"යුක්තිය ඉල්ලා හඬන කුඩා වුවන් ගේ වේදනාට සවන් දෙන්න" පූජක ළමා අපයෝජන සමුළුව විවෘත කරමින් සුදොතුම් පියතුමා කියයි; "මේ ව්‍යසනය අවසන් කිරීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්න" එතුමා රදගුරුවරුනට අවධාරණය කරයි.

“Listen to the cry of the little ones” Pope Francis says at abuse summit opening


(2019 පෙබරවාරි 21)
"ඔබ මෙම ස්ථානයට රැස්වූයේ  හුදෙක් (පූජක ළමා අපයෝජන පිලිබඳ) සාමාන්‍ය සහ පැහැදිලි හෙලාදැකීම්  කිරීමට නොවේ. ..ඔබ එකට එක්ව මෙතන රැස්වූයේ යුක්තිය ඉල්ලා හඬන කුඩා වුවන් ගේ වේදනාවට සවන් දීමට" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

"දෙවියන් වහන්සේ ගේ ශුද්ධ වූ ජනතාව අප දෙස බලා සිටින්නේත් අපගෙන් බලාපොරොත්තු වන්නේත් හුදෙක් සරල, පැහැදිලි හෙලාදැකීම් කිරීම නොවේ. මෙම නපුර අවසන් කිරීමට අවශ්‍ය මූර්ත සහ ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමයි" යි එතුමා පෙන්වා දුන්නේ බාල වයස්කාරයන් (පූජක අපයෝජන වලින්) ආරක්ෂා කිරීම පිලිබඳ රදගුරු මහ සමුළුව විවෘත  කරමිනි.

මෙම සමුළුව වතිකානයේ සිනොඩ් ශාලාවේදී අද (පෙබරවාරි 21) ආරම්භ විය. ලොව පුරා කතෝලික රදගුරු සමුළුවල සභාපති හිමිවරුන්, පෙරදිග කතෝලික සභා නායක නියෝජිතයන්, පිරිමි සහ කාන්තා පැවිදි නිකාය  නායකයන් සහ වතිකානයේ නායක හිමිවරුන් ඇතුළත් 190 දෙනෙක් මෙම හමුවට සහභාගී වෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉහත  උපදෙස් දුන්නේ එම සියලුම නියෝජිතයන්  අමතමිනි. 
"සභාවත් සමස්ත මානව සංහතියත් දැඩි පීඩාවට පත් කර තිබෙන මෙම නපුරට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාමුහිකව, අව්‍යාජව සහ ගැඹුරින් සෛනෝඩීයව සාකච්ඡා කිරීමේ  එඬේරික මෙන්ම ශාසනික වගකීමේ බැරෑරුම් බර අප සියල්ලන් මත පැවරී තිබේ" යි එතුමා පෙන්වා දුන්නේය.

"මෙම නපුර වඩා  පුළුල් අවබෝධයක් ලබාගැනීමේත් පවිත්‍ර වීමේත් අවස්තාවක් බවට පරිවර්තනය කර ගැනීමට ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ අනුග්‍රහය ලැබේවා!  ළමා අපයෝජන අපචාරය විසින් ළමයින් තුළත් සමස්ත විශ්වාසික ප්‍රජාව තුළත් ඇතිකර තිබෙන බරපතල තුවාල සුවපත් කිරීම සඳහා කන්‍යා මරිය මෑණියන් මෙම රැස්වීම ආලෝකවත් කරත්වා" යි ද සිය  කෙටි හැඳින්වීමේ දේශනය නිමා කරමින් සුදොතුම් පියතුමා යාච්ඥා කළේය.

එතමා ගේ මෙම ආරම්භක කතාව විනාඩි දෙකක පමණ කාලයකට සීමා විය.

ඉන් පසුව තමන් බාලවයස් කාරයන් සමයේ  පුජකවරුන් ගේ  අපයෝජනයට ලක්වූ තුන් දෙනෙකුගේ සාක්ෂි ඇතුළත් වීඩියෝ දර්ශනයක් රදගුරු හිමිවරුන් ඇතුළු නියෝජිත පිරිසට ප්‍රදර්ශනය කරනු ලැබිණි.

 ඒ පිලිබඳ  ව්ස්තර වෙනම රැගෙන එනු ලැබේ. 

පින්තුරය: සමුළුව ආරම්භ වූ අවස්ථාව 







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය