"සේවය කිරීම: ජේසු ගේ නීතියත් සුපුවතේ නීතියත් එයයි - අධිපති බව හෝ සැමටම ඉහළින් සිටීම නොවේ" - සිරකරුවන් ගේ පාද දෝවනය කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

"The rule of service:this is the rule of Jesus and the rule of the Gospel; not of dominating, of humiliating others. Service.” Holy Father says at the Mass of the Lord's Supper


(2019 අප්‍රේල් 19)
සේවකයකු ගේ හදවතින් එකිනෙකාට සලකන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුශාසනා කරයි. රෝමයේ සිරගෙදරකදී පවත්වන ලද සිය මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමින් එතුමා මෙම ඉල්ලීම කළේය.

"ජීවිතයේ ප්‍රශ්න තිබෙන බව ඇත්තක්. අප එකිනෙකා අතර රණ්ඩු සරුවල් ඇතිවෙනවා," එම දිව්‍ය පුජාවට එක්වූ සිරකරුවන් අමතමින් සුදොතුම් පියතුමා කීවේය. "එහෙත් එය අප පසුකරගෙන යන දෙයක් විය යුතුයි. අපෙන් ඉවත්ව යන දෙයක් විය යුතුයි. මන්ද අප හදවත් තුළ නිරන්තරයෙන්ම  තිබිය යුත්තේ අන්‍යයන්ට සේවය කිරීමට ඇති ආදරය පමණයි; අන් අයගේ සේවාවට කැපවීමේ අභිලාශය පමණයි," යි එතුමා කීවේය.

"සේවාවේ නීතිය. මෙයයි ජේසු සමිඳුන් ගේ නීතිය. මෙයයි සුපුවතේ නීතිය. අන්‍යයන් මත බලපැවැත්වීම හෝ අධිපතීත්වය හෝ නපුරුකම් කිරීම හෝ අන්‍යයන්ට නින්දා පැමිණවීම හෝ නොවෙයි.  සේවාවයි," යි එතුමා අවධාරණය කළේය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර මහ බ්‍රහස්පතින්දා සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ  දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයට දකුණු දිගින් පිහිටි වෙලෙත්ත්‍රි පිරිමි බන්ධනාගාරයේ ය. මෙය එතුමා සිය ධුර කාළය තුළ මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සිරගෙදරක දී පැවැත්වූ පස් වැනි වතාවයි.

දිව්‍ය පූජාවේ මෙම ධර්ම දේශනයෙන්  පසුව සුදොතුම් පියතුමා මෙදින ජනවන්දනාවට අනුව සිර කරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කිරීමේ පිළිවෙත ඉටු කළේය. මෙම 12 දෙනා අතර නව දෙනෙකු ඉතාලි ජාතිකයන් වූ අතර මොරොක්කෝව, අයිවරි කෝස්ට් සහ බ්‍රසීලය යන රටවලින් එක් කෙනා බැගින් වූහ.

පාද දෝවනය කිරීමේ  සිරිත 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනයේ දී ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් ගේ පාද දෝවනය කිරීමේ අරුත පැහැදිලි කළේය. එය උන්වහන්සේ ගේ සමයේ ජුදා දේශයේ සිටි සේවකයන් හෝ වහලුන් විසින් ඉටු කරන ලද චාරිත්‍රයක් බව එතුමා පැහැදිළි කළේය. එසමයේ එම දේශයේ මං මාවත් දූවිල්ලෙන් පිරී තිබිණි. මේ මාර්ග වල ඇවිදින විට ඔවුන්ගේ පාද කිලිටි විය. මේ නිසා අමුත්තකු භෝජන සංග්‍රහයක් සඳහා ගෙදරට පැමිණි විට ඔවුන්ගේ දෙපා දොවා ඔවුන් පිළිගැනීම ජුදෙව්වන් ගේ සිරිත විය. එහෙත් මෙලෙස  පාද දෝවනය කරන ලද්දේ එම නිවසේ සිටි වහලකු හෝ සේවකයකු විසිනි. එය කිසි විටෙකත් පවුලේ නායකයා විසින් ඉටුකරන ලද චාරිත්‍රයක් නොවීය.

එහෙත්  සිය ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනයට හිඳ ගත් ජේසු සමිඳුන් ඔවුන් ගේ පාද දෝවනය කරමින් සේවකයා ගේ සහ වහලාගේ ස්ථානය ගත් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"දැන් ජේසු සමිඳුන් එම ක්‍රියාව ඉටු කරනවා. උන්වහන්සේ ඔවුන් ගේ පාද දෝවනය කරමින් සේවකයා ගේ ක්‍රියාව කරනවා. උන්වහන්සේ, එනම්, සියලු බලය හිමි තැනැන්වහන්සේ, සියල්ලේ සහ සියල්ලන් ගේ ස්වාමීන් වහන්සේ සේවකයා බවට පත්වෙනවා," යි එතුමා පැහැදිලි කෙළේය.

"ඔබත් මේ ක්‍රියාව ම කරන්න"

ජේසු සමිඳුන් ගේ මෙම ක්‍රියාව සඳහන් වන්නේ ජුවාම් තුමා ගේ සුබ අස්නේය. එම සුබ අස්නට අනුව ඊළඟට සිදුවන දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

"මෙම ක්‍රියාව අවසන් වී සිය ශ්‍රාවකයන් දෙස හැරෙන ජේසු සමිඳුන් 'ඔබ ද එකිනෙකාට මෙසේ කරන්නැ'යි උපදෙස් දෙනවා. වෙනත් වචන වලින් කියන්නේ නම් උන්වහන්සේ පවසන්නේ මෙයයි: ඔබත් එකිනෙකාට සේවය කරන්න. සේවය තුළ එකිනෙකාට සහෝදරයන් වන්න. කීර්තියට හෝ උසස්වීමට ඇති අභිලාෂයෙන් නොහොත් උන්නතිකාමයෙන් නොවේ. අන්‍යයන් මත බලය පවත්වන හෝ අන්‍යයන් පාගා දමා තමා අධිපති වීමට තැත්කරන කෙනෙකු ලෙස නොවේ. නැහැ. සේවාව තුළ සහෝදරයන් වන්න" යි එතුමා අවධාරණය කළේය. "ඔබගේ ආකල්පය විය යුත්තේ මෙයයි: 'ඔබට යමක් ඕනැද? යම් සේවයක්? මම එය  කරන්නම්' යන්නයි" යි එතුමා පැහැදිළි කළේය.

රදගුරු තුමා - හොඳම සේවකයා 

සැබෑ සහෝදරත්වය යනු මෙය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"මේ අනුව සෑම වසරකම  මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳුන් අනුගමනය කරමින් පාද දෝවනය කන ලෙස සභාව රදගුරු තුමාට ආරාධනා කරනවා," යි එතුමා කීවේය.
"ඊට හේතුව රදගුරු තුමා ඉතාම වැදගත් පුද්ගලයා නිසා නොවේ. එතුමා ඉතා  හොඳම  සේවකයා විය යුතු නිසයි."





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය