නෙත් සිත් කම්පනය කළ "දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයා" ගේ ඉඟිතය හෙවත් යුද වැදී සිටින දේශපාලන නායකයන් ඉදිරියේ දණින් වැටීමේ සංඥාවේ වැදගත්කම

The significance of Pope Francis’ gesture of Kneeling down and kissing the feet of South Sudanese leaders 


(2019 අප්‍රේල් 12)
දකුණු සූඩානයේ සාමය ඇති කිරීමේ අරමුණින් එරට ඉහළම දේශපාලන නායකයන් වෙනුවෙන් වතිකානයේ දී  පවත්වන ලද ධර්ම විවේකය අවසානයේ , "සාමයෙන් ජීවත් වන්නැයි සහෝදරයකු වගේ මම ඔබෙන් ඉල්ලනවා" යයි කියමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම නායකයන් ඉදිරියේ දණින් වැටී ඔවුන් ගේ පාද සිප ගැනීම සමස්ත ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජන මාධ්‍ය හා ජනතාව අතර දැඩි කතා බහට ලක්වී  තිබේ.  සුදොතුම් පියතුමාගේ ම බැහැපත් නිවස වන සාන්තා මාර්තා තානායමේදී පවත්වන ලද මෙම ධර්ම විවේකය අවසානයේ සිය අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කරමින් සුදොතුම් පියතුමා කල මෙම ක්‍රියාව හෙවත් ඉඟිතය මවිතයක් මෙන්ම සිත් තුළ මහත් කම්පනයක් ද  ඇති කර තිබීම ඊට හේතුවයි.

සුදොතුම් පියතුමා ගේ මෙම ක්‍රියාව එහි සැබෑ සන්දර්භය තුළ විශ්ලේෂණය කල විට එහි අන්තර්ගත බලවත්  පණිවිඩය තේරුම් ගත හැකිය.

සුදොතුම් පියතුමා දකුණු සූඩානයේ ජනාධිපති සල්වා කියීර් සහ උප ජනාධිපති වරුන් ලෙස නම්කර සිටින ප්‍රතිවිරුද්ධ ගෝත්‍රවලට අයත් නායකයන් ඉදිරියේ වැඳවැටී ඔවුන් ගේ පා සිප ගත්තේය. මෙම ක්‍රියාව තුළ පවතින්නේ ධර්මදානීය පණිවිඩයකි. එතුළ බලවත් චිත්ත රූපයක් සටහන් වී තිබේ. එය තේරුම් ගත හැක්කේ මෙම දෙදින ධර්ම විවේකයේ අරමුණ හා එම ධර්ම විවේක  පරිසරය තේරුම් ගැනීමෙනි.

සිවිල් යුද්ධ කිහිපයකින් පසුව 2011 දී සූඩාන ජනරජයෙන් නිදහස ලැබූ දකුණු සූඩානය ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. එහෙත් ඒ සමගම නව රට තුළ ගෝත්‍රික සටන් පටන් ගත්තේය. 2013 සිට ගෝත්‍රික සටන් සිවිල් යුද්ධයක් දක්වා දරුණු අතට හැරිණි. මෙම සිවිල් යුද්ධය නිසා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උන් හිටි තැන්වලින් පලා ගොස් සරණාගතයන් බවට පත් වූහ. තවත් දස දහස් සංඛ්‍යාත පිරිසක් මරුමුවට පත් වූහ. නැතහොත් තුවාල ලබා ආබාධිතයන් බවට පත්වූහ. මෙම ගැටුම් අවසන් කිරීම සඳහා 2018 සැප්තැම්බර මාසයේ දී තවත් සාම ගිවිසුමට අත්සන් තැබූවත් විශේෂයෙන් ගෝත්‍ර දෙකකට අයත් ජනාධිපති සහ උප ජනාධිපති දෙදෙනා අතර ඇති වූ මත ගැටුම් නිසා  රට යළිත් සිවිල් යුද්ධයක් වෙත අවතීර්ණ වීමේ දැඩි  අවදානම මතු වී තිබිණි.

දකුණු සූඩානය ක්‍රිස්තියානින් බහුතරයක් වෙසෙන නැගෙනහිර -මධ්‍යම අප්‍රිකානු රටකි. එරට ජනතාව මුහුණ දී සිටින මේ වේදනාවෙන් හා ව්‍යසනයෙන් ගලවා ගැනීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දීර්ඝ කාලීන අභිලාෂයක් වී තිබුණේය. එංගලන්ත සභාවේ ආධ්‍යාත්මික නායක කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි අගරදගුරු තුමන් විසින් සකස් කරන ලද ධර්ම විවේක සැලැස්මට අනුමැතිය දෙමින් යුද වැදී සිටින දකුණු සූඩාන නායකයන් එතුමා වතිකානයට ආරාධනා කලේ මේ නිසාය.

එය දේශපාලනික හෝ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් වෙනුවට ජේසු සමිඳුන් ගේ ප්‍රේමයේ බැල්ම හා ඇරැයුම  ඉදිරියේ යුද වැදී සිටින පාර්ශව මුහුණට මුහුණ හමුවීමක් වූයේය. යාච්ඥාවේ සහ භාවනාවේ සමගි සන්ධාන අත්දැකීමක් වූයේය. "කිතුනු ජනතාව සාමය අයැද  සිටින්නේ දෙවියන් වහන්සේ ගෙන්ය" යි මේ සම්බන්ධයෙන් කතු වැකියක් ලියන වතිකාන නිල වෙබ් අඩවියේ ඇන්ඩ්‍රියා ටොර්නියෙල්ලි පවසයි. "වෛරයේ සහ යුද්ධයේ ගොදුරු ව බවට පත්වන ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජීවිතවල පූජා සහ පරිත්‍යාග ඉදිරියේ මෙම සාමය අයැදීම වඩ වඩාත් තීව්ර වේ," යි ටොර්නියෙල්ලි  පෙන්වා දෙයි.  එම පදනම මත  සුදොතුම් පියතුමන් වෙසෙන වතිකානයේ සාන්තා මාර්තා තානායමේ දී  මේ දෙදින තුළ කිසියම් දෙයක් සිදු වන්නට  ඇතැයි සිතිය හැකිය.

ධර්ම විවේකයේ සමාප්ති දේශනය පවත්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසිනි. එතුමා මෙම යුද්ධයෙන් අසරණ වූ, සරනාගත  වූ, නෑසියන් අහිමි වූ වැනි සකල විධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී අසරණ වූ කෝටි සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් මහත් වේදනාවට පත්ව සිටින බව මෙම දේශනයේ දී පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එකම රටක නිදහස දිනාගත් සහෝදර ජනතාවක් මෙම යුද ගින්නෙන් ඇවිලී විනාශ වෙමින් සිටින ආකාරය එතුමා ගේ දොම්නසට හේතු වී තිබිණි. මේ නිසා ජනතාව මෙම අසරණ භාවයෙන් මුදාගැනීමට දහම් සේවකයකු සේ යා හැකි ඕනෑම දුරක් යන්නට එතුමා අදිටන් කරගෙන සිටින බව පෙනෙන්නට තිබිණි.

"පාප් වහන්සේ" යන්න කතෝලික සභාවේ දෘශ්‍යමාන නායකයාට දී ඇති පටබැඳි  නමක් "nick name" පමණි. එම ධුරයේ එක්  සැබෑ නිල නාමයක් වන්නේ "දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයා" (“Servant of the Servants of God”) යන්නයි. මේ අනුව පසුගිය වසර 6 තුළ සැබෑ සේවකයකු ගේ ගැඹුර මොනවට ජීවත්කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රටක  සාමය වෙනුවෙන් "සේවකයක-නායකයකුට" කළ හැකි පරිත්‍යාගයක තරම - බැහැපත් විය හැකි තරම - මේ මොහොතේ ලොව කම්පනය කරමින් ප්‍රදර්ශනය කළේය.

මඳක් නවතින්න. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඳ වැටී සාමය වෙනුවෙන් පාද  සිප ගැනීමේ මෙම ක්‍රියාව කලේ මේ බ්‍රහස්පතින්දා ය.  ලබන බ්‍රහස්පතින්දා - අප්‍රේල් 18 වනදා - සමස්ත කිතුනු ලෝකයම වැඳ වැටී පාද සිප ගැනීමේ අසමසම අවස්ථාව සිහිපත් කරයි. එනම්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ප්‍රමුඛ සමස්ත කිතුනු ජනතාවගේම සවර්ගීය ස්වාමියාණන් -  ජේසු සමිඳාණන් - එදා ජුදා සමාජයේ දාසයකු හෝ වහලකු ගේ ස්ථානය ගනිමින් තමන් දිවි පූජා කිරීමට පෙර දින සන්ධ්‍යාවේ සිය ශ්‍රාවකයන් ඉදිරියේ දනින් වැටී ඔවුන්ගේ ගේ පාද දෝවනය කොට සිප ගැනීමේ අවස්ථාවයි. හුදෙක් මහ බ්‍රහස්පතිදා චාරිත්‍රයට පමණක්  සීමා වී තිබුණු මේ ඉඟිතය ඉන් ඔබ්බට ගෙන යමින් ප්‍රබල සාම සේවක පණිවිඩයක් දෙන්නට මේ "දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයා" ගේ ඉඟිතය සමත් වී තිබේ.

"රෝමයේ රදගුරුතුමා" යන්න පාප් වහන්සේ ගේ තවත් සැබෑ නිල නාමයකි. මන්ද අග්‍ර ශ්‍රාවක පේදුරු තුමා රෝමයේ ප්‍රථම  රදගුරුතුමා වූ බැවිනි. මෙම සේවක - රදගුරු සංකල්ප දෙකත් මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳුන් දුන් දුන් පාඩමත් පදනම් කරගනිමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අතිශය වැදගත් උත්සවයක දී මෙසේ කීවේය:
"රදගුරුවරුන් තමනට භාර වූ බැටළු රැලේ සැබෑ "ක්‍රිස්තු නියෝජිතයන්" (vicarius Christi) බවට පත්වන්නේ ඔවුන් එම දේව ජනතාව ගේ සේවකයන් වන තරමට ය; එනම් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිය අපෝස්තුළුවරුන් අබියස නැවතී, පහත් වී පා දෝවනය කල ජේසු සමිඳුන්  ගේ නියෝජිතයන් ය. ඊට සමාන දැක්ම තුළ, පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා (පාප් වහන්සේ) සමිඳුන් ගේ සේවකයන් ගේ සේවකයා පමණි. අපි මෙය කිසිදා අමතක නොකරමු: එනම්, ඊයේ, අද සහ නිරන්තරයෙන් ම, අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයයි; අපගේ බලය කුරුසියේ බලයයි" (2015 ඔක්තෝබර 17 වැනිදා පැවැත්වුණු රදගුරු සිනොඩ් කතිකාවට වසර 50ක් සපිරීමේ උත්සවයේදී.)

ඉතිහාසයේ තවත් සුමිහිරි අවස්තාවක් 

මීට කළින් තවත් "දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයෙක්" දනින් වැටුනේය. ඒ අද අප ප්‍රතිඵල ලබන දෙවන වතිකාන කථිකාව සමාප්තියට පත් කල සවැනි පාවුළු පාප් තුමාය.

සභා භේදයෙන් පසුව රෝමයේ සහ කොන්ස්තන්තිනෝපලයේ සභා  අන්‍යෝන්‍ය වශයෙන් නෙරපා හරිනු ලැබීම අහෝසි කරනු ලැබීමේ 10 වැනි සංවත්සරය සවැනි පාවුළු පාප් තුමා ගේ ප්‍රධානත්වයෙන් 1975 දෙසැම්බර 14 වනදා රෝමයේ දී පවත්වනු ලැබිණි. එම දිව්‍ය පූජාව අවසානයේ සිය පූජා වස්ත්‍ර පිටින්ම පුදසුනින් බැස ආ සවැනි පාවුළු පාප් තුමා එහි පැමිණ සිටි ඕතඩොක්ස් සභාවේ නායක දෙමිත්‍රියොස් පේත්‍රියාක් තුමාගේ නියෝජිත චැල්සිදෝනියාවේ අගරදගුරු මෙලිතොන් හිමියන් ඉදිරිපිට දණින් වැඳ වැටුනේය.

උද්යෝගිමත්ව අන්තර් කිතුනු එකමුතුව සෙවූ එම "සේවකයන් ගේ සේවකයා" සිය බැහැපත් සේවක කමට සාක්ෂි දැරුවේ එසේය.

කිතුනු සහෝදර සහෝදරියන් අතර ප්‍රේමය තහවුරු කිරීම හෝ වෙනත් සහෝදරයකු හෝ සහෝදරියක ගේ හදවත දිව්‍ය ප්‍රේමයෙන් ස්පර්ශ කිරීම හෝ යුද ගිණි වැනි විවිධ දුක්ඛ දෝමනස්ස වලින් පීඩා විඳින සහෝදර සහෝදරියන්ට සහනයක් ගෙන එමින් සාමය සහ සමගි සන්ධානය ඇති කිරීම වැනි උතුම් අරමුණු දිනා ගැනීම සඳහා සිය ස්වර්ගීය ස්වාමියාණන් අනුගමනය කිරීමට දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයන් බිය වී නොමැති බවත් පසුබට නොවන බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන ගේ මෙම ක්‍රියාවෙන් තහවුරු වේ. 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය