"රදගුරු හිමිවරුන් මනුෂ්‍යත්වයේ තුවාල සමග නිරන්තර ස්පර්ශයෙන් පසුවිය යුතුයි" - මැනිලා නුවර අගරදගරු හිමි පුදැදුරු අපයෝජන සමුළුවේ දී කියයි

Cardinal Tagle: Bishops need to be “constantly in touch with the wounds of humanity.” 


(2019 පෙබරවාරි 23)
ළමා ලිංගික අපචාර අනාගතයේ දී සිදුවීම වැලැක්වීම  සඳහා සමස්ත සභාවම එකට එක්ව තීරණාත්මක ලෙස ක්‍රියා කල යුතු යැයි ඉන්දියාවේ බොම්බායේ අගරදගරු ඔස්වල්ඩ් ග්‍රාසියස් රදගුරු හිමි කියයි. එසේම දැනට එම අපචාරයට ගොදුරු වී සිටින තැනැත්තන් සුවපත් කිරීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කැපවිය යුතු බව ද එතුමා පෙන්වා දෙයි.

කාදිනල් ග්‍රාසියස් හිමි මේ බව කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් කැඳවනු ලැබ  ඇති පූජක ළමා අපචාර පිලිබඳ රදගුරු සමුළුවේ දෙවැනි දින වූ පෙබරවාරි 22 වන දින රැස්වීම්වාරය අමතමිනි. ග්‍රාසියස් හිමි මෙම රදගුරු  හමුවේ සංවිධායක කමිටු සමාජිකයෙක් ද වේ.

ළමයින් සහ අනතුරට ලක්විය හැකි වැඩිහිටියන් ඍජුව අපයෝජනයට ලක්කිරීම කෙතරම් බරපතල වන්නේද, සභාවේ මගපෙන්වීම සහ විධායක වගකීම් සහිත නායකයන් අපයෝජනයට ලක්වූවන් යළිත් ගොදුරු බවට පත්කරගැනීම නිසා ඔවුන් තුළ ඇතිවන තුවාල ඊටත් වඩා බරපතල ස්වභාවයක් ගන්නා බව ග්‍රාසියස් කාදිනල් තුමා පෙන්වා දුන්නේය.

මේ තත්වය වැලැක්වීම සඳහා සියලු රදගුරු හිමිවරුන් පදවි, ජාතික, කලාපීය මෙන්ම ගෝලීය මට්ටමින් එකට එකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව එතුමා පෙන්වා දුන්නේය. මෙම අභියෝගයට තමා මුහුණ දෙන්නේ තනිවම බව කිසිදු සබහා නායකයකුට පැවසිය නොහැකි බව එතුමා කීවෙය. එසේම යුරෝපයේ හෝ ඇමෙරිකාවේ  ළමා අපයෝජන සිදුවූවාට තම පදවියේ හෝ රටේ එය සිදු නොවන බව කිසිදු රදගුරු තුමකුට පැවසිය නොහැකි බව එතුමා අවධාරණය කළේය. " 'මේ ලිංගික අපයෝජන ප්‍රශ්නය මට අදාළ නැහැ. මන්ද මගේ කලාපයේ තත්වය ඊට වඩා වෙනස්' යැයි කිසිදු රදගුරු තුමකුට තමාට පැවැසිය නොහැකිය. අප සෑම කෙනෙකුම සමස්ත සභාවටම වගකීමට බැඳී සිටිමු. අප වගකියන්නටත් වගවෙන්නටත් බැඳී සිටින්නේ එකටය."

බාල වයස්කාරයන් සහ දුර්වල වැඩිහිටියන් ලිංගිකව අපයෝජනය කිරීම සභාව උගන්වන පාපයේ සංකල්පයෙන් ඔබ්බට යන බව ද එතුමා පෙන්වා දුන්නේය. ලෝක නීතිය යටතේ එය දඬුවම් ලැබිය හැකි අපරාධයකි.
"ළමයින් සහ  දුර්වල වැඩිහිටියන් ලිංගිකව අපයෝජනය කිරීම දේව නීතිය සහ සභාවේ නීතිය කඩකරන්නක් පමණක් නොවේ. එය සිවිල් ලෝකය තුළ සාපරාධී හැසිරීමක් ද වේ. සභාව ජීවත් වන්නේ තමා  විසින්ම සාදා ගත් හුදෙකලා වූ ලෝකයක නොවේ. ..මේ නිසා සාපාරාධි ක්‍රියාවක නිරත වූ තැනැත්තකු සිවිල් බලධාරීන් ඉදිරියේ සිය හැසිරීම ගැන වගකිව යුතුව තිබේ. ...සභාව රජයේ නියෝජිතයකු හෝ පාර්ශවකරුවකු නොවූවද සභාව සිවිල් සහ රාජ්‍ය නීතියේ අධිකාරීත්වය පිළිගනියි. ඒ අනුව මෙවැනි අපරාධයකට ගොදුරු වූ තැනැත්තකු වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට සභාව බැඳී සිටියි," යයි ඉන්දියාවේ කාදිනල් තුමා කීවේය. මේ අනුව රාජ්‍යය සහ නීතියේ ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් සමග නිසි සම්බන්ධීකාරණයක් පවත්වා ගනිමින් අපයෝජක පූජකවරුන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව ග්‍රාසියස් කාදිනල් හිමි පෙන්වා දුන්නේය.

පිලිපීනයේ මැනිලා නුවර කාදිනල් ලුවිස් ඇන්ටෝනියෝ තග්ලේ හිමි කියා සිටියේ රදගුරු හිමිවරුන් පූජක ළමා අපයෝජනයෙන් ඇතිවන තුවාල වල බරපතලකම තේරුම් ගත යුතු බවයි. සමුළුවේ ප්‍රථම  දිනයේ අපයෝජනයට ගොදුරුවූ තැනැත්තන් ගේ සාක්ෂි වලට පසුව ප්‍රථම දේශනය පවත්වන ලද්දේ මැනිලා අගරදගුරු  හිමියන් විසිනි.

රදගුරු හිමිවරුන් නිරන්තරයෙන් මනුෂ්‍යත්වයේ තුවාල ස්පර්ශ කර ඒ සමග අඛණ්ඩ සම්බන්ධතාවෙන් සිටිය යුතු බව එතුමා පෙන්වා දුන්නේය. ජේසු සමිඳුන් ගේ උත්ථානයෙන්  පසුව තෝමස් අපෝස්තුලු තුමන් උන්වහන්සේ ගේ තුවාල ස්පර්ශ කිරීමේ සුපුවත් සිද්ධිය කාදිනල් තුමා සිහිපත් කළේය.

"ක්‍රිස්තුන් වහන්සේ ගේ තුවාල ස්පර්ශ කිරීම විශ්වාසයේ ප්‍රකාශනයට පදනම බවට පත්වූවා. තෝමස් තුමන් සේ රදගුරු හිමිවරුන් මනුෂ්‍යත්වයේ තුවාල සමග නිරන්තර ස්පර්ශයෙන් පසුවිය යුතුයි. අපයෝජන අර්බුදයටත් ඒ සම්බන්ධයෙන් වූ සිය වැරදිවලටත්  මුහුණ දීම මගින්, එසේම එයින් වේදනාවට පත්වූවනට උපකාර කිරීම මගින් ඔවුන්ට මෙය කල හැකියි. ...ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානය පිළිබඳව අප දරන ඇදහිල්ලේ සාක්ෂිය විශ්වසනීය සාක්ෂියක් වන්නේ අප ජනතාවගේ තුවාල වලට සමීප වී අපගේ වැරැදි පිළිගන්නේ නම් පමණකි'" යි කාදිනල් තග්ලේ හිමි අවධාරණය කළේය.

ඉන්දියාවේ ග්‍රාසියස් කාදිනල් හිමි සහ පිලිපීනයේ තග්ලේ කාදිනල් හිමි මෙම සමුළුව අමතා දේශන පැවැත්වීම ලිංගික අපයෝජන පිලිබඳ ක්‍රියාධරයන් ගේ විවේචනයට ලක්වී තිබිණි. මේ දෙරටේම පූජක ළමා ලිංගික අපයෝජන පිළිබඳව පැමිණිලි හා චෝදනා වාර්තා  වී තිබිණි. එහෙත් එම රටවල රදගුරු හිමිවරුන් සිය අධිපතිවාදී බලය යොදවා ඊට ගොදුරු වූවන් නිහඬ කර පූජකවරුන් ආරක්ෂා කල බවට චෝදනා එල්ල වී තිබීම ඊට හේතුවයි.

අපයෝජන චෝදනා සම්බන්ධයෙන් තමන් වැරදි කල බව කාදිනල් ඔස්වල්ඩ් ග්‍රාසියස් හිමි බීබීසී රුපවාහිනිය සමග පැවති  සාකච්ඡාවකදී පිළිගත්තේය. එම චෝදනා තමන්ට ලැබුණු අවස්ථාවේ ඊට වඩා යහපත් ආකාරයෙන් ඒවාට ප්‍රතිචාර දැක්වීමට තමාට හැකියාව තිබුණු බව ද එතුමා කියා සිටියේය. තම චෝදනා කාදිනල් තුමාට යොමු කල විට එතුමා ඒවාට ප්‍රතිචාර දැක්වීම හෝ තමන්ට සහය දැක්වීම ප්‍රතික්ෂේප කල බවට ඉන්දියාවේ අපයෝජනයට ගොදුරු වූවන් බීබීසීයට පවසා තිබිණි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය