙවියන් වහන්සේ  ගේ හදවත තුළ  ප්‍රථමයෙන් සිටින්නේ ඔබ, මා, සහ අප සියලු දෙනායි;   වැරැදි, නීති, විනිශ්චයන්, සහ අපගේ අසාර්ථකත්වයන් නොතකා ප්‍රථමයෙන් උන්වහන්සේ ගේ හදවත දකින්නේ අපවයි" යි එතුමා විස්තර කළේය. 

නපුර පරාජය කිරීමට අත්‍යවශ්‍ය බලය

"දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය නොමැතිව නපුර පරාජය කළ නොහැකි බව කිතුනුවන්  මතක තබා ගත යුතු යයි  සුදොතුම් පියතුමා කීවේය. "මේ නිසා සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය යනු සමාව  දී  අප සුවපත් කරන සමිඳුන්ට අප හද තුළ ඉඩ ලබා දෙන දිව්‍ය තිලිණයයි."

"පව් සමාව නැවුම් ආරම්භයකි. එය පාපොච්චාරණ ආසනයෙන් සෑම අවස්ථාවකම නික්මෙන එකිනෙකට සමාන ඡායාස්ථ පිටපතක් නොවේ." යි එතුමා අවධාරණය කළේය. "පුදැදුරු තුමෙකු මගින් අප අපගේ පාප වලට සමාව ලබා ගැනීම, සෑම  අවස්ථාවකම නැවුම්, සුවිශේෂී, අනූපම, අසමසම අත්දැකීමකි. ඒ එක් එක් අවස්ථාවේ දී, සුබ අස්නේ එන ස්ත්‍රිය මෙන්, අපි අපගේ දුක්ඛිතකම් සහ චෝදකයන් සමග හුදෙකලා වීමේ සිට, අපට නැවුම් ආරම්භයක් ලබා දෙන ස්වාමීන් වහන්සේ විසින් නැගිටුවනු ලැබ  දිරිමත් කිරීම වෙත ගමන් කරමු." 

කුරුසියට නෙත් යොමන්න 

පාපොච්චාරණයෙන් පසුව කුරුසියේ ප්‍රතිමාවක් වෙත නෙත් සිත් යොමාගෙන ටික වෙලාවක් ගත කරන්නැයි එතුමා විශ්වාසිකයන් ගෙන් ඉල්ලා සිටියේය."අප පාපයේ යෙදී සිටියත් ස්වාමීන් වහන්සේ අප වෙත ඇඟිල්ල දික් නොකර ඒ වෙනුවට එම පාප වල බර තමන් වහන්සේම දරාගෙන කුරුසිය මත දෑත් දිගහැරගත් බව එසේ සිටින විට අපට සිහිපත් වෙයි."

"පාපොච්චාරණ සක්‍රමේන්තුවේ හදවත වන්නේ අප ප්‍රකාශ කරන පාප නොවේ; අපට ඒ සක්‍රමේන්තුවෙන් ගලා එන, අපට අනිවාර්යයෙන්  අත්‍යවශ්‍ය දිව්‍ය ප්‍රේමයයි" සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

පාපොච්චාරණය යළි යළිත් කර කරත් අප යළි යළිත් පාපයට වැටීම ගැන අප තුළ හටගැනෙන සැකය හා  සංකාව ගැන ද සුදොතුම් පියතුමා පහදා දුන්නේය.
"අප තුළ තව දුරටත් සැකයක් පවතීවි: 'පාපොච්චාරණය තේරුමක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. මම හැම විටම එකම පාප වල යෙදෙනවා' කියා අපට හැඟේවී. එහෙත් ස්වාමීන්වහන්සේ අපව දන්නවා. අපගේ අභ්‍යන්තරික අරගලය  අමාරු බව උන්වහන්සේ දන්නවා. අප දුර්වල බවත් අප වැටෙන්නට ඇති නැඹුරුව වැඩි බවත් උන්වහන්සේ දන්නවා. වැරැදි කරන්නට අප නිතර පෙළඹෙන බවත් අප අතින් ඊට ඉඩ හැරෙන බවත් උන්වහන්සේ දන්නවා. මේ නිසා  නිතරම යහපත කරන්නට පෙළඹෙන ලෙස,  ඒ සඳහා  උන්වහන්සේ ගේ දයා කරුණාව ඉල්ලන්නට පෙළඹෙන ලෙස උන්වහන්සේ යෝජනා  කරනවා"



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය