"ජෙරුසලෙම සමස්ත මානව ප්‍රජාවේ සාමයේ සහ සහජීවනයේ සංකේතයක් වීම සඳහා එය සියළු විශ්වාසයනට විවෘත පෙදෙසක් ලෙස පිළිගන්න"- සුදොතුම් පියතුමා සහ මොරොක්කෝවේ රජුගෙන් ඒකාබද්ධ ඉල්ලීමක්

"Let Jerusalem remain open to all faiths" - Pope Francis and Moroccan king sign a joint  appeal 


(2019 මාර්තු 31)
ජෙරුසලෙම් ශුද්ධ නුවර ජුදෙව්, ක්‍රිස්තියානි සහ මුසොල්මාන යන ත්‍රිත්ව ආගමිකයනට එක්ව මුණගැසිය හැකි නගරයක් ලෙස සංරක්ෂණය කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාත් මොරොක්කෝවේ සවැනි මොහොමඩ් රජුත් එකාබද්ධව ඉල්ලා සිටිති.

සුදොතුම් පියතුමා මොරොක්කෝවට පැමිණි ප්‍රථම දිනයේම (මාර්තු 30) එරට රජු නිල වශයෙන් හමුවීමෙන් පසුව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබමින් ඔව්හු  මෙම ආයාචනය කළහ.

ඉස්ලාම් බැතිමතුන් "අල් කුඩ්ස්" යනුවෙන් හඳුන්වන ජෙරුසලම "අසම සම සහ පූජනීය" ලක්ෂණයෙන්" යුත් නුවරක් බව මෙම ඒකාබද්ධ ලියවිල්ලෙන් පෙන්වා දී තිබේ.  "එහි පවතින ආධ්‍යාත්මික වැදගත් කමත් සාමයේ නුවරක් ලෙස එම නුවර සතුව පවතින අති විශේෂ කැඳවීමත්" නිසා ඒ සම්බන්ධයෙන් සිය සැලකිල්ල යොමු  වී ඇතැයි ඔව්හු ප්‍රකාශ කරති.  එබැවින් සියලු ආගම්වල -විශේෂයෙන් ඒක දේව ආගම් තුනේ - ජනතාවට මුණගැසිය හැකි පොදු උරුමයක් ලෙස එය පිළිගන්නැයි ඔව්හු ඉල්ලා සිටිති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ සවැනි මොහොමඩ් රජු අත්සන් තැබූ එම පොදු ඉල්ලීමේ මෙසේ  ද සඳහන් වේ:

"ජෙරුසලෙම් / අල්-කුඩ්ස් අචරිෆ් ශුද්ධ නුවර මානව ප්‍රජාවේ  - විශේෂයෙන් ඒක දේව ආගම් ත්‍රිත්වයේ අනුගාමිකයන් ගේ - පොදු උරුමයක් ලෙස ද එකිනෙකා මුණගැසීමේ ස්ථානයක් ලෙස සහ අන්‍යෝන්‍ය ගෞරවය සහ සංවාදය වගා කළ හැකි සාමයේ සහ සහජීවනයේ සංකේතයක් ලෙස ද සුරක්ෂිත කිරීම වැදගත් බව අපි සලකමු. 

මේ අරමුණින්, ජෙරුසලෙමේ / අල් කුඩ්ස් අචාරිෆ් හි පවතින සුවිශේෂී බහු ආගමික ලක්ෂණයත්, ආධ්‍යාත්මික අනන්‍යතාවත් විශේෂිත සංස්කෘතික අනන්‍යතාවත් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කල යුතුය. 

එබැවින් ඒක දේව ආගම් ත්‍රිත්වයේ අනුගාමිකයනට ශුද්ධ නුවර තුළට පිවිසීමටත් එහිදී ඔවුන් ගේ ආගමානුකුල  වන්දනාමාන කිරීමටත් අවශ්‍ය නිදහස ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ අනුව ජෙරුසලෙම / අල් කුඩ්ස් තුළ දී  පොළොව මත අනාගත සාමය සහ සහෝදරත්වය ඇති වනු පිණිස  සියල්ලන් ගේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේට සිය යාච්ඥා එසැවීමට එම ආගමික අනුගාමිකයනට හැකි වනු ඇත." 




ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ සවැනි මොහොමඩ් රජු මෙම ආයාචනය කරන්නේ ජෙරුසලෙමේ නොසන්සුන්තාව වෙන කවරදාටත් වඩා ඉහල ගොස් ඇති මොහොතක ය. ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් වසරේ තීරණය කළේය.ඔහු මෙමෙ තීරණය ගත්තේ  දශක ගණනාවක් පුරා අමෙරිකානු ආණ්ඩුව ජෙරුසලෙම සම්බන්ධයෙන් අනුගමනය  කල ප්‍රතිපත්තිය කණපිට හරවමිනි. තවත් රටවල් අතලොස්සක් ඔහු අනුගමනය කරමින් එය පිළිගෙන තිබේ. මේ හැරුණු කොට ඊශ්‍රායෙලය විසින් කිතුනුවනට සහ මුසොල්මානයනට සිය ශුද්ධ ස්ථාන වලට පිවිසීම ද අවහිර කෙරෙමින් විවිධ නීති පනවමින් තිබේ. මෙම ක්‍රියාමාර්ග ජෙරුසලෙමේ සිටින  කිතුනු සහ මුස්ලිම් නායකයන්ගේ  කලනස්සල්ලට හේතු වී ඇත.

මේ අතර මීට ටික කලකට පෙර මොරොක්කෝවට ගිය ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා  රජු ජෙරුසලෙමේ ස්වාධීන තත්වය සුරක්ෂිත කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. ජෙරුසලෙමේ පවතින ඉස්ලාම් ශුද්ධ ස්ථාන පිලිබඳ වගකීම පවතින්නේ ජෝර්දාන් රජු සතුවය.

සුදොතුම් පියතුමා සහ මොරොක්කෝ රජු ගේ ඒකාබද්ධ ඉල්ලීම යොමු කර ඇත්තේ කාටදැයි ඍජුව සඳහන් නොවේ. එහෙත් ජෙරුසලෙමේ වර්තමාන ව්‍යාකුලතාවට සම්බන්ධ වී සිටින  සියලු පාර්ශව වෙත සහ විශේෂයෙන් එහි වගකීම පවතින එක්සත් ජාතීන් ගේ සංවිධානය  වෙත මෙම ආයාචනය යොමු කර තිබෙන බවට ආධ්‍යාර්ථයෙන් තේරුම් ගත හැකිය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය