පූජක ළමා ලිංගික අපයෝජනය පිලිබඳ ලෝක රදගුරු මහා රැස්වීම වෙනුවෙන් මේ සතිය පුරා යාච්ඥා කරන්න - සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලයි

Holy father invites world's Catholics to pray for the Protection of Minors Summit 


(2019 පෙබරවාරි 19)
පූජක වරුන් විසින් සිදු කරනු ලබන ළමා ලිංගික අපයෝජන මැඩපැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් ගත  යුතු පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද ලෝක රදගුරු හිමිවරුන්ගේ මහ රැස්වීම මේ මස 21 සිට 24 දක්වා රෝමයේදී පැවැත්වෙයි. ඊට සහභාගී වීම සඳහා ලොව පුරා ජාතික කතෝලික රදගුරු සම්මේලන වල සභාපති හිමිවරු මේ වන විට වතිකානයට පැමිණ සිටිති. මෙම සමුළුවට  ශ්‍රී ලංකාව වෙනුවෙන් පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති බදුලු රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණෝය.

සමස්ත කතෝලික සභාවට අවමානයක් ගෙන දෙමින් සභාව මත  මත රිදුම් දෙන තුවාලයක් බවට පත්ව තිබෙන මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම  සඳහා වූ මෙම මහ සමුළුව කැඳවන  ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. බාල වයස්කාරයන් සහ  යෞවනයන් පූජකවරුන් විසින් ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වලදී රදගුරුවරුන් වෙත පැවරෙන වගකීම, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම සහ එවැනි චෝදනා ගැන ක්‍රියා කිරීමේදී ඔවුන් අනුගමනය කල යුතු පාරදෘශ්‍ය ස්වභාවය ගැන (responsibility, accountability, and transparency of bishops)  සභාව සතුව දැනට පවතින නීති රීති නිසි ලෙස අනුගමනය කිරීමත් ඒ සම්බන්ධයෙන් සභාපති රදගුරු හිමිවරුන් මගින් සමස්ත සභාව දැනුවත් කිරීමත්  මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.   

මෙම සමුළුවට සමූහ සාකච්ඡා, කණ්ඩායම් ක්‍රියාකාරකම්, පොදු යාච්ඥා කාලයන්, සාක්ෂි දැරීම් සහ ඊට සවන් දීම් මෙන්ම පශ්චාත්තාපික මෙහෙයක් ද ඇතුලත් වේ. සමුළුව අවසන් වන්නේ ඊට සහභාගී වන සියල්ලන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග පවත්වනු ලබන දිව්‍ය පූජා යාගයෙනි. සුදොතුම් පියතුමා සමස්ත සමුළුවටම  සහභාගී වෙයි. එහෙත් එම සමස්ත සමුලුවේම සම්බන්ධිකාරක වරයා වශයෙන් වතිකානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ජේසු නිකායික පෙඩරිකෝ ලොම්බාඩි පියතුමා පත්කරනු ලැබ සිටියි. 

සභාවට අතිශයින් වැදගත් වන මෙම සිව් දින සමුළුවට එක්වීම සඳහා ලෝකයේ සියලුම රදගුරු වරුන් රෝමයට පැමිණ සිටින මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් යාච්ඥා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින සියලුම කතෝලිකයනට ආරාධනා කළේය. එතුමා මෙම ඉල්ලීම කලේ ඉරිදා (පෙබරවාරි 17 දා) දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට එක්වීම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට එක්වී සිටි දස දහස්   සංඛ්‍යාත වන්දනා කරුවන් අමතමිනි.

"අපගේ කාලයේ හදිසි මෙන්ම දැවැන්ත අභියෝගයක් ද වී තිබෙන මේ කාරනාව සම්බන්ධයෙන් සභාව සතුව පවතින වගකීමේ දැවැන්ත ක්‍රියාවක් ලෙස මෙම සමුළුව පවත්වන්නට අවශ්‍ය වී තිබෙනවා" යි එතුමා පැහැදිලිකළේය. මේ නිසා එහි සාර්ථකත්වය පතා දෙවි පියාණන් ගේ මැදිහත්කම ඉල්ලා යදින්නැයි එතුමා ඉල්ලා සිටියේය.

"ලෝක ව්‍යාප්ත මෙම අර්බුදය ජයගැනීම සඳහා ලෝකයම සම්බන්ධ වූ ප්‍රතිචාරයක් අවශ්‍ය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්වාස කරයි. මෙම සමුළුව
විද්වතුන් ගේ අදහස් හුවමාරුවක් නොව එඬේරුන් ගේ (Pastors) හමුවක් කිරීමත් එය යාච්ඥාවෙන් , නිර්ණය කිරීමෙන් (discernment) සුලක්ෂිත වූ ධර්මෝපදේශී, ක්‍රියාකාරී හමුවක් වීමත් එතුමා ගේ බලාපොරොත්තුවයි" යි ඒ පිළිබඳව වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය