"බලාපොරොත්තුව පොඩිකර දමන, හදවත් අවහිර කරන ගල් දොරටු තල්ලුකර දමන්නැයි (මරණයේ) ලෙන් දොර බිඳ දැමූ සමිඳුන්ගෙන් ඉල්ලන්න" - පාස්කු මංගල්‍ය රාත්‍රී පූජාවේ දී සුදොතුම් පියතුමා කියයි (Being Updated)

Pope at Easter Vigil: Roll away the stones that crush hope


(2019 අප්‍රේල් 20)

"ජීවමාන තැනැන්වහන්සේ ඔබ මළවුන් අතර සොයන්නේ මන්ද?"
වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී අප්‍රේල් 20 වැනිදා - ආලේලූයියා සෙනසුරාදා - රාත්‍රී පැවැත්වුණු පාස්කු මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පුරා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළි යළිත් සිහිපත් කළ පණිවිඩය එයයි.

කතෝලික ජනවන්දනාව අතර  ආනන්දයෙන් සිත් පහන් කරන්නා වූද, අර්ථ පූර්ණ සලකුණු රැසකින් සමන්විත වූද අති සුන්දරම ජනවන්දනා මෙහෙය පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය බව බොහෝ දෙනෙකුගේ අදහසයි. ශුද්ධවූ සෙනසුරාදා හෙවත් ආලේලූයියා සෙනසුරාදා ඇඳිරි වැටීමෙන් පසුව පවත්වනු ලබන මෙම මෙහෙය ප්‍රීතිමත් පාස්කු සමයට ප්‍රබල ආරම්භයක් ලබා දෙයි.  ගින්දර, ආලෝකය, සංගීතය සහ ප්‍රසාද ස්නාපන ජලය යන බලාපොරොත්තුවේ සහ පුනර්ජීවනයේ ප්‍රබල සංකේත ඔස්සේ එම මෙහෙය ආනන්දමත් පාස්කුව උදා කරයි.

සිරිත් පරිදි වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී එම දිව්‍ය පූජාව පවත්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙනි.

ගල් ලෙනේ ලෙන් දොර තල්ලු කිරීම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පාස්කු රාත්‍රී ධර්ම දේශනය ආරම්භ කලේ ජේසු සමිඳුන් ගේ සිරුර ආලේප කිරීමට සුගන්ධ ද්‍රව්‍ය රැගෙන සිරුර තැන්පත් කර තිබූ ගල්ලෙන වෙත ගිය ස්ත්‍රීන් තිදෙනා ගේ සිතුවමෙනි. ඔවුන් ගේ සිතිවිලි වලිනි.

ගල්ලෙනට ඇතුළුවීමට බාධා කරමින් එය හරස් කොට තබා තිබූ ලෙන් දොර ඔවුනට සිහිපත් විය. මේ නිසා මේ ගමන නිෂ්ඵල එකක් වනු ඇත්දැයි ඔව්හු බියටත් ශෝකයටත් පත්වූහ.

"මේ ස්ත්‍රීන් තිදෙනා ගේ ගමන අපේ ගමනමයි," සුදොතුම් පියතුමා කීවේය. "සෑම  දෙයක්ම සොහොන් ගැබක සෙල්මුවා දොරටුවකින් කෙලවර වන බව, එවැනි ගල් දොරටුවකින් අවහිර වන බව ජීවිතයේ සමහර අවස්ථාවල පෙනෙන්නට තිබේ. ..බිඳ වැටුණු බලාපොරොත්තුව  ජීවිතයේ නීරස නීතිය යයි සිතන්නට අප පෙළඹෙන අවස්ථා තිබේ."

"එහෙත් අපේ ගමන නිෂ්ඵල ගමනක් නොවන බව අද අපි දකිමු," එතුමා පාස්කුවේ බලාපොරොත්තුවේ පණිවිඩය ගෙන හැර පාමින් කියා සිටියේය.
"පාස්කුව යනු සොහොන් ගල් ඉවත් කරනු ලැබූ මංගල්‍යයයි. ගල්කුළු පෙරළනු ලැබූ මංගල්‍යයයි. අපගේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා සහ අපේක්ෂා බිඳ වට්ටන මරණය, පාපය, බිය සහ ලෞකිකත්වය වැනි  අතිශයින් දැඩි  ගල්කුළු දෙවියන් වහන්සේ ඉවත් කරන සේක. මානව ඉතිහාසය සොහොන් ගැබක සෙල්මුවා දොරටුව ඉදිරිපිටින් අවසන් නොවේ. මන්ද, අද 'ජීවමාන පර්වතය' ඊට මුණගැසෙන නිසාය. එම ජීවමාන පර්වතය නම් උත්ථාන වූ ජේසු සමිඳාණෝ ය."

Comments

  1. පාප් තුමා පවසන "ජීවමාන තැනැන්වහන්සේ" වැඩ සිටින්නේ කොහේද? පාප් තුමාගේ දෙසුම් එසේම සඳහන් කරනාතර,ඒවායින් පැවසෙන ද්වනිතාර්ථ(ජීවමාන තැනැන්වහන්සේ...බඳු) සරලව විග්‍රහ කෙරෙතොත් ! ජීවමාන...යනු...ජීවත්වන...හමුවන අයට පෙනෙන.. යනුයි. ඒ අරුතින් ඇත්තටම කිතු හිමි අද ජීවමානද? එය විශ්වාස කළයුතු සත්‍යයකැයි පවසා මේ ගැටලුවට පිළිතුරු නො සපයා සිටිය හැකි. ඒත් අද බිහිවන නව ලෝකය ඒ පිළිතුරෙන් සෑහීමට පත්වන්නේ නැහැ. මා මේ ප්‍රශ්නය නගන්නේ විශ්වාස හීනතාවක් නිසා නො වේ. කිතුනු නො වන අයට, ධර්ම ප්‍රචාරක බවින් තොරව, සැබෑ කිතුහිමි
    හඳුන්වාදීමට උත්සාහ දරන්නෙකු ලෙසය.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය