"පෙර සංකල්ප ඉවතලා යොවුන් ජනතාවට සවන් දෙන්න! ඔවුන් තුළ දැල්වෙන ගිනි සිළුවට දැල්වෙන්නට ඉඩ දෙන්න! යොවුන් ජනතාවෙනි, ක්‍රිස්තුන් වහන්සේ සජීවීය; ඔබ ද සජීවී වන්න!" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අලුත්ම අපෝස්තලික සන්දේශයෙන් යොවුන් පරපුර අමතයි

"Set aside preconceptions and listen  to the young; Appreciate the little flame continues to burn in them. Young People, Christ is alive and he wants you to be alive" - Holy Father speaks to the youth in the new Apostolic Exhortation 


(2019 අප්‍රේල් 6)
යොවුන් ජනතාව කතෝලික සභාවේ අනාගතය නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ඔවුන් කතෝලික සභාවේ වර්තමානයයි. යොවුන් ජනතාවට සාවධානව සවන් දෙනු වෙනුවට ඔවුන්ගේ ගැටළුවලට කළින් ඇසුරුම් කරන ලද පිළිතුරු ලබා දීමේත්  කළින් සකස් කරගන්නා ලද විසඳුම් ලබදීමේත් ප්‍රවනතාවක් පවතියි. එහෙත් මෙවැනි පටු පූර්ව සංකල්ප ඉවත ලා සභාව යොවුන් ජනතාවට සවන් දෙන්නේ නම් එම  සහකම්පනය විසින් සභාව පෝෂණය කෙරෙනු ඇති බව එතුමා පෙන්වා දෙයි.

යොවුන් ජනතාවට දෙමාපියකු, එඬේරෙකු හෝ මග පෙන්වන්නෙකු වීමට කැඳවන ලද කෙනෙකු ඔවුන් තුළ දැල්වෙන පුංචි ගිනි දළුව අගය කිරීමට තරම් දූරදර්ශි විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. තරුණ ජීවිත වල "අන්‍යයන් තාප්ප දකින තැන්වල නව  මාවත් දැකීමටත් අන්‍යයන්  මහත් අනතුරක් දකින තැන්වල විභවයක් දැකීමටත්" වැඩිහිටියන්  හා මග පෙන්වන්නන් බුද්ධිමත් විය යුතු බව ද එතුමා සඳහන් කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම උපදේශ දෙන්නේ  ඉකුත්දා නිකුත් කරන ලද ලොව පුරා සිටින කිතුනු තරුණ තරුණියන් අමතා ලියූ සිය පශ්චාත්-සිනෝඩ අපෝස්තලික සන්දේශයෙනි.

"ක්‍රිස්තුන් වහන්සේ සජීවියි" (Christus Vivit  හෙවත් Christ Lives)නමැති  එතුමා ගේ අලුත්ම අපෝස්තලික සංදේශය අප්‍රේල් 2 වැනිදා නිකුත් කෙරිණි. එය මෙදින නිකුත් කලත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට අත්සන් තබා තිබුනේ දේව මාතා වහන්සේට මංගලම් කීමේ මංගල්‍යය සමරන ලද මාර්තු 25 වැනිදාය.

මෙම අපෝස්තලික සංදේශය එතුමා ලියා ඇත්තේ ඉකුත් වසරේ පවත්වන ලද තරුණයන්  පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේදී සාකච්ඡා වූ කරුණු පාදක කරගනිමිනි.

මේ මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කෙලින්ම ආමන්ත්‍රණය කරන්නේ කිතුනු තරුණ තරුණියන්ටයි. ඒ හැරුණු කොට යොවුන් ජනතාව සමග කටයුතු කරන  වැඩිහිටියනට, එඬේරුනට (පුදැදුරු, රදගුරු, පැවිදි) සහ මගපෙන්වන්නට ද එතුමා උපදෙස් ලබා දී තිබේ.

රිද්මය

"ජේසු සමිඳුන් සජීවියි. මේ නිසා ඔබද සජීවී වන්න. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක. ඔබ ගලවා ගත් සේක. උන්වහන්සේ ලෝකය තුළත් ඔබගේ ජීවිතය තුළත්  නොකඩවා ජීවත් වන සේක. ජේසු සමිඳුන් සහ උන්වහන්සේ ගේ සභාව සමග ප්‍රේමයෙන් බැඳෙන්න. ජීවිතය පූර්ණ ලෙස ජීවත් වෙන්න.  උන්වහන්සේ ගේ මෙහෙවරට ක්‍රියාශීලීව සම්බන්ධ වන්න" යන්න සුදොතුම් පියතුමා මේ සංදේශයෙන් තරුණ පරපුරට දෙන පණිවිඩය යි.

"ජීවිතය" "ජීවත්වීම" "සජීවියි" (ජීවමානයි ) ("Life," "living," "alive" ) යන සක්‍රීය, ජවය සහ ශක්තිය පිරි වදන් මෙම සංදේශය පුරා පුණ පුණා යොදා ගෙන තිබේ.සංදේශය  පුරාම ජනිත වන්නේ යොවුන් ජනතාවගේ රිද්මය වන ජවසම්පන්න බවයි; ක්‍රියාශීලි බවයි. ක්‍රිස්තුන් වහන්සේ යොවුන් ජනතාවට ප්‍රේම කරන ආකාරය ගැන එතුමා කතා කරන  පරිච්ඡේද දිව්‍ය ආදරය ගැන  ප්‍රබන්ධිත  සොඳුරු  කවි ගීතිකා වැන්න.

අපෝස්තලික  සංදේශය ආරම්භයේම සුදොතුම් පියතුමා යොවුන් රිද්මයෙන් සිය පණිවිඩයට මුල පුරා තිබේ. ඒ මෙසේය:
"ක්‍රිස්තුන් වහන්සේ සජීවියි. උන්වහන්සේ  අපගේ බලාපොරොත්තුවයි. උන්වහන්සේ අසිරිමත් අයුරින් අපට යෞවනය ගෙන එන සේක. උන්වහන්සේ ස්පර්ශ කරන සෑම දෙයක්ම යෞවනයට පත්වෙයි; නවතාවට පත්වෙයි; ජීවිතයෙන් පිරී යයි. මේ නිසා සෑම යොවුන් කිතුනුවකුටම මා කියන්නට කැමති ප්‍රථම වදන් මේවායි: 'ක්‍රිස්තුන් වහන්සේ සජීවියි; ඔබද සජීවී වනු දැකීම උන්වහන්සේ ගේ අපේක්ෂාවයි!"

"උන්වහන්සේ ඔබ තුළ ය. ඔබ සමගය. කිසි විටෙකත් එතුමාණෝ ඔබ අතහැර නොදමන සේක; ඔබට පිටුනොපාන සේක. කෙතරම් ඈතක ඔබ සැරිසැරුවත්, එතුමාණෝ, උත්ථාන වූ තැනැත්තානෝ, සැමවිට එතැනය. ඔබ කැඳවන එතුමාණෝ ආපසු ඔබ එතුමන් වෙත හැරී අවුත්, යළිත් මුල සිට පටන් ගන්නා තෙක් ඉවසිල්ලෙන් බලා සිටින සේක.  ශෝකයෙන්, බියෙන්, අමනාපයෙන් , සැකයෙන් හෝ අසමත් වීමෙන් ඔබ වයසට පත් වූ විට ඔබගේ ධෛර්යය සහ බලාපොරොත්තුව යළි  ගොඩනංවන්නට එතුමාණෝ එතන සිටින සේක. "

"මම මෙම අපෝස්තලික සංදේශයෙන් මහත් සෙනෙහසින් කිතුනු යොවුන් ජනතාවට ආමන්ත්‍රණය කරමි. මෙහි අරමුණ ඇදහිල්ල තුළින් ජනිත වූ අපගේ නිශ්චිත විශ්වාසයන් කිහිපයක් ගැන ඔබට මතක් කරදෙන අතර ශුද්ධවන්තකමින් වර්ධනය වෙමින් ඔබගේ  පෞද්ගලික කැඳවීමට වඩ  වඩා කැපවන ලෙස ඔබ දිරිමත් කිරීමය."

අපෝස්තලික සංදේශය ආරම්භ  වන්නේ එසේය.

අන්තර්ගතය: තරුණයන් මුහුණ දෙන අභියෝග සහ දේව ජනතාව ඊට ප්‍රතිචාර දැක්විය  යුතු ආකාරය

තරුණයන්  පිලිබඳ සිනොඩ් කතිකාවේ අවසන් ලේඛන  මෙන්ම පූර්ව-සිනොඩ් ලේඛනය ද පාදක කරගන්නා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය යොවුන් සහ යොවුන් වැඩිහිටි වැඩසටහන් නිසි කාලීන වෙනස්කම් වලට ලක් කරං මෙන් සයලු රදගුරු පදවි සහ මීසම් වලින් ඉල්ලා සිටියි.

"තරුණ ජනතාව වෙත් සමීප විය යුත්තේ ඔවුනට දේශනා කිරීමෙන් නොව ප්‍රේමයේ ව්‍යාකරණයෙනි. යොවුන් ජනතාව තේරුම් ගන්නා භාෂාව කතා කළ හැකිවන්නේ ජීවිතය විකිරණය කළ හැකි අයට, ඔවුන් වෙනුවෙන් එතැන සිටින අයට සහ ඔවුන් සමග සිටින  අයට, එසේම සිය සීමා හා දුර්වලතා නොතකා අවංකව සිය ඇදහිල්ල ජීවත් කල හැකි අයට  පමණි. "


අවදානමට බිය නොවන්න

"වැරැදි සිදුවීමේ  අවකාශය තිබුණත් අවදානමක් ගැනීමට බිය නොවන්න. නිර්වින්දනයට ලක් වූවකු සේ ජීවිතය ඔස්සේ ගමන් නොකරන්න. සංචාරකයන් සේ ජීවිතයට ප්‍රවේශ නොවන්න. ඝෝෂාවක් ඇතිකරන්න! " යැයි තරුණ ජනතාව ඍජුව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"අනෙකුත් යොවුන් ජනතාව වෙතත් යොමු වන්න. එසේ ඔවුන් වෙත පිවිසෙන විට ජේසු සමිඳුන්  ගැන සඳහන් කරන්නට බිය නොවන්න...ක්‍රිස්තුන් වහන්සේ අප මත වත්කරන ප්‍රේමයෙන්ම උන්වහන්සේට ප්‍රේම කිරීමට ද අපට හැකිය. එසේම උන්වහන්සේ විසින් පිහිටුවනු ලැබූ මිත්‍රත්ව හවුලේ තමන්ට හිමි ස්ථානය  අන්‍යයන්ද  ගනු පිණිස එම ප්‍රේමයම අන්‍යයන් සමග ද බෙදා ගැනීමට අපට හැකි" යයි සුදොතුම් පියතුමා කියි.

 යොවුන් දූත මෙහෙවර

තරුණ ජනතාව පිලිබඳ දූත සේවාව ප්‍රභූ පැලැන්තියේ සේවාවක් නොවිය බව සමස්ත දේව ජනතාව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  "යොවුන් දූත සේවාවේදී අවධානය යොමු විය යුත්තේ මේ වන විට  සභා ජීවිතය තුළ   සක්‍රීයව සිටින යෞවනයන් සහ වැඩිහිටි තරුණ තරුණියන් කෙරෙහි පමණක් නොවන බව ද එතුමා සඳහන් කරයි.

ආදර්ශ

කිතුනු තරුණයා ගේ කැඳවීම ගැන නිදර්ශන සඳහා පැරණි ගිවිසුමෙන් නව ගිවිසුමෙන් මෙන්ම ජේසු සමිඳුන් ගේ ජීවිතයෙන් ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පුළුල් ලෙස තොරතුරු හා පුද්ගලයන් උපුටා දක්වා තිබේ. එපමණක් නොව නුතන අභියෝග වලට මුහුණ දීමේ දී හා නූතන ගැටලුවලට පිළියම් සෙවීමේ දී ආදර්ශයට ගත හැකි යොවුන් සාන්තුවරුන් ගැන ද එතුමා සවිස්තරව සඳහා කර ඇත.

 කොළඹ අගරදගුරු පදවියේ යොවුන් වසර ද සැමැරෙන මෙසමයේ "ක්‍රිස්තුන් වහස්නේ සජීවියි" අපෝස්තලික සංදේශය තරුණ තරුණියන්ට සේ ම ඔවුනට මග පෙන්වන වැඩිහිටි , එඬේරසියල්ලනට මහඟු අත්පොතකි,







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය