ප්‍රැන්සිස් සුදොතුම් පිය මෙහෙවර හා භූමිකාව විමැසෙන සම්මන්ත්‍රණයක් කොළඹ දී

"The Prophetic Voice in a time where men and women are considered as garbage and dust"- A conference on the vision and mission of Pope Francis in Colombo 


(2019 පෙබරවාරි 27)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම ධුරයට තේරී පත්වී මේ මාර්තු මාසයට වසර 6ක් සපිරේ.

මෙය නිමිති කරගනිමින් එතුමන් ගේ දැක්ම සහ මෙහෙවරත් සභාව තුළ මෙන්ම ලෝකය තුළ එතුමන් ගේ භූමිකාවත් විමර්ශනයට ලක්කෙරෙන කථිකා කිහිපයක් 2019 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රථම සම්මන්ත්‍රණය නම් කර ඇත්තේ "කසල හා දූවිලි බවට මිනිසුන් හා ගැහැණුන් පත්වන යුගයක  - රාව නැංවෙන දිවැසිවර හඬ" ලෙසයි.

මාර්තු මස 2 වනදා, සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 4.30 දක්වා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී මෙම කතිකාව පැවැත්වේ. මෙය සංවිධාන කරනු ලබන්නේ "අද ජේසු සාමුහිකය" විසිනි.

"ප්‍රැන්සිස් සුදොතුම් පිය පසුබිම" පිළිබඳව ගරු ආචාර්ය ඇලෝයි පීරිස් ජේ. නි. පියතුමා පවත්වන දේශනයකින් කථිකාව ආරම්භ වේ. ඉන්  පසුව  කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්මදානය සහ ආගමික සංවාද දැක්ම විමර්ශනයට ලක්කරයි. ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ සභා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය හා ස්ත්‍රිය, පරිසරය හා සමාජ සාධාරණත්වය, පවුල, ළමයා සහ තරුණයා පිලිබඳ දැක්ම යන මාතෘකා  ගැන ද විමර්ශනය කෙරේ. ගරු රසිකා පීරිස් පැවිදි සොයුරිය, ගරු ජීවන්ත පීරිස් පියතුමා සහ මහින්ද නාමල් මහතා එම විෂයයන් සම්බන්ධයෙන් දේශන පවත්වීමට නියමිතයි.

එක් එක් දේශනයෙන්  පසුව එම මාතෘකා ගැන සාකච්ඡා වටයක් පවත්වනු ලබන බව සංවිධායක මණ්ඩලය කියයි.

සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ නොමිලේය.

"දුප්පත් සභාවක්-දුප්පතුන් ගේ සභාවක්"  පතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය මෙහෙවර ආරම්භ කළේය. සිය ජීවිතයෙන්ම එය ආදර්ශවත්ව ජීවත් කරන එතුමා සියල්ලන් අන්තර්ග්‍රහණය කෙරන, සියල්ලන්ට සමානාත්මතාව  යුක්තිය ඉටුකෙරෙන සමාජයක් ගැන සිය දේශනා වලින් නිතර සිහිපත් කරයි. දෙවි පියාණන් ගේ අසීමිතව මෘදු දයා කරුණාව වෙත හැරී ඇවිත් එම කරුණාවේ සුවය අත්දකින්නැයි එතුමා සියල්ලනට ආරාධනා කරයි.  ප්‍රසාද ස්නාපනයේ පොදු සක්‍රමේන්තුව තුළ එකම පොදු අනන්‍යතාවක් තිබෙන  නමුත් විවිධ හේතු නිසා බෙදී ගිය  කිතුනු  නිකායන් සමග සමගි වීමේ අවංක ගමනක එතුමා නිරත වී සිටියි. වෙනත්  ආගම් වෙත සමගියේ දෑත් දිගු කරන එතුමා සාමය, යුක්තිය, පවුල් තුළ සමගිය, නීති ව්රෝධි මිනිස්  හා කාන්තා ප්‍රවාහනය වැලැක්වීම වැනි මානුෂවාදී ප්‍රයත්න වලදී එක්සත්ව ක්‍රියා කිරීමට ඔවුනට ආරාධනා කරයි. අපගේ පොදු නිවස වන  මිහිතලය රැකීමට එක්වන ලෙස ලෝක නායකයනටත් එක් එක් මිනිසාට හා ගැහැණියටත් ඇරැයුම් කරයි.

වසර හයක් ගතැහැ වීත් එම දිවැසිවර හඬ ලක්දිව වා ගැබට එක්වී ඇති බවක් ප්‍රදර්ශනය නොවේ.

එබැවින් එම දැක්ම හා මෙහෙවර ගැන අවබෝධයක් ලබා ගැනීම හා ශ්‍රී ලංකාව තුළ - ආගමික හෝ වාර්ගික බෙදීමකින් තොරව - එම දැක්ම ක්‍රියාත්මක කල හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීමට මේ කථිකාවට එක්වන ලෙස සියලු පාඨක සහෘද සැමට  "වතිකා සුළඟ" ආරාධනා කරයි. 

Comments

  1. ලක්වාසී අපට ප්‍රැන්සිස් පාප්වහන්සේ ලෝක ආර්ථිකය ගැන පවසා ඇති දේ ගැන යම් අවස්ථාවකදී දී සාකච්ඡාවට බදුන් කිරීම ඉතාමත් වැදගග්. අප රටේ ආර්ථීක ප්‍රතිඵත්තිය සැකසී ඇත්තේ බහුතර ජනතාවගේ ප්‍රයෝජනය සදහා නොවේ. ඒ නිසා තමයි බහුතරය "කසල ගොඩක්" බවට පත් වී ඇත්තේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය