"කිතු දහම සහ ඉස්ලාම් දහම අතර පාලම් හදමු" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මොරොක්කෝවේදී කියයි

Pope Francis in Morocco: "Let us build bridges" between Christianity and Islam

රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සවැනි මොහොමඩ් රජු විසින් සුදොතුම් පියතුමා පිළිගෙන හමුදා උත්තමාචාරයක් පිළිගැන්විණි

(2019 මාර්තු 30)

ජනතාව අතර 'පාලම්' ගොඩනැගීමේලා ආගම් සතුව පවතින වගකීම හා වැදගත්කම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එසේම ආගමික හෝ වෙනත්  සියලු ආකාරයේ "අන්තවාදයන් සහ ධර්මෝන්මාදයන්" පරාජය කිරීමෙහිලා ආගම සතුව පවතින වැදගත් කම ද එතුමා පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මොරොක්කෝවේ රබාත් අගනුවර දී එරට රජතුමන්, දේශපාලකයන්, රජයේ නිලධාරීන් සහ තානාපති කාර්යාල නියොජිතයන් අමතමිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු 30 වන දා මොරොක්කෝවේ දෙදින අපෝස්තලික සංචාරයක් ආරම්භ කළේය. "සාමයේ පනිවිඩකරුවකු ලෙස" තමා මෙම සංචාරයේ නිරත වන බව එතුමා ප්‍රකාශ කර තිබිණි.

මොරොක්කෝවේ  රබාත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිගන්නා ලද්දේ එරට රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා ද වන 6 වන මොහොමඩ් රජතුමා විසිනි. ඔහු ඉස්ලාම් දහමේ ශාස්තෘවරයා වන මහමත් නබී නායක තුමා ගේ පරපුරෙන් පැවැතෙන්නෙකි. ගුවන් තොටුපලේ දී සුදොතුම් පියතුමන් වෙනුවෙන් රාජකීය හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. ඉන්පසුව රජු සහ සුදොතුම් පියතුමා සමාන්තරව ගමන් කරන දර්ශනීය රිය පෙරහැරකින් නගර මධ්‍යයේ ඇති හසන් සංචාරක මහමළුව වෙත එතුමා කැටුව එන ලදී. 6 වන මොහොමඩ් රජු විසින් සුදොතුම් පියතුමන් නිල වශයෙන් පිළිගනු ලැබීමේ උත්සවය පවත්වන ලද්දේ මෙම මහ මළුවේදී ය. රුපවාහිනි ඔස්සේ සජීවීව ප්‍රචාරය කරන ලද මෙම උත්සවයේදී එහි සිටි සම්භාවනීය අමුත්තන් සහ ජනතාව ඇමතූ සුදොතුම් පියතුමා සිය අපෝස්තලික සංචාරයේ වැදගත්කම පැහැදිලි  කළේය. විශේෂයෙන්ම තමන් මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් දැන් මොරොක්කෝවටත් කල මෙම සංචාරය වැටී ඇත්තේ සාමයේ සාන්තුවරයා වන ශු. ප්‍රැන්සිස් අසීසි තුමන් ඉස්ලාම් නායකයන්  මුණගැසීමේ 800 වැනි සංවත්සරය යෙදී ඇති අවස්ථාවේ බව එතුමා පෙන්වා දුන්නේය.

"සියවස් අටකට පෙර ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් අල්-මලික් අල්-කාමීල් සුල්තාන්වරයා මුණගැසීමේ සංවත්සරය හරියටම යෙදී ඇත්තේ මේ කාලයටය. එම ඓතිහාසික මුණගැසීම සමරන අපට මේ සංචාරය අපගේ ආගම් දෙක අතර අන්තර් සාමයික සුහදතාවත් එම ආගම් අනුගමනය කරන්නත් අතර අන්‍යොන්‍ය අවබෝධයත් ඇති කිරීමේ වැදගත් අවස්ථාවක්  ලබා දී  තිබේ. අටසිය වසරකට පෙර සිදු වූ අනාගතය හෙළි කල එම සිද්ධිය ප්‍රදර්ශනය කරන්නේ එකිනෙකා හමුවීමටත් මිත්‍රත්වයේ දෑත දිගු කිරීමටත්  ඇති ධෛර්යය මානව වර්ගයා තුළ සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා වූ  මාර්ගයක් බවයි.  එසේම අන්තවාදය් සහ වෛරය භේදය සහ විනාශය ඇති කරන බවද එම සිද්ධිය පෙන්වා දෙයි. අපගේ මෙම සංචාරය කිතුනුවන් සහ මුස්ලිම්වරුන් අතර අව්‍යාජ මිත්‍රත්වයේ බැඳීම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගිතාව ශක්තිමත් කොට ඉදිරි පරම්පරා සඳහා වඩාත්  යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇතැයි  අපි බලාපොරොත්තු වෙමු," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

විශේෂයෙන් ම ඉතිහාසයේ මේ මොහොත  අප අතර ඇති  වෙනස්කම් සහ එකිනෙකා ගැන ප්‍රමාණවත් අන්‍යෝන්‍ය දැනුමක් නොමැති  වීම භේදයේත් ගැටුමේත් හේතුවක් බවට පත් කරගැනීමේ අනතුරට යොමු කරන මොහොතකි. එම ඓතිහාසික මොහොතේ  අත්වැල් බැඳගෙන එම අභියෝගයට මුහුණ දීම සඳහා ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව  කැඳවනු ලැබ සිටින  බව එතුමා පෙන්වා දුන්නේය.


රබාත් හි මහ මළුවේ පැවැත්වුණු නිල පිළිගැනීමේ උත්සවය 


අන්තර් කිතුනු සංවාදය

වසර 2012 රබාත් නුවර පිහිටුවාගන්නා ලද අල් මොවාෆකා අන්තර් කිතුනු  ආයතනය ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රශංසා කළේය. මෙය පිහිටුවා ගන්නා ලද්දේ මොරොක්කෝවේ කතෝලික සහ වෙනත් කිතුනු සභා සාමාජිකයන් එක්සත් වීමෙනි. මෙම ආයතනයේ අරමුණ අන්තර් කිතුනු සංවාදය ප්‍රවර්ධනය කිරීම, සස්කෘතිය සහ ඉස්ලාම් දහම සමග සංවාදයයි. "මෙවැනි මුලපිරීම්  වෛරය, ප්‍රචණ්ඩත්වය, අන්තවාදය, සහ අන්ධ ධර්මොන්මාදය නැවැත්වීමේ මාර්ග වේ. එසේම එය මිනීමැරීම්, ත්‍රස්තවාදය, පීඩනය සහ රටින් නෙරපා හැරීම වැනි ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය අවභාවිත කිරීම වැලක්වීමට ද මහත් පිටුවහලක් වේ" යි එතුමා පෙන්වා දුන්නේය.

පරිසරය සුරැකීම සඳහා සහයෝගිතාව

මොරොක්කෝවේ දී පවත්වන ලද COP 22 අන්තර් ජාතික දේශගුණ විපර්යාස සමුළුව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රශංසාත්මකව සිහිපත් කළේය. "දෙවියන් වහන්සේ අපට ජීවත්වීමට සාදා දුන් මේ මිහිතලය ආරක්ෂා කිරීමටත් පූර්ණ මානව සංවර්ධනය උදෙසා අව්‍යාජ පරිසර විද්‍යාත්මක සිත්හැරීමක් ඇතිකර ගැනීමටත් කිතුනුවන් සහ මුස්ලිම්වරුන් එක්සත්ව කටයුතු කිරීම වෙන කවරදාටත් වඩා අද අත්‍යවශ්‍යව ඇතැයි එතුමා පෙන්වා දුන්නේය.

සාංක්‍රමණිකයන් පිළිගැනීම

2018 දෙසැම්බර මාසයේ මොරොක්කෝවේ දී පවත්වන ලද සාංක්‍රමනිකයන පිලිබඳ අන්තර් ජාතික සමුළුව ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කළේය. මෙහිදී ඇති කරගන්න ලද එකඟත්වය සංක්‍රමණිකයන සම්බන්ධයෙන් සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතු අකාරය දක්වන ආරම්භක ලියවිල්ලක් බව සුදොතුම් පියතුමා කීවේය. "එහෙත් සාංක්‍රමනිකයන්   සම්බන්ධයෙන් තවත් කල යුතු දේ තිබේ. විශේෂයෙන් ම එහිදී ගන්නා  ලද නිගමන ප්‍රායෝගික  ක්‍රියා මාර්ග වලට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. මෙහිලා විශේෂයෙන්ම සාංක්‍රමනිකයන සම්බධයෙන් පවතින ආකල්ප වෙනස කරගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සංඛ්‍යාවන් ලෙස නොව පුද්ගලයන් ලෙස ඔවුන් දෙස බැලීමත් එදිනෙදා ජීවිතයේ දී ඔවුන් ගේ අයිතිවාසිකම් සහ ගරුත්වය පිළිගැනීමත් ,ඒ අතර ප්‍රමුඛත්වය ගන්නා බවද ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමාපෙන්වා දුන්නේය.

ආගමික නිදහස කතා කරන්නේ මානව ගරුත්වය ගැනයි 

ආගමික නිදහස සෑම පුද්ගලයකුටම ලැබිය යුතු ගරුත්වය සහ  අයිතිවාසිකම් සමග බැඳී ඇති බව ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"දෙවියන් වහන්සේ මිනිසා මවා වදාළේ සමාන අයිතිවාසිකම්, ගරුත්වය සහ යුතුකම් සහිතව බව ද සහෝදර සහෝදරියන් සේ ජීවත් වෙමින් යහපත්කම, ආදරය සහ සාමය යන වටිනාකම් පැතිරවීමට උන්වහන්සේ මිනිසා කැඳවා ඇති බව ද අපි විශ්වාස කරමු. හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස වෙනස් කල නොහැකි ලෙස මානව ගරුත්වයට බැඳී පවතින්නේ මේ නිසාය. ස්වකීය ආගම ඇදහීමේ නිදහස පමණක් නොව සිය ආගමික විශ්වාසයට අනුව ජීවත් වීමට ද පුද්ගලයකුට අවකාශ ලැබෙන්නේ මේ අනුව ය."

"අව්‍යාජ සංවාදය ජනතාව අතර පාලම් ගොඩ නැගීමෙහි ලා ආගම සතුව පවතින  වැදගත්කම පිළිබඳව අවබෝධයක් ඇති කරයි. සෑම මනුෂ්‍යයකු ගේ ම උත්කර්ෂවත් ගරුත්වයත් ඔහු හෝ ඇය සතු පැහැර  ගත නොහැකි අයිතිවාසිකමුත් ගැන පිළිගැනීමට ජනතාව යොමු කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි වන විශ්වාසයයි."

"මේ නිසා රිස්සුමෙන් ඔබ්බට ගොස්  (tolerance) අන්‍යයන්ට ගරු කොට  ඔවුන් වැදගත් කොට සැලකීම අත්‍යවශ්‍ය වේ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  වැඩි දුරටත්කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය