" විවාහයේ සෞන්දර්යය" සුදොතුම් පියතුමා පහදා දෙයි

තුන්කාල ආරාධනා භාවනාව 

 "The beauty of marriage" - Pope at  Angelus:


(2018 ඔක්තෝබර 07)
අද, ඔක්තෝබර 7 වනදා ඉරිදා දහවල්, වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ තුන්කාල ආරාධනා මරිය දැහැනට පෙර සිදු කල මෙනෙහි කිරීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කලේ පිරිමියකු සහ ගැහැනියක අතර ඇතිවන විවාහයේ සෞන්දර්යය සහ ගරුත්වය ගැනයි. විවාහයේ  වෙන්කළ නොහැකි බව මෙහිදී යලි පෙන්වා දුන් එතුමා, කෙසේවෙතත් විවිධ හේතු නිසා සම්බන්ධතා කඩා වැටීම් වලට මුහුණ දෙන යුවල් සමග කතෝලික සභාව ඉතා සමීපව කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.

එතුමා ගේ මෙම කෙටි මෙනෙහි කිරීමට පාදක කර ගත්තේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. ස්වාමි පුරුෂයකුට සිය බිරිඳගෙන් වෙන්වීමට හැකියාව ඇත්දැයි පරිසිවරුන් ජේසු සමිඳුන්ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ ඔවුනට දුන් පිළිතුර මෙදින සුබ අස්නට ඇතුළත්ව තිබිණි.

මෝසස් ගේ නීතියෙන් අවසර දී ඇති පරිදි පුරුෂයකුට සිය බිරිඳගෙන් වෙන්වීම නීතියට අනුකුලදැයි විමසීම මගින් පරිසිවරුන් කලේ ජේසු සමිඳුන් වැරැදි ප්‍රකාශයක් කිරීමට පොළඹවා ගැනීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.
" ඔබගේ හදවත් වල දැඩි බව නිසා ඔහු - එනම් පුරාණ නීති සම්පාදකයා වූ මෝසස් තුමා - මෙම නීතිය ඔබ වෙනුවෙන් සම්පාදනය කළා," යැයි එතුමා පෙන්වා දුන්නේය. "මෙහි අදහස නම්, මෝසස්තුමා  ගේ මෙම නීතිය අපගේ ආත්මාර්ථකාමය විසින් ඇති කරනු ලබන හිඩැස් පිරවීම සඳහා දෙන ලද අවසරයක් පමණක් බවයි. එහෙත් එය මැවුම්කාරයාණන් ගේ මුල් සැලැස්ම සමග කිසි සේත් ගැලපෙන්නේ නැත. මේ නිසා ජේසු සමිඳාණෝ පරිසිවරුන්ට මෙසේ පවසති: ' ගැහැනියක සමග විවාහ වන පිරිමියකු එම ජීවිතයේ ගැටළු පැනනගින විට එම ගැහැනියගෙන් වෙන්වීමක් හෝ ගැහැණිය ප්‍රතික්ෂේප කිරීමක් හෝ දෙවියන් වහන්සේ ගේ මුල් සැලැස්මට  ඇතුළත් වන්නේ නැත. ඒ වෙනුවට එම මුල් සැලැස්මේ  සිටින්නේ විවාහය තුළ එකිනෙකා දැනහඳුනා ගැනීමටත්, එකිනෙකා සම්පූර්ණ කිරීමටත් එකිනෙකාට උදව් වීමටත් කැඳවනු ලැබ සිටින පිරිමියෙකු සහ ගැහැනියකි" යි එතුමා පහදා  දුන්නේය.

විවාහයේ උදාරත්වය හා සෞන්දර්යය 

"ජේසු සමිඳුන් ගේ මෙම ඉගැන්වීම ඉතා පැහැදිලියි: එම ඉගැන්වීම මගින්    විශ්වාසවන්තකම මත පදනම් වූ ප්‍රේමයේ බන්ධනයක් ලෙස විවාහයේ ගරුත්වය සහ උසස් බව ආරක්ෂා කරනු ලබයි," යි සුදොතුම් පියතුමා විස්තර කළේය.
"විවාහය තුළ අඹු-සැමියනට එක්සත් වී සිටීමට අවකාශ සලසන්නේ අන්‍යොන්‍ය  වශෙන් දානය කරගන්නා ප්‍රේමයයි. එම ප්‍රේමය ක්‍රිස්තුන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් පෝෂණය වෙයි. එහෙත්, අනෙක් අතින්, අඹු-සැමියන් ගෙන් එක් කෙනෙකුගේ හෝ පෞද්ගලික අභිරුචිය හෝ ඔවුන් ගේ ම තනි තෘප්තිය පමණක් පවතින්නේ නම්, එම බන්ධනයට රඳා පැවැතිය නොහැකිය."

අත්මාර්ථකාමය නිසා පවුල් අවුල් හටගන්නා බව මෙම සුවිශේෂ පාඨය තුළින් ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. එහෙත් ඒ හේතුව මත සැමියා විසින් බිරිඳ හෝ බිරිඳ විසින් සැමියා හෝ ප්‍රතික්ෂේප නොකළ හැකි බව මැවුම්කාරයාණන් ගේ මූලික සැලැස්ම තහවුරු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන බව එතුමා කීවේය.
"ප්‍රේමය මත පදනම් වූ සම්බන්ධතාවක් අත්දැකීමට කැඳවනු ලැබ සිටින පුරුෂයා සහ බිරිඳ එකිනෙකාට රිදවිය හැකි බවත් මේ තත්වය  විවාහයේ අර්බුද වලට දොර විවර කරන බවත් මෙම සුපුවත් පාඨය යථාර්ථවාදීව අපට සිහිපත් කරයි. එහෙත් ජේසු සමිඳාණෝ වෙන්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ සම්බන්ධතාව ගිල්වනු ලබන වෙනත් කිසිදු ක්‍රියාවක් හෝ නොපිළිගනියි. උන්වහන්සේ එසේ කරන්නේ මිනිස් සම්බන්ධතාවේ ශක්තිය සහ සුන්දරත්වය දිදහා දක්වන දෙවියන් වහන්සේගේ සැලැස්ම තහවුරු කිරීම සඳහායි."

විවාහ දුෂ්කරතා වලදී සභාව ඔබ ලඟයි

කෙසේ නමුදු විවාහ ගැටලුවලට මුහුණ දෙන යුවල් හෝ පවුල්වලට සහාය වීමට කතෝලික සභාව් නිතර සූදානමින් සිටින බව සුදොතුම් පියතුමා මෙහිදී යලිත් තහවුරු කළේය:
"බිඳුණු සම්බන්ධතා අත්දකින හෝ අර්බුද මැද දිගටම සම්බන්ධතා පවත්වා ගන්නට වෙහෙසෙන යුවල් වලට සිය මාතෘක සමීප බවින් සහාය වන්නට සභා මව නිරන්තරයෙන් සූදානම්ව සිටියි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය