"මේ කෘරකම් සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද ?" නයිජීරියානු පැවිදි සොයුරියක් රදගුරු හිමිවරුන් ගෙන් අසයි

 Nigerian sister asks bishops: Why did the church allow atrocities of sex abuse to remain secret?

වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය රදගුරු හමුවේ දී

(2019 පෙබරවාරි 24)
"සභාව දැන් පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකය. සභාවක් ලෙස අප දැන් සිටින මේ නින්දිත, අපකීර්තිමත් තත්වයට අප රැගෙනවිත් ඇත්තේ අපගේම මධ්‍යමානතාව, කුහකකම සහ තෘප්තිමත් ස්වභාවයයි" යයි නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය පවසයි. 

"පූජක වරුන්ගේ ළමා අපයෝජනත් රදගුරුවරුන් එම වැරදි ආවරණය කොට ඔවුන් ආරක්ෂා කරන්නට ක්‍රියා කල ආකාරයත් විස්තර කරමින් 2015 දී නිෂ්පාදනය  කළ   “Spotlight,” චිත්‍රපටිය නරඹද්දී මගේ හදවත වේදනාවෙන් දැවුනා. නෙත්වලින් කඳුළු කඩා  හැලුණා. මේ කෘරකම් ආවරණය කර සඟවා තබා ගනිමින් පුදැදුරුවාදී සභාව නිශ්ශබ්දව සිටියේ මන්ද , රදගුරු හිමිවරුනි" ඈ ඍජුව ප්‍රශ්න කරයි.

නයිජීරියාවේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොහොයුරිය රදගුරු හිමිවරුන් ඇතුළු 190ක් වන නියෝජිතයන් ගෙන්  මේ ප්‍රශ්නය නැගුවේ වතිකානයේ පැවැත්වුණු පුදැදුරු ළමා අපයෝජන පිලිබඳ රදගුරු හමුවේ දෙවැනි දිනයේ එය අමතමිනි. ඔපෙනිබෝ සොහොයුරිය ශුද්ධවූ ජේසු බිලිඳු සමාජය නිකායේ පැවිදි සොහොයුරියකි.ඇය නිකාය ශ්‍රේෂ්ඨාධිපතිවරුන් ගේ ජාත්‍යන්තර සංගමයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.

සභාව තමාම දේශනා කරන සදාචාර ප්‍රමිතීන්වලට අනුව ජීවත් වීමට අසමත් වී ඇතැයි වෙරෝනිකා සොයුරිය කියා සිටියාය. 
"අපි දස පනත දේශනා කරමින් ඉහල සදාචාර ප්‍රමිතීන් ගේ භාරකරුවන් ලෙස අපවම ප්‍රදර්ශනය කරමින් සිටිමු. ඇතැම් විට අපි  කුහකයන් ලෙස ක්‍රියා කරනවා නොවේද ? ඔව්," යි ඕ කීවාය.

පූජක ළමා අපයෝජනය යුරෝපයට, ඇමරිකාවට සහ ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වී ඇති බව ප්‍රකාශ කිරීම සත්‍යයෙන් තොර බව ඇය නයිජීරියාවෙන්ම සාක්ෂි සහිතව පෙන්වා දුන්නා ය. එය ආසියාවේ ද අප්‍රිකාවේ ද පැතිර තිබෙන බව අය කියා සිටියාය.

ගෝලීය දකුණේ රටවල් අපයෝජන අර්බුදයට මුහුණ දීමේ දී වෙනත් අර්බුද ඉදිරියට දමා එයින් පලා යාමට හෝ එය අඩු තක්සේරුවට ලක් කිරීමට හෝ තැත් නොකළ යුතු බව වෙරෝනිකා සොයුරිය කියා සිටියාය.
"දුප්පත්කම, රෝගපීඩා, යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අපේ ගෝලීය දකුණු කලාපයට බලපාන වෙනත්  දරුණු ප්‍රශ්න ප්‍රශ්න පෙන්වා දෙමින් ලිංගික අපයෝජනය නොසලකා හැරීම හෝ  අඩුතක්සේරුවට ලක්කිරීම නොකළ යුතුය."

ළමා අපයෝජකයන් වගකීමට ලක්කිරීමේ දී සභා නායකත්වය ගිලගෙන ඇති නිශ්ශබ්දතාව සහ පුදැදුරු අධිපතිවාදීබව මහත් විෂක් බවට පත්වී ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
"රෝමයේ සහ වෙනත් ප්‍රදේශ වල සංචාරය කරද්දී මට පෙනී යන දෙයක් තිබේ. එනම් යොවුන් දෙව්සත්හල් සිසුන් වෙනත් සෑම කෙනෙකුටම  වඩා සුවිශේෂී තත්වයකින් සලකනු ලැබීමයි. මේ හේතුවෙන් ඔව්හු සිය පුහුණුවේ මුල් සමයේ සිටම සිය සමාජ තත්වය උත්කෘෂ්ඨ බවින් සැලකීමට පුරුදු වෙති. මෙම  ආකල්පය නිසා සභාවට සිදුවී ඇති හානිය කෙතරම් ද " යි සොයුරිය ප්‍රශ්න කළාය.

සිය කතාව අවසානයේ වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට "ප්‍රැන්සිස් සොහොයුරාණනි" යි ආමන්ත්‍රණය කළාය. ඇය එසේ කලේ එතුමන් කෙරෙහි දැනෙන  සමීපත්වය මෙන්ම එක් සුවිශේෂී  සිද්ධියක් සම්බන්ධයෙන් එතුමන් කෙරෙහි පවතින දැඩි ගෞරවය ප්‍රකාශ කරනු පිණිසය. එම සිද්ධිය නම් චීලියේ කුප්‍රකට අපයෝජක පූජකවරයකු  ආරක්ෂා කල රදගුරු වරයකු ගැන නැගුන චෝදනා වලදී මුලින්ම එම රදගුරු වරයා ආරක්ෂා කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කටයුතු කිරීමයි. එම රදගුරු වරයාට එල්ල වූ චෝදනා සුදොතුම් පියතුමා හැඳින්වූයේ "මඩගැසීම්" ලෙසයි. එහෙත් පසුව සිත් මාරුවක් ඇතිකරගත් සුදොතුම් පියතුමා ඒ ගැන පූර්ණ විමර්ශනයක්  කොට එම රදගුරුවරයා ගේ ඉල්ලා අස්වීම භාරගත්තේය. ඒ ගැන සිහිපත් කල වෙරෝනිකා ඔපෙනිබෝ පැවිදි සොයුරිය මෙසේ කීවාය.

"සැබෑ ජේසු නිකායිකයකු ලෙස නිශ්චය කිරීමට ( to discern) කාලය ගෙන, ඔබගේ සිත් මාරු කරගැනීමටත් සමාව ඉල්ලීමටත් නිසි පියවර ගැනීමටත්  තරම් නිහතමානී වීම ගැන ප්‍රැන්සිස් සොහොයුරාණනි, මම ඔබ මහත් ගෞරවයෙන් අගය කරමි. එය අප සියල්ලනටම ආදර්ශයකි. ... අප අමුතු ලෙස, අනුවණව,  රහසිගතව සහ අප ගැන තෘප්තිමත්ව (complacently) ක්‍රියා කල තැන්  පරීක්ෂා කර බැලීමට ඔබ අපට ලබා දුන් මෙම අවස්ථාව ගැන මම ඔබට ස්තුති කරමි."

"සභාවට වඩා වැඩි ආලෝකයක් ලැබීම සඳහා අප අතර පවතින නිශ්ශබ්දතාවේ සහ රහස්‍යභාවයේ සංස්කෘතිය බිඳ දැමීමට තීරණාත්මකව ක්‍රියා කිරීමට මෙම හමුව අවස්ථාවක් කරගනිමු" යි ඇය දේශනය සමාප්ත කරමින් ඉල්ලා සිටියාය.
 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය