ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට - අරාබි අර්ධද්වීපයට යන ප්‍රථම පාප්තුමා

Holy Father starts his historic visit in UAE -First Pope to come to Arabian Peninsula 


(2019 පෙබරවාරි 3)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද, පෙබරවාරි 3 වනදා, සිය ඓතිහාසික එක්සත් අරාබි එමීර් රාජ්‍ය චාරිකාව ආරම්භ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වේලාවෙන් ඉරිදා පස්වරුවේ එතුමන් රැගත් ගුවන් යානය අබුඩාබි ගුවන් තොටුපළට ලඟාවිය. ගුවන් තොටුපළේදී එතුමන් පිළිගන්නා ලද්දේ එරට ඔටුන්න හිමි කුමරුන් වන ෂීක් මොහමඩ් බින් සයීඩ් අල්-නාහ්යාන් කුමරුන් විසිනි. ඉන් පසුව එතුමා එහි පැමිණ සිටි සිය ලබැඳි මිතුරකු විසින් ද උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. එනම් ඊජිප්තුවේ අල්-අස්ර් පල්ලියේ  අග්‍ර ඉමාම් වරයා වන අහමඩ් එල්-ටයෙබ් ඉමාම් තුමාය.   ගුවන්තොටුපළ තුළදී සාම්ප්‍රදායික ආරාබි ඇඳුමින් සැරසුණු ළමා පිරිසක් විසින් මල් කළඹක් පිරිනමා එතුමන් පිළිගනු ලැබිණි.

"මා ඔබේ සාමයේ නාලිකාවක් කල මැනව" 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමීර් වරයාගේ ආරාධනයක් මත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරටට පැමිණියේ අන්තර් සාමයික සංවාදය පිලිබඳ මෙහෙවරක් සඳහාය. එතුමාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ සාමයික සංවාදය පිලිබඳ සම්මන්ත්‍රණයකට එක්වීමයි. මේ නිසා එම සංචාරයේ තේමාව ""මා ඔබේ සාමයේ නාලිකාවක් කල මැනව" (“Make me a channel of your peace”) යන්නයි. එය උපුටාගෙන ඇත්තේ ශා.ප්‍රැන්සිස් අසීසි තුමන්ගේ සුප්‍රකට "සාමය සඳහා යාච්ඥාවෙනි".

සුදොතුම් පියතුමා ගේ එක්සත් අරාබි එමීර් චාරිකාව පෙබරවාරි 5 වැනිදා දක්වා දිවෙයි.

පළමු පාප්තුමා - පළමු එළිමහන් දිව්‍ය පූජාව 

මේ ගමනත් සමග අරාබි අර්ධද්වීපයට පැමිණෙන ප්‍රථම පාප්වහන්සේ ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතිහාසයට එක්වෙයි.

එතුමා පෙබරවාරි 5 වැනිදා අබුඩාබියේ සයීඩ් ක්‍රීඩාංගනයේදී  එළිමහන් දිව්‍ය පූජාවක් ද පවත්වයි. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පමණක් නොව මෙම අර්ධද්වීපය තුළම පවත්වනු ලබන ප්‍රථම එළිමහන් දිව්‍ය පූජාව ලෙසද ඉතිහාසයට එක්වනු ඇත. එම රාජ්‍යය තුළ වෙසෙන කතෝලිකයන් අතරින් 135,000ක් පමණ මෙම දිව්‍ය පූජාවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සහජීවනයේ දේශයක් 

මෙම සංචාරයට පෙර වීඩියෝ පණිවිඩයක් නිකුත් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය "සහජීවනයේ රාජ්‍යයක්" බවයි. මෙම චාරිකාව ආගම් අතර - විශේෂයෙන් ම මුස්ලිම් වරුන් සහ කතෝලිකයන් - අතර වඩා විශාල වූ සාමයක් ඇතිකිරීමේ අවස්ථාවක්  ලෙස තමා දකින බව එතුමා කීවේය.

"ඔබගේ දයාබර දේශය තුළ පවතින ආගම් අතර සම්බන්ධතාවල නව පිටුවක් සනිටුහන් කිරීමට ස්වාමීන් වහන්සේ මට ලබා දුන් මේ අවස්ථාව ගැන මම උන්වහන්සේට ස්තුති කරමි. අප වෙනස් වූවත් අප සහෝදරයන් බව යළිත් වරක් තහවුරු කිරීමට මේ මගින් හැකිවී තිබේ" යි එතුමා එම වීඩියෝ පණිවිඩයේ සඳහන් කරයි.

විවිධත්වය තුළ සාමය 

අරාබිකරයේ වෙනත් ඉස්ලාමීය රාජ්‍ය මෙන් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වෙනත් ආගම් ඇදහීමට නිදහස තිබේ. කිතු දහම සඳහා එහි පුළුල් නිදහසක් පවතියි.

එරට සිටින කතෝල්කයන්ගෙන් අති බහුතරය එරට රැකියා කරන ආසියාතික රටවල කම්කරුවෝය. ඒ අතරිනුත් අති බහුතරය පිලිපීන ජාතිකයන්  වන තර  ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් පැමිණ සිටින ශ්‍රමිකයන් ඊළඟ ප්‍රතිශතය ගනියි.

දැවැන්ත තාප්පයකින් වටවී පවතින ඩුබායි හි සාන්ත මරියා දෙව්මැදුරේ ඉරිදා දිව්‍ය පූජා ආරම්භ වන්නේ බ්‍රහස්පතින්දා පස්වරුවෙනි. එසේ කෙරෙන්නේ ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ දිනය හා නිවාඩු දිනය වන සිකුරාදා සහ සෙනසුරාදා සමග සමපාත වන අයුරිනි. බහස්පතින්දා සවස සිට ඉරිදා දක්වා එම දෙව්මැදුරේ විවිධ භාෂා වලින් දිව්‍ය පූජා 30ක් පමණ සිදුකෙරේ.

එම දෙව්මැදුර  තුළ 3000කට පමණ අසුන් ගත හැකි වන අතර සෑම දිව්‍ය පූජාවකදීම දෙව්මැදුර පිරී පවතියි. දෙව්මැදුර තුළට පිවිසිය නොහැකිවන විශ්වාසිකයන් ගේ පහසුව සඳහා ඉන් පිටත රුපවාහිනී තිර ඉදිකොට තිබේ. දෙව්මැදුරෙන් පිටත සිටින්න ද සැලකිල්ලට ගත්කළ සෑම දිව්‍ය පූජාවකටම 5000ක් පමණ සහභාගී වෙති.

මෙම කතෝලිකයන්  අතර අති බහුතරය  එරට හෝටල්, කඩ සාප්පු, සුපිරි වෙළඳසල්, ගොඩනැගිලි කර්මාන්තය සහ ගෘහ සේවය වැනි අඩු ආදායම් රැකියාවල නිරත වන ශ්‍රමිකයන් බව ලෙබනන් ජාතික ටානියෝස් ගියාගියා පියතුමා පවසයි.

"අපි මෙහෙ දකින්නේ ඇත්තෙන්ම දුප්පතුන් සඳහා වන සභාවක්" එතුමා පෙන්වා දෙයි. මේ ශ්‍රමිකයන්ගෙන්  බොහෝ දෙනෙක් මාසයකට උපයන්නේ ඩොලර් 800 කටත් වඩා අඩු වැටුපක් බව එතුමා සඳහන් කරයි. එපමණක් නොව කතෝලික සභාවේ "සැබෑ කතෝලික" බව එනම් සැබෑ  "විශ්වීය" බව මෙහිදී ඇත්ත වශයෙන්ම අත්දැකිය හැකි බව ද එතුමා පවසයි. ලොව පුරා ජාතීන් 200ක් පමණ මෙහි වෙසෙති. එබැවින් "කතෝලික කම න්‍යායාත්මකව පමණක් නොවේ, ප්‍රායෝගිකවම අපි අත්දකිනවා" එතුමා සඳහන් කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය