"නත්තල 'පූප කැඩීමේ' (බෙදාගැනීමේ) අවස්ථාවක් කරගන්න" සුදොතුම් පියතුමා නත්තල් දා රෑ අභියෝග කරයි

“At Christmas do I break my bread with those who have none?” Pope Francis asks at Christmas Mid-night Mass 


(2018 දෙසැම්බර 24)
දෙවියන් වහන්සේ බෙත්ලෙහෙමේ ගව ඔරුව තුළ තමන් වහන්සේව අපට පිරිනමන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ "ස්වර්ගීය ත්‍යාගය ඔබගේ හදවත් තුළට ආදරයෙන් පිළිගන්නැ"යි එතුමා සියලු කිතුනු ජනතාවට ආරාධනා කරයි.

"නත්තල් දිනයේ පොළොවේ සිටින අපි  ස්වර්ගයෙන් පහල වූ භෝජනය වන ජේසු සමිඳුන් පිළිගනිමු.දෙවියන් වහන්සේ ගේ ජීවිතයට අපගේ හදවත් තුළට ඇතුළු වී එහි වාසය කිරීමට හැකි බව නත්තලේදී අපි අනාවරණය කර ගනිමු. අපි එම ත්‍යාගය පිළිගනිමු නම්, අප එකිනෙකාගෙන් ආරම්භ වී ඉතිහාසය වෙනස් වෙයි. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අපගේ ජීවිත තුළ වාසය කරන්නට පටන් ගත්විට ඉතා කෑදර සහ ආත්මාර්ථකාමී මමංකාරය තවදුරටත් අපගේ  ජීවිතයේ කේන්ද්‍රය වීම නවතියි. ඒ වෙනුවට ප්‍රේමය උදෙසා උපත ලැබුවා වුද ජීවත් වන්නා වූද තැනැන්වහන්සේ අපගේ ජීවිතයේ කේන්ද්‍රය බවට පත්වන සේක," යි එතුමා කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ 2018 දෙසැම්බර 24 වැනිදා රාත්‍රියේ නත්තල් මැදියම් රෑ දිවය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි. එතුමන් ගේ ප්‍රධානත්වයෙන් සහ කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන්, පුදැදුරු වරුන් හා වන්දනාකරුවන් රාශියක් ගේ සහභාගිත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී මෙම දිව්‍ය යාගය පැවැත්විණි.

 මෙවර සුදොතුම් පියතුමා ගේ නත්තල් රාත්‍රී දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ  තේමාව වී තිබුනේ ජේසු සමිඳුන් උපත ලැබූ බෙත්ලෙහෙම නමැති ගම්මානයේ නමේ අර්ථයයි. ඇරමයික් (ජේසු කතා කල භාෂාව) සහ හීබ්රු යන භාෂා වල "බෙත්ලෙහෙම" යන වචනයේ අර්ථය "භෝජනයේ නිවස"  (“House of Bread”) යන්නයි. 

"අපගේ ආහාරය වීමට හැකි වන පිණිස දෙවියන් වහන්සේ තමන් වහන්සේව ඉතා කුඩා කරගන්නා සේක" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනයේ දී පහදා දුන්නේය. ජීවන දායක පූපය වන උන්වහන්සේ ආහාරය කර ගැනීමෙන් අපට ප්‍රේමය තුළ යළි උපත ලැබීමට හැකි වේ. ඒ මගින් ගිජුකමේ සහ කෑදරකමේ සර්පිලයෙන් කැඩී ඉවත් වීමට අපට හැකියාව ලැබේ" යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

ගවලෙන ඉදිරියේ සිට අපගේ භෝජනය වීම පිණිස මිනිසත් බව ගත් ජේසු දෙස බලා මේ ගැන භාවනා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආරාධනා කළේය.
"ගවලෙන ඉදිරියේ සිටගෙන භාවනා කරන  විට ජීවනයේ ආහාරය යනු ද්‍රව්‍යමය වත් පොහොසත්කම් නොව ප්‍රේමය බවත්, කෑදරකම නොව දානය බවත්, බාහිර අලංකාරය නොව සරලත්වය බවත් අපට තේරුම් යන්නේය."

මේ නිසා බාහිර ආටෝප හා පුරාජේරුවෙන් ද පුහු ඝෝෂාවෙන්ද යුත් ජීවිතයෙන් මිදී සරල ජීවිතය වැළඳ ගන්නැයි එතුමා කිතුනු ජනතාවට අභියෝග කළේය.
"අප ජීවත් වන මේ යුගයේ බොහෝ දෙනෙකු ජීවිතයේ අරුත සොයා ගන්නේ වැඩි වැඩියෙන් (ද්‍රව්‍යමය දේ) අයිති කරගැනීම තුළයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වස්තු සම්පත්, භෞතික දේ අත්පත් කරගැනීම තුළයි. සමස්ත මානව ඉතිහාසය පුරාම තෘප්තියට පත් කළ නොහැකි කෑදරකමක්, ගිජුබවක් සටහන් වී තිබේ. අදත් එය එසේම ය. තේරුම් ගැනීමට නොහැකි ලෙස ඉතා අල්පමාත්‍ර පිරිසක් අතිසාරවත් ලෙස භෝජන වළඳින විට අති විශාල ජනතාවක් තමන්ට ජීවත් වීමට අවශ්‍ය එදිනෙදා කෑමවේලවත් නැතිව අසරණව සිටිති" යි එතුමා පෙන්වා දුන්නේය.

"බෙත්ලෙහෙමේ අලුත උපන් දරුවාගේ මෘදු දුප්පත්කමේ සුවඳ, ජීවිතයේ නැවුම් සුවඳ, සරලබවේ සුවඳ දැනී අප ගවලෙනට ඇතුළු වන විට අපි අපගෙන්ම මෙසේ අසමු:  ජීවත්වීම සඳහා මට මේ භෞතික ද්‍රවය සියල්ලක්ම, මේ සංකීර්ණ වට්ටෝරු සියල්ලම සැබැවින්ම අවශ්‍යද? මට මේ අනවශ්‍ය අතිරේක සියලුම දේ නොමැතිව විශිෂ්ට සරල ජීවිතයක් ගත කල නොහැකිද?"

දෙවියන් වහන්සේ වෙනුවෙන් අවදානමක් ගෙන "කඩිනමින් ජේසු බිලිඳුන් බලන්නට ගිය" බෙත්ලෙහෙමේ ගොපලුන්ගෙන් ඉගෙනගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේය.
" 'අපි මේ දැන් බෙත්ලෙහෙමට යමු.' මේ වදන් කියමින් ගොපල්ලු වහාම බෙත්ලෙහෙමට පිටත්ව ගියහ. සමිඳුනි, අපට ද බෙත්ලෙහෙමට යන්නට අවශ්‍යය. එදා මෙන්ම අදත් මාර්ගය කඳු වලින් ගහනය. අපගේ ආත්මාර්ථකාමයේ කඳු ජයගත යුතුය. ලෞකිකත්වයේ සහ පාරිභෝගිකවාදයේ ගල් හෝ ගල්පතුරු වලින් ලිස්සා වැටීමෙන් අප ගැලවිය යුතුය. "

ජේසු සමිඳුන් තමන් වහන්සේ කඩා බෙදා දුන් බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය. මේ නිසා ආත්මාර්ථයෙන් මිදී නත්තල "පූප කැඩීමේ අවස්ථාවක් කරගන්නැයි එතුමා ඉල්ලා සිටියේය."නත්තලේදී මා කිසිවක් නොමැති අය සමග මගේ 'පූප කඩා ගන්නවා' ද? (භෝජනය බෙදා ගන්නවාද?)" යි එතුමා ප්‍රශ්න කළේය.

එතුමා යැදුමකින් සිය ධර්ම දේශනාව අවසන් කළේය.
 "සමිඳුනි, මට බෙත්ලෙහෙමට එන්නට අවශ්‍යය. මන්ද ඔබ එහි මා එනතුරු සිටින නිසාය. එහි ගව ඔරුවක සැතපී සිටින ඔබ මගේ ජීවිතයේ ආහාරය බව වටහාගැනීමට මට අවශ්‍යය. ඔබගේ ප්‍රේමයේ සියුමැලි සුවඳ මට අවශ්‍යය. මන්ද එවිට ලෝකය වෙනුවෙන් කඩා දෙන පූපය බවට පත්වන්නට මට හැකියාව ලැබෙන නිසාය"




 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය