"දේශපාලනය යනු මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ සාමය උදෙසා වූ සේවාවක්"- ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

"යහපත් දේශපාලනය මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් ඒවා ප්‍රවර්ධනය කරයි"

"Good politics is at the service of peace and Human Rights" World Peace Day Message 2019


(2019 ජනවාරි 1)
අවිශ්වාසයේ, ප්‍රතික්ෂේප කිරීමේ  සහ ජාතිකවාදයේ වටපිටාවක් සහිත නූතන ලෝකයට අන්‍යයන්ට සේවාව කරන්නා වූද ඔවුන් ආරක්ෂා කරන්නා වූද දේශපාලකයන් සහ  සාමය ඇති කරන්නන් අවශ්‍ය වී  ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා කියයි. එතුමා පෙන්වා දෙන්නේ යහපත් දේශපාලනය යනු සාමයේ සේවයට කැපවීම බවයි.

"සාමය යනු චාල්ස් පෙගී නම් කවියා සැමරූ 'බලාපොරොත්තුවයි'. එය හිංසාවේ සහ ප්‍රචණ්ඩත්වයේ ගල් සහිත භූමිය මත විකසිත වන්නට සටන් කරන සියුමැළි මලක් වැන්න. ඕනෑම මිලක් ගෙවා බලය ලබා ගැනීම සඳහා පවතින පිපාසය අපයෝජන, දුෂණ සහ අයුක්තිසගහත ක්‍රියා ජනිත කිරීමට හේතු වන බව අපි දනිමු. දේශපාලනය යනු මානව ප්‍රජාව සහ මානව ආයතන ගොඩනැගීමට අත්‍යවශ්‍යම වන යාන්ත්‍රනය බව අපි දනිමු. එහෙත් දේශපාලනය සමස්ත මානව ප්‍රජාවට සේවය කිරීමේ ආකෘතිය නොවන විට එය පීඩනයේ, හිංසනයේ, කොන්කිරීමේ සහ විනාශයේ මාර්ගය වන්නේය"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දෙන්නේ සිය ලෝක සාම දින  පණිවිඩය නිකුත් කරමිනි. සෑම වසරකම ජනවාරි පළමුවැනිදා කතෝලික සභාව සමරන්නේ ලෝක සාම දිනය ලෙසයි. මේ නිමිත්තෙන් පාප් වහන්සේ පණිවිඩයක් නිකුත් කරන අතර ඒ අරමුණු කරගත් වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2019 ලෝක සාම දිනය නිමිත්තෙන් නිකුත් කල පණිවිඩයේ මාතෘකාව "යහපත් දේශපාලනය යනු සාමය සඳහා සේවය කිරීමට කැපවීමයි" යන්නයි.

මෙම පණිවිඩයෙන් එතුමා ලෝකයේ අවධානය යොමු කරන්නේ "යහපත් දේශපාලනයක අවශ්‍යතාව" වෙතයි.

යහපත් දේශපාලනයක නිරත වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින සෑම දේශපාලකයකුටම ආරාධනා කරයි. යුක්තිය, සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කිරීම දේශපාලකයන් සහ දේශපාලනයේ යෙදෙන සෑම ක්‍රියාකාරිකයකු ගේ ම අනිවාර්ය භූමිකාවක් බව කතෝලික සභා ඉගැන්වීම් උපුටා දක්වමින්  එතුමා අවධාරණය කරයි. අයුක්තිය, හිංසාව, අවනීතිය ජනිත වෙමින් රටක් හෝ සමාජයක් විනාශ  වන්නේ "දේශපාලකයන් මෙම වගකීම් ඉටු කරනු වෙනුවට සිය ආත්මාර්ථය සඳහා බල පිපාසයෙන් කටයුතු කිරීම නිසා"  බව එතුමා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන අවුල් සහගත දේශපාලන වටපිටාව සැලකිල්ලට ගත්කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ 2019 ලෝක සාම දින පණිවිඩය දේශපාලකයනට පමණක් නොව ඔවුන් පත් කර ගැනීමේ ඡන්ද  බලය හිමි පුරවැසියනට ද මාර්ගෝපදේශයක් ලෙස පෙන්වා දිය  හැකිය. විශේෂයෙන් ම මෙය කතෝලික දේශපාලකයනට අභියෝගාත්මක අනුශාසනයකි. වර්තමාන අවුල් සහගත තත්වයෙන් පිටතට පැමිණෙන මාර්ගයක් මෙවර සිය ලෝක සාම දින පණිවිඩයෙන් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

මෙම පණිවිඩයෙන් සුදොතුම් පියතුමා දේශපාලකයන් උදෙසා "භාග්‍ය අටක්" ද හඳුන්වා දී තිබේ.

"මේ නිවසට සාමය වේවා!"

සිය ශ්‍රාවකයන් පළමු ධර්ම දූත මෙහෙවර සඳහා පිටත් කරද්දී "ඔබ ඕනෑම නිවසකට ඇතුළුවෙද්දී 'මේ නිවසට සාමය වේවා!' යි සුබ පතන්නැයි'  ජේසු සමිඳුන් ඔවුනට උපදෙස්  දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පනිවිඩය  ආරම්භ කරමින් සිහිපත් කරයි.  මෙහි "නිවස" යන්නෙන් ජේසු සමිඳුන් අදහස් කලේ "සෑම පවුලක්, ප්‍රජාවක්, රටක් සහ ඉතිහාසයේ පැවැති සියලු විවිධත්වයන් තුළ සෑම මහාද්වීපයක්ම" බව එතුමා පෙන්වා දෙයි. "පළමුවෙන්ම එය කිසිදු වෙනසක් හෝ  වෙනස් කොට සැලකීමකින් තොරව එක් එක් පුද්ගලයන් ය. එසේම එය අපගේ පොදු නිවස වන මිහිතලය ද වන්නේ ය."

"මේ පසුබිම තුළ මම මේ අවසර් ආරම්භයේ  මෙසේ ප්‍රාර්ථනා කරමි: 'මේ නිවසට සාමය වේවා!" යි එතුමා සුබ පතයි.

යහපත් දේශපාලනයේ අභියෝගය

ප්‍රැන්සිස් සුතුම් පියතුමා පෙන්වා දෙන්නේ 'සාමය යනු ගල් පොලොව මත විකසිත වන්නට සටන් කරන සියුමැලි මලක් බඳු" බවයි. එම මලට විකසිත වන්නට අවශ්‍ය අවකාශය සැපයීම දේශපාලකයන් ගේ භූමිකාව විය යුතුය යන්න එතුමා අදහස් කරයි. එසේ නොවන විට දේශපාලනය විසින් "ගොඩනැගීම" වෙනුවට සිදු කරනු ලබන්නේ "විනාශ කිරීමක්" බව එතුමා පෙන්වා දෙයි.

"ඕනෑම මිළකට බලය උදුරා ගැනීමට පවතින පිපාසය විවිධ අපයෝජන වලටත් අසාධාරණකම් වලට  සහ අයුක්තිසහගත ක්‍රියා වලටත් මඟ පාදයි.දේශපාලනය වූ කලී  මානව ප්‍රජාව සහ එහි ආයතන ගොඩනැගීමට අනිවාර්යයෙන් අවශ්‍ය වන මාර්ගයකි. එහෙත් දේශපාලන ජීවිතය සමස්තයක් ලෙස සමාජයේ සේවාව සඳහා ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්  නොවන විට එය ජනතා පීඩනයේ, ජනතාව කොන් කිරීමේ සහ විනාශයේ මාර්ගයක් බවට පත්වන්නේය."

"සවැනි පාවුළු පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ: 'ප්‍රාදේශීය, පළාත්, ජාතික සහ අන්තර්ජාතික වශයෙන්  වෙනස් තලවල දේශපාලනය බැරෑරුම්ව සලකා බැලීම යනු  එකම වෙලාවේ නගරයේත්, ජාතියේත් සමස්ත මානව වර්ගයාගේත් යහපත වෙනුවෙන් වැඩකිරීම සඳහා පිරිණමන ලද නිදහසේ වටිනාකම පිළිගැනීමට එක් එක් පුද්ගලයා බැඳී සිටින වගකීම තහවුරු කිරීමයි.

 දේශපාලන තනතුරු සහ දේශපාලන වගකීම් සිය රටේ සේවාව සඳහා කැඳවනු ලැබ සිටින පුද්ගලයනට නිරන්තර අභියෝගයක් ඉදිරිපත් කරයි. එනම් සිය රට   තුළ ජීවත් වන ජනතාව ආරක්ෂා  කිරීම සහ ඔවුනට  යහපත් සහ සාධාරණ අනාගතයක් උදා කිරීමට කටයුතු කිරීමයි. ජීවිතය කෙරෙහි ඇති මූලික ගෞරවයත්  පුද්ගල නිදහස සහ පුද්ගල ගරුත්වයත්  යන ගුණ ධර්ම ආරක්ෂා කරමින් දේශපාලනයෙහි නිරත වන්නේ නම් එවැනි සේවාවක්  දයාවේ  විශිෂ්ට ආදර්ශයක් ලෙස හැඳින්විය හැකි" යැයි  සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

දයාව සහ මානව ගුණ ධර්ම: යහපත් දේශපාලනයේ පදනම

දේශපාලනය වූ කලී මානව හිමිකම් සහ සාමය උදෙසා වූ සේවාවක් විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. මේ නිසා දයාව සහ මානව ගුණ ධර්ම දේශපාලනයේ පදනම විය යුතු බව එතුමා පෙන්වා දෙයි

සෑම පුද්ගලයකුම කැඳවනු ලබ සිටින්නේ මිහිමත දෙවියන් වහන්ස් ගේ නගරය ගොඩනැගීමට බව සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "මේ අනුව දේශපාලකයන් කවර සංස්කෘතියකට හෝ ආගමකට අයත් වුවද, මානව පවුලේ යහපත වෙනුවෙන් එක්ව වැඩකිරීමටත් යුක්තිය, සමානාත්මතාව, අන්‍යොන්‍ය ගෞරවය, අවංකභාවය සහ විශ්වාසවන්තකම  යන මානව ගුණ ධර්ම සුරකිමින් යහපත් දේශපාලන ක්‍රියාකාරීත්වයක් අනුගමනය කිරීමටත් ඔවුන් එකඟ වන්නේ නම්, එය ලෝකයේ යහපතට හේතු වන වැඩපිළිවෙලක් වනු ඇතැ"යි එතුමා සඳහන්  කරයි.

දේශපාලකයන්ගේ "භාග්‍ය අට"

යහපත් දේශපාලනයක් කිරීමට අදිටන් කරගන්නා දේශපාලකයන් සතුව සුවිශේෂී චරිත ලක්ෂණ කිහිපයක් තිබිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සාම දින පණිවිඩයේ සඳහන් කරයි. එම චරිත ලක්ෂණ වියට්නාමයේ ජීවත් වූ ශුද්ධවන්ත රදගුරු හිමිනමක වූ ප්‍රන්ශුවා-ක්ෂාවියර් උයෙන් වාන් තුවාන් කාදිනල් හිමිපාණන් විසින් නම් කර ඇත්තේ "දේශපාලකයා ගේ භාග්‍ය අට" (“Beatitudes of the Politician”) යනුවෙනි. එම "භාග්‍ය අට" සුදොතුම් පියතුමා සිය සාම දින පණිවිඩයට ඇතුළත් කර තිබේ:

"ස්වකීය භූමිකාව පිලිබඳ උතුම් හැඟීමකින් සහ ගැඹුරු අවබෝධයකින් යුත් දේශපාලකයා භාග්‍යවන්තය.
විශ්වසනීයත්වයට  සිය ජීවිතයෙන්ම ආදර්ශයක් වන දේශපාලකයා භාග්‍යවන්තය.
ස්වකීය පෞද්ගලික අභිමතාර්ථ හෝ ප්‍රයෝජන සඳහා නොව පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දේශපාලකයා භාග්‍යවන්තය.
අචපල, ස්ථිර ප්‍රතිපත්ති සහිත දේශපාලකයා භාග්‍ය වන්තය.
සමගිය සහ එක්සත්කම උදෙසා ක්‍රියා කරන දේශපාලකයා භාග්‍යවන්තය.
විප්ලවීය වෙනස්කම් උදෙසා ක්‍රියා කරන දේශපාලකයා භාග්‍යවන්තය.
සවන් දීමට හැකි දේශපාලකයා භාග්‍යවන්තය.
නිර්භය දේශපාලකයා භාග්‍යවන්තය."

"එක දෙයක් නිශ්චිතය: එනම්, යහපත් දේශපාලනය සාමයේ සේවාව උදෙසා කැපවූ ක්‍රියාකාරීත්වයකි. යහපත් දේශපාලනය මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් ඒවා ප්‍රවර්ධනය කරයි," යි සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

දේශපාලන දුර්ගුණ

මෙම ගුණ ධර්ම සේම දේශපාලනය තුළ ද දුර්ගුණ රැසක් පවතින බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ඇතැම් විට මෙම දුර්ගුණ මතු වන්නේ අදාළ දේශපාලකයා ගේ නොහැකියාව නිසාය. තවත් ඇතැම් විට දේශපාලන ක්‍රමයේ සහ ආයතනවල පවතින දෝෂ සහ පලුදු නිසා ද මෙම දුගුණ ඇතිවේ.

"මෙම දුර්ගුණ  අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ යටපත් කරයි. පොදු ජන ජීවිතය අවමානයට ලක් කරයි. එසේම සමාජ සංහිඳියාව සහ සමගි සන්ධානයට තර්ජනය ඇති කරයි" එතුමා අවධාරණය කරයි.

ලෝක සාම දින පණිවිඩයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන දේශපාලන දුර්ගුණ මෙසේය:
"විවිධ ආකාර ගන්නා දූෂණය:පොදු සම්පත් අවභාවිත කිරීම, ශ්‍රම   සූරාකෑම,  අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම, ප්‍රජා නීති රෙගුලාසි අවඥාවෙන් බැහැර කිරීම, වංක ක්‍රම වලින් මුදල් ඉපයීම, බලහත්කාරයෙන් බලය යෙදවීම සහ නීති උල්ලංඝනය කොට එය යුක්තිසහගත කිරීම, බලය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීම ඒ අතර වේ. මුස්ලිම් විරෝධය සහ සමරිසි විරෝධය, වර්ගවාදය, ස්වාභාවික පරිසරයට සැලකිල්ල නොදැක්වීම, ඉක්මන් ලාභ සඳහා ස්වාභාවික සම්පත් සූරාකෑම මෙන්ම රටින් පලා ගිය ජනතාවට නිග්‍රහ කිරීම ද දේශපාලන දුර්ගුණ වලට ඇතුලත් කල හැකිය"යි සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

යුද්ධය එපා! භීතිය දේශපාලන  උපාය මාර්ගයක් ලෙස භාවිත කරනු එපා!

 "භාතෘඝාතක" යුද්ධ (සහෝදර ජනතාව මරා දමන යුද්ධ) ප්‍රතික්ෂේප කරන්නැයි සුදොතුම් පියතුමා සියලු දේශපාලකයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම ජනතාව තුළ බිය  ජනිත කිරීම දේශපාලන උපායමාර්ගයක් ලෙස යොදා ගැනීමේ අවදානම ද එතුමා මෙම පනිවිඩය මගින් පෙන්වා  දෙයි.

පළමුවැනි ලෝක යුද්ධය අවසන් වීමේ  සියක් වසර සමරන අවස්ථාවේ යුද්ධයේ දී අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත අපි සිහිපත් කරමු. එසේම මෙවැනි සහෝදර ඝාතක යුද්ධ  වලදී  බෙදී වෙන්වී ඈත්වී ගිය ජන සමුහයා ගැන ද අපි ස්මරණය කරමු. "සාමය යනු බලය සහ භීතිය අතර පවතින තුලනයක් බවට අපට ඌනනය කළ නොහැකිය.  අන්‍යයන් තර්ජයෙන් බිය ගැන්වීම යනු ඔවුන් හුදු භාණ්ඩ බවට හෝ ගොදුරු බවට පත්කිරීමයි. එසේම ඔවුන්ගේ ගරුත්වය ප්‍රතික්ෂේප කිරීමයි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

"තර්ජනයෙන් බිය ගැන්වීම වර්ධනය වීමත් පාලනයකින් තොරව ආයුධ වෙළෙඳාම පැතිර යාමත් සාමය දිනා ගැනීමට සේ ම සදාචාරයටත් ප්‍රතිවිරුද්ධ බව අප යළිත් පවසන්නේ මේ නිසාය" යි එතුමා පෙන්වා දෙයි.

එසේම සුලුතරයන්, දුප්පතුන් සහ පීඩිතයන්ට එරෙහිව නැගෙන දේශපාලන සටන් පාත ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙලා දැක තිබේ. "අතිශයින් දුර්වල වූ ජනකොටස් සහ සංක්‍රමණික ජනතාවට චෝදනා කරමින් ඔවුනට එරෙහිව කෙරෙන දේශපාලන කතා නොපිළිගත හැකිය. ඒ වෙනුවට , සාමය ගොඩ නැගෙන්නේ එක් එක් පුද්ගලගේ තරාතිරම හෝ පසුබිම කුමක් වුවද ඔවුනට  ගෞරව කිරීම, නීතිය සහ පොදු යහපතට ගෞරව කිරීම, අපගේ ආරක්ෂාවට භාර කරන ලද පරිසරයට ගෞරව කිරීම අතීත පරම්පරා වලින් අපට උරුම වූ සදාචාර උරුමයනට ගෞරව කිරීම යන මාර්ග මගින් පමණක් බව අපි යළිත් තහවුරු කළ යුතු වෙමු" යි එතුමා අවධාරණය කරයි.

ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමාගේ මෙම ලෝක සාම දින පණිවිඩය ලොව පුරා සිටින සියලුම රාජ්‍ය සහ ආණ්ඩු නායකයන් වෙත යවනු ලැබ ඇති බව වතිකානය ප්‍රකාශ කරයි.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය