"දෙවියන් වහන්සේ වෙනත් කිතුනු සභා හෝ ප්‍රජාවලට ලබා දී ඇති තිලිණ අවතක්සේරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම බරපතල පාපයක්" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

It is a 'grave sin' to deny God has blessed other Christians - Pope says at the Ecumenical Vespers



(2018 ජනවාරි 20)
සම්පත් බෙදා නොගැනීම හේතුවෙන් සමාජය තුළ භේද ඇති වන්නේ යම් සේ ද එසේම එක් කිතුනු සභාවකට, සංඝයකට හෝ කිතුනු ප්‍රජාවකට දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද තිලිණ වල පිරිපුන් බව වෙනත් සභා සමග බෙදා නොගන්නා විට හෝ එම තිලිණ වෙනත් සභා විසින් නොපිළිගන්නා විට කිතුනුවන් අතර පවතින භේද ද ක්‍රමයෙන් වර්ධනය වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

මේ නිසා කිතුනුවන් අතර සමගිය හා එක්සත් කමට ඇති මාර්ගය වෙනත් කිතුනු ප්‍රජා හෝ සංඝ හෝ සභාවලටත් දෙවියන් වහන්සේ විසින් දානය කර තිබෙන තිලිණ පිළිගෙන ඒවා බෙදා ගැනීම බව එතුමා අවධාරණය කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කිතුනු එකමුතු සතියට (Week of Prayer for Christian Unity) මුල පුරමින් රෝමයේ පැවැත්වුණු සන්ධ්‍යා මෙහෙයේදී ය. ජනවාරි 18 වනදා සන්ධ්‍යාවේ මෙම කිතුනු එකමුතු සන්ධ්‍යා මෙහෙය (ecumenical evening prayer service) පැවැත්වුනේ රෝමයේ සාන්ත පාවුළු  බැසිලිකා දෙව්මැදුරේ දීය. කිතුනු සභා සහ ප්‍රජා රැසක නියෝජිතයෝ ඊට  සහභාගී වූහ. එය පවත්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, ඉතාලිය සහ මොල්ටාවේ ඕතඩොක්ස් අගරදගුරු ගෙනාදියෝස් හිමි සහ  රෝමයේ සාන්ත ආන්ජෙලෝ මෙතෝදිස්ත දෙව්මැදුරේ ටිම් මැකිබාන් දේවගැතිතුමා ගේ ප්‍රධානත්වයෙනි.

ජනවාරි 18 වැනිදායින් ආරම්භ වූ සතිය වෙන් කර ඇත්තේ කිතුනු සමගිය හා එක්සත්කම වෙනුවෙන් යාච්ඥා කිරීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහායි. මෙවර කිතුනු එකමුතු  සතියේ තේමාව "ඔබ ලුහුබැඳ යා යුත්තේ යුක්තිය - යුක්තිය පමණක් ම ය" යන්නයි. මෙම තේමාව යෝජනා කරන ලද්දේ ඉන්දුනීසියානු කිතුනුවන් කණ්ඩායමක් විසිනි. එය ගණන් කතාව පොතෙන් උපුටා දන්නා ලද පාඨයකි.

වස්තුව බෙදා නොගත් සමාජය තුළ හටගන්නේ භේදයයි 

ඉන්දුනීසියානු කණ්ඩායම කිතුනු එකමුතු සතිය  සඳහා මෙම පාඨය තෝරාගැනීමට හේතුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. එම පාඨය මගින් අවධාරණය කරනු ලබන මෝසැසියාන (මෝසස් තුමාගේ) නීතියේ යථාර්ථය එදාට වඩා නූතන ලෝකය තුළ පැහැදිලි වන අයුරු එතුමා මෙසේ පෙන්වා දුන්නේය.

ඉන්දුනීසියා කිතුනු කණ්ඩායම මෙම පාඨය තෝරාගත්තේ "තරගකාරීත්වයේ මානසිකත්වය  මගින්  ධාවනය කරනු ලබන සිය රටේ ආර්ථික සංවර්ධනය විසින්  බොහෝ දෙනෙකු දුප්පත් බවට පත් කොට අසීමිත ලෙස ධනවත් වූ අතලොස්සක් බිහි කිරීම ගැන ඔවුන් කනස්සල්ලට පත් වී ඇති නිසා" යැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"එය ඉන්දුනීසියාවේ පමණක් පවතින තත්වයක් නොවේ. එය අද ලෝකය පුරා අප දකින තත්වයයි. සහෝදරත්වය සහ පොදු යහපත යන ප්‍රතිපත්ති මත සමාජය තවදුරටත් ගොඩනැගී නොමැති විට විශ්වාස කළ නොහැකි අසීමිත ධනයේ සංකේත වන අහස සූරන උස් මන්දිර, අධි සුඛෝපභෝගී හෝටල් සහ දැවැන්ත සාප්පු සංකීර්ණ මැද අන්ත දුක්ඛිත ජීවිත ගතකරන්නන් ජීවත් වීමේ අපචාරය අපට දකින්නට හැකිය. මෝසැසියාන නීතියේ ප්‍රඥාව අපට අමතක වී තිබේ. එනම් 'වස්තුව බෙදා නොගත් තැන සමාජය භේද භින්න වේ' යන්නයි" යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

දේව තිලිණ බෙදා නොගත් කිතුනුවෝ ද භේද භින්න වෙති 

ලෞකික සම්පත් බෙදා ගැනීම පිලිබඳ එම සිද්ධාන්තය කිතුනු සමාජයට ද වලංගු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි සමානත්වය ගෙනහැර දක්වමින් කියා සිටියේය. ශු. පාවුළු තුමා රෝම වරුන්ට ලියූ ලිපියේ කිතුවන්ට එම සිද්ධාන්තය ආදේශ කර ඇති ආකාරය එතුමා පෙන්වා දුන්නේ ය.

" 'ඔබ අතරේ ශක්තිමත් වූවෝ දුර්වල තැනැත්තන් දරා ගත යුතු' යයි පාවුළු තුමා රෝම වරුනට උපදෙස් දෙයි. ක්‍රිස්තුන් වහන්සේ ගේ ආදර්ශ අනුගමනය කරමින් දුර්වලයන් ශක්තිමත් කිරීමට අප සෑම උත්සාහයක් ම ගත යුතුය. සහෝදරත්වය සහ පොදු වගකීම  කිතුනු ප්‍රජාව (සංඝය) පාලනය කරනු ලබන නීති විය යුතුය" යි එතුමා කීවේය.

මෙය ක්‍රියාත්මක විය යුත්තේ දේව වරප්‍රසාදය හෝ දෙවියන් වහන්සේ විසින් දානය කරනු ලැබ ඇති තිලිණ තමන්ට පමණක් හිමි වස්තුවක් ලෙස සිතීම අවසන් කිරීමෙන් පමණක් බව එතුමා  අවධාරණය කළේය. ඒ වෙනුවට අනෙක් කිතුනු සභා හෝ ප්‍රජා වල පවතින දේව තිලිණ වල පුර්ණත්වය පිළිගන්නා අතර තමන්ට ලැබුණු දේව තිළිණ  වෙනත් සභා සමග බෙදා ගත යුතු බව එතුමා පැහැදිලි කළේය.

එතුමා කියා සිටියේ මෙය සංසන්දනය කල විට කිතුනුවන් ද මෝසැසියාන ප්‍රඥාව අමතක කර ඇති බවයි. එනම් සියලු කිතුනුවන් එකම පොදු ප්‍රසාද ස්නාපනය විසින් ගලවා ගන්නා ලද එකම පවුලේ සහෝදර සහෝදරියන් ය යන සත්‍යතාවයි.
"අප අතර ඇති මූලික සමානතාව අමතක කිරීම පහසුය. එම සමානතාව නම් අප ද කාලයක් පුරා පාපයේ වහලුන් ලෙස සිටි බව හා ස්වාමීන් වහන්සේ ප්‍රසාද ස්නාපනය මගින් අප ගලවාගෙන  අප උන්වහන්සේ ගේ දරුවන් බවට පත් කරගත් බවයි."

"අප වෙත දානය කරනු ලැබ ඇති ආධ්‍යාත්මික වරප්‍රසාද අපේ දේපොළක් - අපට පමණක් ලැබිය යුතු අපේ දේපොළක් - ලෙස සිතීම පහසුයි. එසේම තවත් අවස්ථාවක, දෙවියන් වහන්සේ විසින් තමන්ට දානය කරන ලද තිළිණ ගැන අධි තක්සේරුවක සිටින එක් කිතුනු කණ්ඩාමක් වෙනත් කිතුනු කණ්ඩායමට දෙවියන් වහන්සේ විසින් දානය කර ඇති තිලිණ ගැන අන්ධ විය හැකිය."

"සහෝදර සහෝදරියනි,  (වෙනත් කිතුනු ප්‍රජා වල සිටින) අපගේ හෝදර සහෝදරියන්ට දෙවියන් වහන්සේ ලබා දී ඇති තිළිණ සුළු කොට සැලකීම හෝ දෙවියන් වහන්සේ අපට වඩා අඩු තක්සේරුවකින් ඔවුන් සලකන බව සිතීම බරපතල පාපයකි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදය අහංකාරයේ හෝ අසාධාරණයේ හෝ අයුක්තියේ හෝ භේදයේ උල්පතක් නොවිය යුතුය" යි එතුමා දැඩි ලෙස කියා සිටියේය.

කිතුනු සමගියේ මාර්ගය

මේ නිසා අපට සේ ම වෙනත් සෑම කිතුනුවකුටම (සභාවකටම , ප්‍රජාවකටම) දෙවියන් වහන්සේ ලබා දී ඇති තිලිණ බැහැපත්ව පිළිගැනීම කිතුනු සමගිය කරා යන මාර්ගයේ ආරම්භක ලක්ෂ්‍යය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"කිතුනු සමගියට ඇති මාර්ගය, එසේම තම ශ්‍රාවකයන් තුළ ඇති වේවායි ක්‍රිස්තුන් වහන්සේ යාච්ඥා කල ඒකීයත්වය,  ආරම්භ වන්නේ එක් ස්ථානයකිනි. එනම් අප ලබා ඇති ආශීර්වාදයන් අපට ලැබී ඇත්තේ ඒවා අපගේ අයිතිවාසිකමක් නිසා නොව දෙවියන් වහන්සේ ගේ තිළිණයක් ලෙස බව බැහැපත්ව පිළිගැනීමෙනි. එසේම ඒවා අපට දනය කරන ලද්දේ සෙසු අය සමග බෙදා ගැනීමට බව නිහතමානීව පිළිගැනීමෙනි. දෙවියන් වහන්සේ විසින් වෙනත් කිතුනු සභා හෝ සංඝ වෙත ලබා දී ඇති වරප්‍රසාද වල වටිනාකම පිළිගැනීම ද ඊට සම්බන්ධව  පවතියි."

"මෙලෙස තමන් සතු තිළිණ හුවමාරු කරගැනීමෙන්  පිරිපුන් වන්නා  වූ ද අලුත්වන්නා වූ ද කිතුනු ජනතාවක් ස්ථිරසාර  ලෙසත් ආත්ම විශ්වාසයෙන් යුතුවත් එක්සත් කමේ මාර්ගයේ එක්ව ගමන් කල හැකි ජනතාවක් බවට පත්වේ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා පෙන්වා දුන්නේය.

සේයාරුව: සාන්ත පාවුළු බැසිලිකාව තුළ යැදුම් මෙහෙය පැවැත්වෙද්දී 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය