ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැනමාවට සැපත්වෙයි - 2019 ජගත් යොවුන් දිනය ඇරඹේ

Pope Francis arrives in Panama -  World Youth Day begins


(2019 ජනවාරි 23)
පැනමාවේ පැනමාපුර පවැත්වෙන 34 වැනි ජගත් යොවුන් දිනයට සහභාගී වීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (ජනවාරි 23) පස්වරුවේ පැනමාවට පැමිණියේය.

එතුමන් පිළිගැනීම සඳහා ඒ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් පැනමාපුර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටියහ. ඔවුන් එතුමන් එනතෙක් දවස පුරා එහි රැඳී සිටියේ ඒ වන විටත් එම නගරයේ පැවැති සියොළඟ දවාලන අධික උෂ්ණත්වය ද නොතකමිනි.

රෝමයේ සිට පැනමාපුරට ගුවන් කාලය පැය 13 කි. දෙරට අතර කාල වෙනස පැය  6කි. පනමාවේ උෂ්ණත්වය අංශක 33 ඉක්මවා තිබිණි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගුවන් යානයේ පියගැට පෙළ ඔස්සේ ගුවන් පථයට පිය නගන විට එතුමන් මහත් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබිණ.

ගුවන් යානයේ පියගැට පෙළ අසල දී පැනමා ජනාධිපති හුවාන් කාලෝස් වරෙලා රොඩ්රිගුවෙස් සහ එම ආර්යාව විසින්  සුදොතුම් පියතුමා උණුසුම්ව පිළිගනු ලැබිණි. වතිකානයේ සහ පැනමාවේ ජාතික ගී වාදනය වීමෙන් පසුව සුදොතුම් පියතුමන් ගේ ආරක්ෂක අංශය එතුමාගේ මෝටර රථය වෙත එතුමන් කැඳවා ගෙන යනු ලැබීය. ඒ අතර එතුමා එහි රැස්ව සිය අවධානය දිනා ගැනීමට පොරකමින් සිටි ජනතාව වෙත නෙත් යොමු කළේය. තමාට  ආචාර කරමින් සිටින බාල තරුණ සහ වියපත් ජනතාව ද කුඩා දරුවන් තමන් වෙතට ඔසවන්නට උත්සාහ කරමින් සිටින මව් පියන්ද එතුමන් නෙත ගැටින.

සැනෙකින් එතුමා ගේ වෙහෙස අතුරුදන් වූ බවක් පෙනෙන්නට තිබිණි. මහත් ශක්තියක් ලද එතුමා එහි රැස්ව සිටි පිරිස් වෙත යමින් ඔවුන්ගේ ආචාර සමාචාර සහ ආදරය පිළිගන්නට පටන් ගත්තේය.

එතුමා සිය මෝටර රථය කරා ගමන් කලේ වෙන්කර තිබූ කාලයට වඩා වැඩි වෙලාවක් එම ජනතාව සමග  ගත කිරීමෙන් පසුවයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ පැනමා කාල සටහන ආරම්භ වන්නේ ජනවාරි 24 වැනි බ්‍රහස්පතින්දායි.

එදින උදාසන ජනාධිපති මාලිගයේ දී ජනාධිපති වරයා නිල වශයෙන් හමුවන සුදොතුම් පියතුමා ඉන්පසුව එරට රාජ්‍ය නිලධාරීන් සහ තානාපති වරුන් මුණගැසෙයි. දිවා ආහාරයට පෙර එතුමා එරටට පැමිණ සිටින මධ්‍යම ඇමෙරිකාවේ රදගුරු සමුළු ෆෙඩරේෂණයේ රදගුරු හිමිවරුන් ද මුණගැසීමට නියමිතයි.

ජගත් යොවුන් දිනය ආරම්භ වන්නේ සුදොතුම් පියතුමා අදාළ රටට පැමිණීමෙන් පසුවයි. මේ නිසා මේ සමගම ජගත් යොවුන් දින වැඩසටහන් ද ආරම්භ වී ඇති බව පැනමා වාර්තා පවසයි. 

සේයාරුව: ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැනමා ගුවන් තොටුපළේදී දැරියන් දෙදෙනකු විසින් පිළිගත් මොහොත 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය