"සාමයට අවස්ථාවක් දී 'ජාතියේ පිතෘවරුන්' වීමේ භාග්‍ය ලබන්න" - දකුණු සූඩාන නායකයන් ඉදිරියේ දනින් වැටෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි

Holy Father kneels at the feet of the leaders of South Sudan; begs them to give peace a chance and be worthy 'Fathers of the Nation"


(2019 අප්‍රේල් 11)
දකුණු සූඩානයේ යුද වැදී සිටින ප්‍රතිවිරුද්ධ පාර්ශව වල නායකයන් වෙනුවෙන් පැවැත්වුණු ඉතාමත් අසාමාන්‍ය ආධ්‍යාත්මික ධර්ම විවේකය අවසානයේ සිය දේශනය කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම නායකයන් ඉදිරියේ දනින් වැටෙමින් රටේ සාමය, සංහිඳියාව, සමගි සන්ධානය  සහ යුක්තිය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නයි ඔවුන්ට ආයාචනා කරයි.  එසේ කරමින් ජාතියේ පියවරුන් වීමේ භාග්‍ය ලබන්නයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

ඉකුත් දින දෙක පුරා මෙම ධර්ම විවේකය පැවැත්වුනේ සුදොතුම් පියතුමා ගේ ගෙදර වන වතිකානයේ ශාන්ත මාර්තා තානායමේ දී ය. 2018 සැප්තැම්බර මාසයේ ඇතිකරගන්නා  ලද සාම සම්මුතියෙන් පසුව පත්වූ එරට ජනාධිපති සල්වා සියීර් සහ උප ජනාධිපති මණ්ඩලයත් කතෝලික සහ ක්‍රිස්තියානි රදගුරු හිමිවරු කිහිප දෙනෙකුත් ඊට සහභාගී වුහ.

ධර්ම විවේකය අවසන් කරන ලද්දේ සුදොතුම් පියතුමා  ගේ දේශනයෙනි. ශාලාවට පිවිසි එතුමා මුලින්ම පිටපත් කර තිබූ අවසන් කිරීමේ දේශනය කළේය. ඉන් පසුව සිය අසුනෙන් නැගී සිටි එතුමා පිටපතක් නොමැතිව දකුණු සූඩාන ජනාධිපති සල්වා සියිර් ප්‍රමුඛ ජනාධිපති කණ්ඩායමට ඉතා  හෘදයංගමව කතා කළේය.

"සාම ගිවිසුමට අත්සන් තැබූ ඔබ තුන් දෙනාගෙන් මම සහෝදරයෙක් වගේ  ඉල්ලනවා. සාමයෙන් ජීවත් වෙන්න!" යි ඔවුන් දෙස එක එල්ලේ බලමින් එතුමා ආයාචනා කළේය. "මම මගේ හදවතින්ම ඉල්ලනවා, අපි ඉදිරියට යමු. ප්‍රශ්න හුඟක් ඇති වේවි. එහෙත් බිය වෙන්න එපා!"

"ඔබ සාම ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. එය යහපත්ව අවසන් වීමට ඉඩ සලසන්න. ඔබ අතරේ එකඟ නොවීම්, මත භේද තිබේවි. එහෙත් එම මත  භේද ඔබගේ කාර්යාලයට සීමා කරන්න. ඔබගේ ජනතාව ඉදිරියේ ඔබ එකිනෙකා ගේ දෑත් අල්ලාගන්න. මේ ආකාරයෙන් ඔබ සාමාන්‍ය පුරවැසියන් ගේ සිට ජාතියේ පිතෘවරුන් ලෙස පරිවර්තනය වේවි!"යි එතුමා කීවේය.

ඉන් පසුව සිය පරිවර්තක පියතුමා සමග ජනාධිපති සහ උප ජනාධිපති මණ්ඩලයේ සාමාජිකයන් වෙත පා නැගූ එතුමා, කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමින් ඔවුන් ඉදිරියේ දනින් වැටෙමින් රටේ "සාමය, සමගි සන්ධානය හා යුක්තිය" වෙනුවෙන් අත්වැල් බැඳගන්නැයි ඔවුනට ආයාචනා කළේය. 

ඊට කලින් සිය ලිඛිත කතා පිටපතින්  සුදොතුම් පියතුමා ජේසු සමිඳුන් ගේ "ආයාචනාත්මක බැල්ම" ගැන භාවනා කළේය.

එතුමා සිය දේශනය ආරම්භ කලේ උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ඒ වන විට අධෛර්යයට හා බියට පත්ව සිටි ශ්‍රාවකයන්ට කල සුබ පැතීමෙනි. එනම් "ඔබට සාමය වේවා!" යන්නයි.

"සාමය අපගේ  ස්වාමීන් වහන්සේ අපට ගෙන  ආ තිළිණයයි. එසේම එය ජාතීන් ගේ නායකයන් ලුහුබැඳ යා යුතු ප්‍රථම වගකීමයි. සාමය යනු සෑම පුද්ගකයකු ගේම අයිතිවාසිකම් සහතික කරන මූලික කොන්දේසියයි. සාමය යනු සමස්ත ජනතාවක ගේ ම පූර්ණ සංවර්ධනය සහතික කෙරෙන මූලික කොන්දේසියයි" එතුමා අවධාරණය කළේය.

දෙවියන් වහන්සේ ගේ බැල්ම 

අප තුළ පවතින සත්‍යය දකිනා වූ ද අප සත්‍යය වෙත පූර්ණ වශයෙන් ගෙන යන්නා වු ද දෙවියන් වහන්සේ ගේ ආයාචනාත්මක බැල්ම ඉදිරියේ අප සිටින බව සෑම ධර්ම විවේකයකදීම අපට හැඟී යා යුතු යැයි  සුදොතුම් පියතුමා කීවේය. ඉන් පසු එතුමා ශු. පේදුරු  තුමා දෙස ජේසු සමිඳුන් මහත් ඕනෑකමින් බලා සිටි අවස්ථා තුන මතක් කර දුන්නේ ය.

වෙරළේ දී  පේදුරු තුමා කැඳවූ මොහොත, එනම් එතුමා තෝරාගත් මොහොත, දෙවනුව පේදුරු තුමන් විසින් ජේසු  සමිඳුන් නොදන්නා බවට තෙවරක් ප්‍රතික්ෂේප කල මොහොත සහ පේදුරු තුමා තමාට ප්‍රේම කරන බවට සමිඳුන් එතුමා ගෙන්  තෙවරක් පොරොන්දු ගත මොහොත යන අවස්ථා තුනයි.

"උන්වහන්සේ මේ මොහොතේ, මේ දැන්, අප එකිනෙකා දෙස බලා සිටින  සේක. ඒමේ බැල්ම දෙස අපගේ ද නෙත් යොමු කිරීම වැදගත් ය. එසේ උන්වහන්සේ ගේ නෙත් දෙස බලා අප අපගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුය. එනම් 'දෙවියන් වහන්සේ උන්වහන්සේ ගේ ජනතාව ගේ යහපත උදෙසා මගේ මෙහෙවර කුමක් ද? ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේ ම වෙත පවරන වගකීම කුමක්ද?' යන්නයි," යි එතුමා කීවේය. 

"වඩා යුක්තිසහගත සහ සාධාරණ ලෝකයක් ගොඩ නැගීමේ කාර්යයේ දී අපව තමන් වහන්සේ ගේ  සම ක්‍රියාකාරීන් කරගනිමින් දෙවියන් වහන්සේ අප කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. උන්වහන්සේ ගේ බැල්ම අපගේ හදවත පතුලටම විනිවිද යනවා," ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

ජනතාව ගේ බැල්ම 

නායකයන් වෙත යොමු වී ඇති තවත් බැල්මක් වන්නේ ජනතාව ගේ බැල්ම බව සුදොතුම් පියතුමා කීවේය. "ජනතාව ගේ මෙම බැල්මෙන් ප්‍රකාශ වන්නේ යුක්තිය, සාමය සහ සමගි සන්ධානය සඳහා ඔවුන් තුළ පවතින උග්‍ර අභිලාෂයයි," යයි එතුමා පෙන්වා දුන්නේය.

දකුණු සූඩානයේ පවතින සිවිල් යුද්ධය නිසා අවතැන් වූ, නිවාස අහි වූ, සිය දෙමාපියන් හා නෑසියන් අහිමි වූ සියලු දෙනා වෙත තමා මුළු හදවතින්ම සමීප වන බවත් ඔවුන් සිය යැදුම් තුළ සිටින බවත් සුදොතුම් පියතුමා එම අවස්ථාවේ එඅරට නායකයනට දැන්වීය. "මේ දුක් විඳින ජනතාව ගැන මම නිතර සිහිපත් කරමි. "යුඋද්ධයේ ගිනි දළු ඉක්මනින් නිවී යත්වා යි මම යාච්ඥා කරමි. එසේ වී මේ සියලු දෙනාට ආපසු සිය ගෙවල් වලට ගොස් සැනසීමෙන් ජීවත් වීමට ලැබේවායි මම යදිමි." 


සබැඳි පුවත


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය