"ජේසු සමිඳුන් ගේ ප්‍රේමයෙන් ලොව එක්සත් කරමින් මුණගැසීමේ සංස්කෘතියක් ගොඩනගන්න" - යොවුන් දිනය විවෘත කරමින් සුදොතුම් පියතුමා කියයි.

"Unite the world with Christ's love" Pope Challenges the youth while opening WYD 2019


(2019 ජනවාරි 25)
විවිධ වූ දේශයන් සහ සංස්කෘතීන් යා කරමින්  ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයෙන් එක්සත් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා යෞවනයන්ගෙන් ඉල්ලා සිටියි. කතෝලික සභාව විසින් තෙවසරකට වරක් පවත්වනු ලබන ජගත් යොවුන් දිනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් සුදොතුම්  පියතුමා මෙම ඉල්ලීම කළේය.

"අප අයත්වන්නේ  විවිධ වූ සංස්කෘතීන්වලට  සහ විවිධ වූ ජනතාවකටය.අපි වෙනස් භාෂා කතා කරමු. විවිධ ඇඳුම් පැළඳුම් අඳිමු පළඳිමු. අප එකිනෙකා  ගේ ජනතාවට වෙනස් ඉතිහාසයක් තිබේ. එසේම අප එකිනෙකා ගේ ජනතාව විවිධ හා වෙනස් ඓතිහාසික සහ සමාජයීය ජීවිත තත්ත්ව අත්දැක තිබේ. මේ අන්දමින් අපි අනේකාකාරයෙන් වෙනස් අය  වෙමු."

"එහෙත් අප සියල්ලන් එකිනෙකා මුණගැසීම නැවැත්වීමට හෝ සියල්ලන් එකට එක්ව ප්‍රීති වීම නැවැත්වීමට හෝ ඒ කිසිදු වෙනස්කමකට නොහැකි වී තිබේ. ඊට හේතුව අප එක්සත් කරන, එකමුතු කරන කිසියම් දෙයක් තිබීම බව අපි දනිමු. යම් කෙනෙක් අපගේ සහෝරදයා ය. දයාබර සහෝදර වරුනි, ඔබ එකිනෙකා අද දින මෙහිදී මුණගැසීම සඳහා පරිත්‍යාග රාශියක් කර තිබේ. ඒ මගින් ඔබ මුණගැසීමේ සංස්කෘතියේ සැබෑ ගුරුවරුන් ද සැබෑ ගොඩනගන්නන් ද බවට පත්ව සිටිති," යි එතුමා කියා සිටියේය.

ජනවාරි 24 වැනිදා පැනමාවේ අගනුවර වන පැනමාපුර කැම්පෝ සාන්තා මරියා ලා ඇන්ටිගුවා පිටියේ දී 2019 ජගත් යොවුන් දිනය ආරම්භ විය. ලොව පුරා  රටවල් 150 කින් තරුණ තරුණියෝ 250,000කට අධික පිරිසක් ඊට එක්වී සිටිති. යොවුන් දිනය විවෘත කරමින් ප්‍රන්සිස් සුදොතුම්  පියතුමා මෙම දේශනය කලේ එම යොවුන් ජනතාව අමතමිනි.

1985 දී ප්‍රථම යොවුන් දිනය පවත්වමින් ජගත් යොවුන් දිනයට මුල පුරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි. එතුමන් නිතරම යොවුන් ජනතාව දීමට පුරුදු වී සිටි සුපුවත පාදක කරගත් උපදේශයක් දෙමින් සුදොතුම් පියතුමා සිය දේශනය ආරම්භ කළේය. එනම් "බිය නොවන්න" යන්නයි. "බිය නොවන්න. සුපුවතේ වඩා හොඳ සාක්ෂිකරුවන් වෙමින් නැවුම් ශක්තියකින් ඉදිරියට යන්නට බිය නොවන්න!" යි එතුමා කීවේය.

පැනමාවට පැමිණීම සඳහා යොවුන් ජනතාව කළ විවිධාකාරයේ පරිත්‍යාග වලට සුදොතුම් පියතුමා ඔවුන්ට ස්තුති කළේය. මෙම පරිත්‍යාග වලින් ප්‍රදර්ශනය වන්නේ ඔවුන් ජේසු සමිඳුන් සමග යන ගමනේදී "අවදානමක්" ගැනීමට බිය නොවන බව යැයි එතුමා පෙන්වා දුන්නේය. මෙය ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ලක්ෂණය බව පඑතුමා පැහැදිලි කළේය. එහෙත් ශ්‍රාවකත්වය ඉන් ඔබ්බට යන බව එතුමා පෙන්වා දුන්නේය.

" ශ්‍රාවකයා යනු කිසියම් ස්ථානයකට පැමිණෙන තැනැත්තෙක් පමණක් නොවේ. ශ්‍රාවකයා තීරණාත්මක ලෙස පිටත්ව යන කෙනෙක් ද වෙයි. ශ්‍රාවකයා අවදානමක් ගන්නට ද දිගටම ගමන් කරන්නට ද බිය නොවන කෙනෙකි. අද අප 'මෙතනට පැමිණ සිටින්නේ' කාලාන්තරයක් තිස්සේ අපගේ විවිධ ප්‍රජාවල අප සියලු දෙනාම  "මාවතේ එකට එක්ව පා නගමින්" සිටිය නිසාය" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

මේ 'මුණගැසීමේ  සංස්කෘතිය' මත පදනම් වෙමින් ලොව පුරා විවිධ ස්ථාන හා සංස්කෘතීනට අයත් ජනතාව ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයෙන් එක්සත් කරන්නට අත්වැල් බැඳගන්නැයි එතුමා තරුණ ජතාවට අභියෝග කළේය .

"බෙදුණු ජනතාවක් දැකීමට 'බොරුවේ පියා' කැමතිය. එසේම එක්සත්ව වැඩ කිරීමට ඉගෙන ගෙන ඇති ජනතාව භේද භින්න කිරීමට ඔහු උත්සාහ කරයි," යි එතුමා කීවේය. එහෙත් මේ තරුණ දිනයට එක්ව සිටින තරුණ ජනතාව එක්සත් කම හා මුණගැසීමේ සංස්කෘතිය ගැන උගන්වන බව  එතුමා පැහැදිලි කළේය.

"තරුණ තරුණියනි, එකිනෙකා මුණගැසීමට අප සෑම දෙනාම එක සමාන වීම හෝ එකම ආකාරයෙන් කල්පනා කිරීම හෝ එකම ආකාරයෙන් වැඩ කිරීම හෝ එකම සංගීතයට සවන් දීම හෝ එකම පාපන්දු ජර්සිය ඇඳීම  හෝ අවශ්‍ය නොවන බව ඔබ අපට උගන්වති. ඇත්තෙන්ම  ඒ කිසිවක් කිසිසේත් අවශ්‍ය නැත. මුණගැසීමේ සංස්කෘතිය යනු එකම පොදු සිහිනය ජීවත් කරන ලෙස ආරාධනා කරමින් අපට කරන කැඳවීමයි."

"ඔව්. විශිෂ්ට සිහිනයක්. සෑම කෙනෙකුටම තැනක් ඇති සිහිනයක්. එය ජේසු සමිඳුන් කුරුසිය මත සිය ජීවිතය පූජා කිරීමට හේතු වූ සිහිනයයි. පෙන්තකොස්ත දිනයේ ඔබ සහ මා ඇතුළු සෑම මිනිසකු ගේම සහ ගැහැනියක ගේ ම හදවත් තුළට ගිණි දල්වමින් ශුද්ධාත්මයාණන් වගුරුවන ලද  සිහිනයයි. සෑම හවතක් තුළම මුල් බැස  වර්ධනය වී ජීවත් වීම සඳහා පියාණන් විසින් වපුරන ලද ජේසු නමැති  සිහිනයයි" යැයි වෙනස් කම් හා විවිධත්වය තුළ සියල්ලන් මුණගස්වන සාධකය සුදොතුම් පියතුමා විස්තර කළේය.

තමන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා සේ ඔවුන් ද එකිනෙකාට ප්‍රේම කල යුතු බවට  ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන්ට උපදෙස් දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. එසේම "මා ඔබට ප්‍රේම කළා සේ ඔබ ද එකිනෙකාට ප්‍රේම කරන්නැයි මේ යොවුන් දිනයට එක්  වී සිටින ඔබට ද ජේසු සමිඳුන් උපදෙස් දෙන සේක" යි එතුමා කීවේය.

මෙහි අදහස වන්නේ උන්වහන්සේ සිය ජීවිතය පූජා කල සිහිනය හඹා යාමයි. එනම් උන්වහන්සේ අපට ප්‍රේම කල ප්‍රේමයෙන් ම ප්‍රේම කිරීමයි."

"අපට මෙසේ ඇසිය හැකිය: අප එක්සත් කරන්නේ කුමක්ද? අපි එක්සත් වී සිටින්නේ ඇයි? එකිනෙකා මුණගැසීමට අප පොළඹවන්නේ කුමක්ද? ඉතා ගැඹුරු ප්‍රේමයකින් අපට ආදරය කර ඇති බව නිශ්චිතව දැනගත් විට එම ආදරය ගැන නිහඬව සිටීමට නොහැකිය. ඒ ආදරයට ඒ ලෙසින්ම ප්‍රතිචාර දැක්වීමට - එනම් ආදරයෙන්ම පිළිතුරු දීමට - අපට අභියෝග කෙරේ.  අපගෙන් මෙම ඉල්ලීම කරන්නේ මෙම ක්‍රිස්තු ප්‍රේමයයි"

"මෙම සිහිනයට පණ දීමට ඔබට අවශ්‍ය ද? ඔබගේ දෑතින්, දෙපයින්, බැල්මෙන් සහ හදවතිනෙම සිහිනය මාංශ ගත කිරීමට ඔබ කැමතිද? ඔබට නව දිගන්තයන් විවර කර, ඔබ කවදාවත් සිතේ මවා නොගත්, අපේක්ෂා නොකල  මාර්ගවල ගමන් කරවන්නට දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයට ඉඩ දෙන්නට ඔඅබ කැමතිද?"  යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තරුණ තරුණියනට අභියෝග කරමින් ප්‍රශ්න කළේය.


Comments

  1. මේ ප්‍රකාශයේ සඳහන්, ශ්රාවකයන් හට අදාළ පැවසීම්, ශ්රී ලංකාවේ රදගුරු පූජක ශ්‍රාවකයන් ගේ හිත් පතුලෙහි තැන්පත් වේවා. තැන්පත්ව සිය ජීවිත එසේ ගත කරන තීන්දුව ඔවුන්ට ගතහැකි වේවා! වතිකාන සුළඟ, කෘතිය එළිදැක්වූ දා ඊට සහභාගිවීමට පැමිණි වතිකාන තානාපති පියර් නැගුවෙන් වැන්ටොට් හිමි, තමා ප්රැන්සිස් වත අනුගමනය කිරීම දැනටමත් අරඹා ඇතැයි පැවසීය.පූජක ගිහි මහ පිරිසක් ඉදිරියේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය