"වැඩිහිටි අප සිහින දකින තරමට යෞවනයන් දිවැසිවරබවින් සහ විචක්ෂණබවින් සවිමත් වනු ඇත" - යොවුන් සිනොඩ් කතිකාවේ සමාරම්භක දේශනය

2018 රදගුරු යොවුන් සිනොඩ් කතිකාව ඇරැඹේ 

"Young people will be capable of prophecy and vision to the extent that we, the adult or elderly, can dream" - Pope says in the Synod opening Mass  


(2018 ඔක්තෝබර 6)
යොවුන් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරද්දී සදාචාරවාදී හෝ බමුණුකුල වාදී ආකල්ප සහ පිහිටීම්වලට ඇද නොවැටෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියි.

සිනොඩ් කාලය තුළ  "හැකි තරම් නිදහසේ  පූර්ව විනිශ්චයන් සහ කොන්දේසි වලින් මිදී අවංකවත් යාච්ඥාශීලීවත් එකිනෙකාට සවන් දෙන්න. දේව ජනතාව අත්දකින විවිධාකාර තත්වයන් සමග සමවාය වීමට රදගුරු හිමිවරුන් උත්සාහ කල යුතුය. එසේ ක්‍රියා කල විට, අපගේ ජනතාව ගේ ජීවිත යථාවන් ස්පර්ශ නොකරන දුරවබෝධ සහ විසංයුක්ත න්‍යායවාද වලින් ආරක්ෂා වී සිටීමට අපට හැකි වනු ඇත."

" 'එය හැමදාම කලේ මේ ආකාරයටයි' යයි පවසන එම අනුකුලතාවාදය  (conformism) බලාපොරොත්තුව විසින් බිඳ දමනු ලබයි. එසේම බලාපොරොත්තුව අනුකුලතාවයෙන්  මිදෙන ලෙස අපට අභියෝග කරයි. නැගිට, යොවුන් ජනතාව ගේ නෙත් දෙස ඍජුව  බලා, ඔවුන් ගේ ජීවිත තත්ත්ව දකින ලෙස බලාපොරොත්තුව අපගෙන් ඉල්ලා සිටියි"  යි එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම්, පියතුමා මෙම අනුශාසනය කලේ 2018 යෞවනයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවට මුල පුරමින් පැවැත්වුණු මහා හවුල් දිව්‍ය පූජා යාගයේ ධර්ම දේශනාව කරමිනි.

යොවුන් ජනතාව පිලිබඳ 2018 රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 3 වන බදාදා  වතිකානයේ දී ආරම්භ විය. ඊට මුල පුරන ලද්දේ සාන්ත පීතර චතුරශ්‍රයේ පවත්වන ලද මෙම හවුල් දිව්‍ය පූජා යාගයෙනි.

මෙම සිනොඩ් කතිකාවේ තේමාව "යොවුන් ජනතාව, ඇදහිල්ල සහ කැඳවීම් නිර්ණය කිරීම" ("Young people, the faith, and vocational discernment.") යන්නයි. ඔක්තෝබර 28 වැනිදා දක්වා මෙම කතිකාව පැවැත්වේ.

ලොව පුරා කතෝලික රටවල් නියෝජනය කරමින් රදගුරු හිමිවරුන් සහ පුදැදුරුවරු 267 දෙනෙක් ඊට එක්වී සිටිති. සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට චීනයේ කතෝලික  රදගුරු හිමිවරු දෙනමක් ද සිනොඩ්  කතිකාවට එක්වී සිටීම  විශේෂත්වයකි. ගිහි පරීක්ෂක වරු 72 දෙනෙක් ද සමුළුවට සහභාගී වෙති. ඒ අතරින් 36 දෙනෙක් මහාද්වීප 5 නියෝජනය කරන තරුණ තරුණියෝය.

(චීන රදගුරු හිමිවරුන් පිලිබඳ පුවත මෙතැනින් කියවන්න: ඉතිහාසයේ පළමුවරට චීන රදගුරු හිමිවරු දෙදෙනෙක් සිනොඩ් සමුළුවට - ඔවුන් පිලිගනිද්දී සුදොතුම් පියතුමාගේ නෙත් කඳුලින් පිරෙයි)

සිහින දැකීම 

බලාපොරොත්තුව සහ සිහින දැකීම මගින් යෞවන ජනතාව ගේ ජීවිත දැකීමටත් ඔවුන් ස්පර්ශ කිරීමට මෙන්ම පරපුරෙන් පරපුරට විශ්වාසය රැගෙන යාමටත් හැකියාව ලැබෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තව දුරටත් කියා සිටියේය.

"බලාපොරොත්තුව අපගේ නිම්වළලු පුළුල් කොට, අපගේ හදවත් හදවත් විදහාලමින්, වර්තමානයේ අප යොවුන් ජනතාවගෙන්  වෙන්කර, වෙනස් අය ලෙස අප පෙන්නුම් කර අඩපණ කරන ආකල්ප සහ මානසික රාමුවලින් අප මුදා ගනියි. බලාපොරොත්තුව අපට අභියෝග කර, අප ක්‍රියාකාරී කර 'මෙය හැමදාම කලේ මේ ආකාරයටයි' යන අනුකුලතාවය බිඳ දමයි." යයි එට්ඨුමා පෙන්වා දුන්නේය.

"දැනමත් වැඩිහිටියන් සහ  වියපත් වුවන් වන අප සිහින දකින තරමට දිවැසිවරුන් වීමටත් විචක්ෂණශීලී වීමටත් යොවුන් ජනතාවට හැකිවනු ඇත.එසේ අප සිහින දකින විට අප රැගෙන  යන එම සිහින  සහ බලාපොරොත්තු බෝ කරමින් බෙදා ගැනීමට අපට හැකිවනු ඇත. මේ නිසා ශුදධාත්මයාණෝ සිහින දැකීමේ සහ බලාපොරොත්තු වීමේ තිළිණයෙන් සෛනෝඩීය පියවරුන් ආලේප කරත්වා!" යි එතුමා ප්‍රාර්ථනා කළේය.

සේයාරුව: සුදොතුම් පියතුමා සිනොඩ් සමාරම්භක දිව්‍ය පූජාවට පැමිණි අවස්ථාව







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය