"රදගුරු හිමිවරුන් නිදොස් චරිත වලින් යුත් සේවකයන් මිස කුමාරයන් නොවිය යුතුයි" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Bishops must be blameless servants, not princes, pope says


(2018 නොවැම්බර් 11)
රදගුරු තුමකු "නිර්දෝෂී" තැනැත්තකු විය යුතු අතර ඔහු කල්ලි, වස්තු සම්පත්,ධනය සහ බලයේ සේවකයකු නොව දෙවියන් වහන්සේ ගේ සේවකයකු විය යුතු යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"රදගුරු තුමකු නිතර තමන් නිවැරැදි කර ගත යුතුය. එසේ නිවැරදි කර ගැනීම සඳහා නිතර තමන්ගෙන් මෙම ප්‍රශ්නය අසා ගත යුතුය: 'මම දෙවියන් වහන්සේ ගේ ගබඩාකරුවෙක් ද?  නැතිනම් ව්‍යාපාරිකයෙක් ද?' "

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ නොවැම්බර 12 වන සඳුදා උදාසන සාන්තා මාර්තා තානායම් පුංචි පල්ලියේ පැවැත්වුණු දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. මෙදින එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ එදින පළමු දේව ප්‍රකාශනය වූ ශු. පාවුළු තුමා තීතස්ට ලියූ ලිපියෙන් උපුටා ගත්  පාඨයයි. (1:1-9) 17 වන සියවසේ ජීවත් වූ ආදර්ශවත් රදගුරු තුමකු හා ප්‍රාණපරිත්‍යාගීවරයකු වූ ශාන්ත ජෝසපාත් තුමන් ගේ මංගල්‍යය ද මෙදිනට යෙදී තිබිණි.

"රදගුරුතුමකු දෙවියන් වහන්සේ ගේ පරිපාලකයකු නොහොත් ගබඩාකරුවකු විය යුතු බවත් ඔහු වස්තු සම්පත්වල, ධනයේ  හෝ බලයේ පරිපාලකයකු නොවිය යුතු බවත් පාවුළුතුමා පෙන්වා දෙනවා. ඊටත් වඩා, රදගුරු තුමා 'නිර්දෝෂී' කෙනෙකු විය යුතු යයි ද පාවුළු තුමා අනුශාසනා කරනවා. එය දෙවියන් වහන්සේ ආබ්‍රහම් තුමාගෙන් ඉල්ලා සිටි ධර්මගුණයමයි. එනම්, 'මා ඉදිරියේ නිර්දෝෂීව සිටින්න' යන්නයි. මෙය සෑම  නායකයකු තුළම තිබිය යුතු ගුණාංගවල පදනමයි" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

පාවුළු තුමන් උගන්වන ආකාරයට රදගුරු හිමිවරුන් කවරාකාර තැනැත්තන් විය යුතු ද යන්න තවදුරටත් පැහැදිලි කල සුදොතුම් පියතුමා මෙසේ කීවේය.
"රදගුරු තුමන් අනාචාරී නොවිය යුතුය. ඔවුන් කැරලිකාරී, අහංකාර, වහා කිපෙන, මත්පැනට ලොල් වූ, මුදල්වලට කෑදර නොහොත් ධනයෙන් සිත වැසුණු පුද්ගලයකු නොවිය යුතුය.  රදගුරු තුමකුට මේ අතරින් එකදු දුර්ගුණයක් හෝ ඇත්නම් එවැන්නකු සභාවට මහත් ව්‍යසනයක්" යි එතුමා කියා සිටියේය.

ඊට පරස්පරව රදගුරුතුමන් සතුව තිබිය යුතු ගුණාංග පාවුළු තුමා විස්තර කර ඇති බව මෙදින කියවීම උපුටා දක්වමින් සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේය.
"රදගුරු තුමා ආගන්තුක සත්කාරයට ලැදි, සෞම්‍ය, යුක්තිසහගත, දැහැමි, යහපතට  ප්‍රිය කරන, ශුද්ධවන්ත, දැහැමි ඉඳුරන් ඇති  තැනැත්තකු විය යුතුය. ඔවුන් සභාව උගන්වන සැබෑ ඉගැන්වීම වන දේව වචනයට විශ්වාසවන්ත තැනැත්තන් විය යුතුය."

"රදගුරු තුමන් මෙවැනි තැනැත්තන් විය යුතුයි. රදගුරු හිමිවරුන් තෝරා ගැනීමේ විමසීම් සිදුවන කාලයේ දීම , එනම් ආරම්භයේදීම මේ ප්‍රශ්න අසන්නේ නම්, කෙතරම් අපූරුද?" යි සුදොතුම් පියතුමා කියා සිටියේය.

"ඒ සියල්ලටම වඩා රදගුරු තුමකු බැහැපත් සහ නිහතමානී විය යුතුයි. එතුමා කුමාරයකු නොව සේවකයකු විය යුතුයි," එතුමා වධාරණය කළේය.

"මේ ඉගැන්වීම දෙවැනි වතිකාන කතිකාව වැනි මෑත කාලීන ඉගැන්වීම් වලින් ලැබුණු එකක් නොවේ. මේ ඉගැන්වීම ගලා එන්නේ දේව වචනයෙන්; ශු. පාවුළු අපෝස්තුලු තුමා ගේ කාලයේ පටන් ගලා එන දේව වචනයෙන්" යැයි  ද එතුමා පෙන්වා දුන්නේය. "සභාව තුළ නිවරැදි  කිරීමට අවශ්‍ය දේ නිවැරදි කළ  හැකි වන්නේ මේ ගුණාංග සහිත රදහුරු හිමි වරුන් සභාව තුළ  සිටින විටයි" යි එතුමා සඳහන් කළේය.

"දෙවියන් වහන්සේට වඩාත් වැදගත් වන්නේ රදගුරු තුමෙකු ගේ සේවාමය ජීවිතය සහ බැහැපත්කමයි.  එසේ නැතිව, රදගුරු තුමා කෙතරම් කදිමද, එතුමා කෙතරම් විචිත්‍ර ධර්ම දේශකයෙක් ද යන්න නොවේ" යැයි  ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 

Comments

  1. We the laity of the church pray for our bishops and clergy to follow these precepts (Values of God's Kingdom) which Pope Francis insists with credibility.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය