"නත්තලේ පණිවිඩය මානව සහෝදරත්වයයි" - සුදොතුම් පියතුමා ගේ "නගරයට හා ලෝකයට" දේශනය හා ආශීර්වාදය

"My wish for a happy Christmas is a wish for fraternity" - Pope says at "Urbi et Orbi"


(2018 දෙසැම්බර් 25)
සමස්ත මානව සංහතිය එකම පියකුගේ සහෝදර සහෝදරියන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත ලෝකයට සිහිපත් කරයි. නූතන ලෝකය පෙළන ගැටුම් සහ අර්බුද නිරාකරණය කරගත හැක්කේ මෙම සහෝදරත්වයේ උණුසුම වෙත පැමිණීමෙන් බව එතුමා පෙන්වා දෙයි. එබැවින් සියලු ජාතීන් අතර "සහෝදරත්වය" ගොඩ නගන්නැයි එතුමා ලෝකයට ආයාචනා කරයි.

දෙසැම්බර 25 වැනිදා දහවල්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ආයාචනය කලේ නත්තල නිමිත්තෙන් පාප් වහන්සේගේ සාම්ප්‍රදායික "නගරයට සහ ලෝකයට ආශීර්වාදය" ( “urbi et orbi”) දානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. සාම්ප්‍රදායික ලෙස සාන්ත පීතර බැසිලිකා දෙව්විමනේ සඳලුතලය මත සිට එතුමා මෙම ආශීර්වාදය දානය කළේය. මෙම නත්තල් දිනය රෝමය  හිරු එළියෙන් නැහැවුණු  සුන්දර ශීත ඍතු දිනයක් විය. එම හිරු එළියේ නැහැවෙමින් 50,000කට අධික වන්දනා කරුවන් සහ බැතිමත් ජනකායක් බැසිලිකාව අබියස චතුරශ්‍රයට රැස්වී සිටියහ. රුපවාහිනි සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කරන ලද එතුමන් ගේ "නගරයට සහ ලෝකයට ආශීර්වාදය දානය කිරීමේ" දේශනය ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් එසැන නැරඹුහ.

"සුබ නත්තලක් සඳහා මගේ ප්‍රාර්ථනාව සහෝදරත්වය සඳහා ප්‍රාර්ථනාවක්" යයි සිය දේශනය ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.
"ගවලෙන වෙත  ලහි ලහියේ ගිය එඬේරුන් සේ දෙවියන් වහන්සේ අපට දුන් සලකුණ  ඉදිරියේ අපි පුදුමයෙන් බලා සිටිමු. එම සලකුණ නම්, "තාන් රෙදිවලින් ඔතා ගව ඔරුවක සතපවන ලද බිලිඳා ය. අපී නිහඬව ඒ ඉදිරියේ දණගසා එම බිලිඳාට  නමස්කාර කරමු" යි ආරාධනා කල එතුමා 50,000කට අධික වන්දනා කරුවන් සමග මොහොතක් නිහඬව භාවනා කළේය.

නත්තලේ පණිවිඩය - මානව  සහෝදරත්වයයි.

"නත්තලේ විශ්වීය පණිවිඩය නම් දෙවියන් වහන්සේ යහපත් පියෙකු බව සහ  අප සියලු දෙනා සහෝදර සහෝරියන්ය යන්නයි. මානව සංහතිය පිළිබඳව ක්‍රිස්තියානි දර්ශනයේ පදනම එයයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. 
මෙම පදනම හේතුවෙන්  ජේසු සමිඳුන් ගේ උපත ජාතික, සංස්කෘතික, න්‍යායාත්මක, මතිමතාන්තර හෝ ආගමික වෙනස්කම් අතික්‍රමණය කරන්නක් බව එතුමා පෙන්වා දුන්නේය.

ජේසුගේ 'මිනිස් මුහුණින්' හෙළිවන 'දෙවියන් ගේ මුහුණ'

"ජේසු සමිඳුන් පැමිණියේ තමන් වහන්සේ සොයන සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ වත මඬල හෙළිදරව් කිරීමටය. බෙත්ලෙහෙමේ සිදුවූ සිය උපත මගින් උන්වහන්සේ 'මානව වත මඬලක්' තුළින් 'දෙවියන් වහන්සේ ගේ වතමඬල' හෙළිදරව් කළ සේක. මොසෙයික චිත්‍ර ශිල්පියෙකුගේ අතින් විවිධ වර්ණවල සංකලයෙන් සුන්දරවූත් විශ්මිත වූත් කලා නිර්මාණයක් බිහිවන්නා සේ අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ විවිධ වූ අප සියල්ලන් එකට බද්ධ කරන සේක. අපගේ සහෝදරත්වයේ පදනමත් ශක්තියත් උන්වහන්සේ ය" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 

"මනුෂ්‍යයකු වීම මගින් දේව පුත්‍රයාණන් අපට පෙන්වා දෙන්නේ ගැලවීම අපට ලැබෙන්නේ ප්‍රේමය, පිළිගැනීම සහ අපගේ මෙම දුප්පත් මනුෂත්වය කෙරෙහි ගෞරවය දැක්වීමෙන් බවයි. මෙම ප්‍රේමය, පිළිගැනීම සහ මනුෂ්‍යත්වය කෙරෙහි ඇති ගෞරවය අතිශයින් විවිධ වූ ජනවර්ග, භාෂා සහ සංස්කෘතීන් රැසක් සමග අපි බෙදාගනිමු. එහෙත් අපි සියල්ලෝම එකම මනුෂ්‍යත්වය තුළ සහෝදර සහෝදරියෝ වෙමු. මේ නිසා අපගේ වෙනස්කම් හානියක් හෝ අනතුරක් නොවේ. ඊට පරස්පරව අපගේ වෙනස්කම් සාරවත්බවේ උල්පත් වන්නේය" යි එතුමා පහදා දුන්නේය.

අපේ පවුල සහ මානව පවුල 

මෙම ධර්මතාව සුදොතුම් පියතුමා උදාහරණයක් මගින් පෙනේවා දුන්නේය. එනම් පවුලක සම්බන්ධතාවයි.
"පවුල සම්බන්ධයෙන් අප සතු අත්දැකීම මෙය අපට උගන්වයි: පවුලක සහෝදර සහෝදරියන් ලෙස අප සියලු දෙනා එකිනෙකාට වෙනස්ය. අපි සෑම විටම සෑම දෙයකටම එකඟ නොවන්නෙමු. එසේවුවද, අප සෑම කෙනෙකුම එක්සත් කරන කඩා දැමිය නොහැකි බන්ධනයක් අප අතර තිබේ. එසේම අපගේ දෙමාපියන්ගේ ප්‍රේමය එකිනෙකාට ප්‍රේම කිරීමට අපට උදව් වෙයි. වඩා පුළුල් මානව පවුලට ද එය එසේමය. එහෙත් මෙහිදී අපගේ 'දෙමාපියන්' වන්නේ, අපගේ සහෝදරත්වයේ පදනම සහ ශක්තිය වන්නේ දෙවියන් වහන්සේයැ"යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 

ලොව පුරා සාමයේ සුවඳට පැතුම් 

ඉන්පසුව සුදොතුම් පියතුමා ලෝකයේ ගැටුම්, අර්බුද සහ යුදගිණි ඇවිලුණු ප්‍රදේශ රැසක් වෙනුවෙන් සිය ප්‍රාර්ථනා සහ යාච්ඥා ඔප්පු කළේය. ඊශ්‍රායෙල්-පලස්තීන ගැටුම, සිරියාවේ යුද්ධය සහ අවතැන්  වූවන්,යේමනය, කොරියානු අර්ධද්වීපයේ සංහිඳියා ක්‍රියාමාර්ගයේ  සාර්ථකත්වය, වැනිසියුලාව, යුක්රේනය සහ අප්‍රිකා මහාද්වීපයේ යුද ගිණි ඇවිලුණු ප්‍රදේශ එතුමා ගේ යාච්ඥාවට ඇතුළත් වූ ප්‍රදේශ අතර  විය.

හිංසන සහ ප්‍රචන්ඩත්වය නිසා පීඩා විඳින ලොව පුරා වෙසෙන සුලුතරයන් වෙනුවෙන් ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යාච්ඥා කළේය. විශේෂයෙන් මේ නත්තල් දිනයේ ලොව ප්‍රදේශ රැසක විවිධාකාරයෙන් පීඩා විඳින කිතුනු ජනතාව වෙනුවෙන් ද එතුමා යාච්ඥා ඔප්පු කළේය. 
"විවිධ දුෂ්කරතා මැද , ඇතැම් විට එදිරිවාදී පරිසරයක් තුළ ජේසු සමිඳුන් ගේ උපත පවත්වන කිතුනු ප්‍රජාවන් වෙනුවෙන් මම යාච්ඥා කරමි. විශේෂයෙන් ම තමන් වෙසෙන ප්‍රදේශයේ තමන් සුලුතරය වීම නිසා හෝ වෙනත් කරුණු මත දුර්වල තත්ත්ව වලට පත් වී සිටින කිතුනුවන් වෙනුවෙන් යදිමි. ඔවුන් ඇතුළු සියලුම සුලුතරයනට සිය අයිතිවාසිකම් පිළිගන්නා වූ පරිසරයක් තුළ, විශේෂයෙන්ම ආගමික නිදහස සහ අයිතිවාසිකම් පිලිගන්නාවූ පරිසරයක් තුළ චිත්ත සාමයෙන්  ජීවත් වීමට හැකි තත්වයක් ජේසු බිළිඳාණෝ උදා කරන සේක්වා!" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රාර්ථනා කළේය. 

සේයාරුව: සුදොතුම් පියතුමා ගේ 'නගරයට හා ලෝකයට' ආශීර්වාදය  


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය