"තරුණ ඔබ දෙවියන් වහන්සේ ගේ 'දැන්' මොහොතයි" - ජාත්‍යන්තර යොවුන් දිනය සමාප්තියට පත් කරමින් සුදොතුම් පියතුමා කියයි

මීළඟ ජගත් යොවුන් දිනය 2022 පෘතුගාලයේ දී 

"Young people are the 'now' of God" - Holy Father says closing the WYD

ජගත් යොවුන් දින සමාප්ති දිව්‍ය පූජාවට එක්වූ සභාවේ යෞවනය 
(2019 ජනවාරි 27 )
දෙවියන් වහන්සේට සේවාව කිරීම සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර ඉටු කිරීම අනාගතයේ හෝ අතීතයේ දෙයක් හෝ විවේක ඇති විට කළ හැක්කක් නොවේ. එය මේ මොහොතේ කල යුතු දෙයක් සේම පූර්ණ කාලීනව කළ යුත්තක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ජනවාරි 27 වැනිදා ඉරිදා උදාසන පැනමාවේ පැවැත්වුණු ජගත් තරුණ දිනය සමාප්තියට පත්කරමින් පැවැති දිව්‍ය පූජාවේ දී එතුමා මේ බව කියා සිටියේය.

"සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ සහ සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර අපගේ ජීවිතයේ 'අතරතුර කාලයේ' කරන්නක් හෝ තාවකාලික දෙයක් හෝ නොවේ. එය අපගේ ජීවිතයමයි. එය 'හෙට' නොවේ. දැනුයි. මන්ද ඔබගේ වස්තුව කොතැනද. ඔබගේ හදවත ද එතැන නිසාය" යි දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමින් එතුමා කීවේය.

"අපගේ වස්තුව වීමට ජේසු  සමිඳුන්ට අවශ්‍ය ය. මන්ද උන්වහන්සේ 'අතරතුර' කාලය හෝ විවේක කාලය හෝ නොවන නිසාය. උන්වහන්සේ අපව  උන්වහන්සේ වෙත පවරා දෙන මෙන් ආරාධනා කරන ත්‍යාගශීලී ප්‍රේමයය. දයාබර යොවුන් ජනතාවෙනි, දෙවියන් වහන්සේට ඔබ  අනාගතය නොව දැන් මේ මොහොතයි".

250,000ක් පමණ වූ යොවුන් ජනතාවත්, ඔවුන් සමග යොවුන් දිනයට එක්වූ පුදැදුරු, රදගුරු හිමිවරු පිරිසත් එක් රොක්ව ඔප්පු කරන ලද  ජගත් යොවුන් දිනයේ සමාප්ති දිව්‍ය පූජාව පවත්වන  කරන ලද්දේ පැනමාපුර කැම්පෝ සන්  හුවාන් පබ්ලෝ  II (ශු. දෙවන ජුවාම් පාවුළු පිටිය) හි දීය.

මෙදින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්ම දේශනයට පදනම් වුයේ එදින ඉරිදා දිව්‍ය පූජාවේ සුපුවතේ ආ  ශු. ලූක් සුවිශේෂයේ පාඨය යි. ජේසු සමිඳුන් සිය දූත මෙහෙවර ආරම්භ කරමින් නාසරෙතයේ ධර්ම ශාලාවේදී කළ ප්‍රකාශනය එම සුවිශේෂ පාඨයට ඇතුලත් විය.

"සිනගෝගයේ සිටි සෑම කෙනෙකුම ජේසු සමිඳුන්ට සවන් දීමට සූදානම්ව සිටියේ නැත" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "මෙතරම් සමීප වීමට සහ  මෙතරම් සැබෑ පුද්ගලයකු  වීමට දෙවියන් වහන්සේට හැකි යැයි ජනතාව  විශ්වාස නොකරන විට,  අද ජීවත් වන කතෝලිකයන්ටත් මේ දේ ම සිදුවිය හැකියි."

"දයාබර යොවුන් ජනතාවෙනි, ඔබගේ දූත මෙහෙවර, ඔබගේ කැඳවීම මෙන්ම ඇතැම් විට ඔබගේ ජීවිතයම ඈත දුර අනාගතයේ පොරොන්දුවක් පමණක් බවත් එය මේ දැන් වර්තමානයේ දෙයක් නොවන බවත් සිතුනු විට ඔබටත් මේ අත්දැකීමම ලැබෙන්නට පුළුවන්."

"තමන් වහන්සේ සමග සමීපව සිය රාජ්‍යය සඳහා වැඩ කරමින් දෑත් කිලිටි කරගන්නට අපට ඉතා සරල ලෙස ස්වාමීන් වහන්සේ ආරාධනා කරනු ඇතැයි අපි නිතරම විශ්වාස නොකරමු.  ඒ වෙනුවට ජනතාව කැමති වන්නේ 'ඈත සිටින' දෙවියන් කෙනෙකුටය. කදිම, යහපත්, ත්‍යාගශීලී එහෙත් ඈත දුර වෙසෙන අපට කරදර නොකරන දෙවියන් වහන්සේ කෙනෙකුටය" යි එතුමා කීවේය.

"එහෙත් දෙවියන් වහන්සේ යනු එවැන්නෙක් නොවේ.  උන්වහන්සේ මූර්ත, සමීප සැබෑ ප්‍රේමය වන සේක. ඇත්ත වශයෙන්ම ප්‍රේමයේ මෙම සැබෑ ප්‍රකාශනය කිතුනුවන් ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයකි" යි සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"එදා සිය ගම වූ නාසරෙතයට පැමිණි ජේසු සමිඳාණෝ අද ඔබේ නගරවලට, ගම්මාන වලට, ප්‍රජා වලට ගොස් ඔබගේ දෙමාපියන් සහ වැඩිහිටියන් සොයා ගන්නට ඔබට ආරාධනා කරති. එසේ සොයාගෙන ඔවුන් ඉදිරියේ සහ ඔවුන් සමග නැගිට සිට ජේසු සමිඳුන් ඔබ වෙනුවෙන් දකින සිහිනය ගැන කතා කරන්නටත් එම සිහිනය සැබෑ කරන්නටත් ඔබට ආරාධනා කරති."

"ඔබගේ ප්‍රේමය ප්‍රායෝගික ආකාරයෙන් ජීවත් කරන්නට ඔබට අවශ්‍ය ද? ඔබ මේ ප්‍රශ්නයට දෙන "ඔව්" යන පිළිතුර සභාවටත් ලෝකයටත් නව පෙන්තකොස්ත මංගල්‍යයක් උදා කරන්නට ශුද්ධාත්මයාණන් වහන්සේට දොරටුවක් වේවා" යි කියමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය අවසන් කළේය.

මීළඟ යොවුන් දිනය 

මීළඟ ජගත් යොවුන්  දිනය පැවැත්වෙන්නේ පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නුවරයි. එය වසර 2022 දී පැවත්වෙන බව ගිහියා, පවුල, සහ ජීවිතය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කෙවින් ෆරල් කාදිනල් හිමි උත්සවය අවසානයේ ප්‍රකාශයට පත් කළේය.

එම නිවේදනය ඇසෙත්ම එහි රැස්ව සිටි පෘතුගාල තරුණ තරුණියෝ ඔල්වරසන් දුන්හ. පෘතුගාලයේ ජනාධිපති වරයා ද මෙම දිව්‍ය පූජාවට සහභාගී විය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය