සර්ව පුරුෂ රදගුරු සංසදයට සහභාගී වන එකම කාන්තා පූජකවරිය

 "පවුලේ සාමාජිකයකු ලෙස ඔවුන් උණුසුම්ව මා පිළිගත්තා; සභා අතර සැබෑ සංවාදය මෙසේ එක්ව බෙදාගැනීමයි - එක්ව ජීවත් වීමයි" යොවුන් පූජකවරිය කියයි 

“The true ecumenical movement must be lived and shared together,” says the only female cleric at the  youth synod 

රදගුරු හිමිවරුන් මැද මාටිනා කොපෙච්කා දේවගැති තුමිය 

(2018 ඔක්තෝබර 25)
වතිකානයේ තරුණයන්  පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව පැවැත්වෙන ශාලාව  රදගුරු හිමිවරුන්ගෙන් පිරී තිබේ. පිරිමින්ගෙන් පමණක් සමන්විත මෙම රදගුරු සංසදයේ අසුන් පේළි එකිනෙක අතරින්  නෙත් ගෙනයන විට ...හදිසියේම කාන්තා රුවක්  නෙත ගැටේ. ඈ තරුණ ය. සොඳුරුය. රදගුරු හිමිවරුන් සේ ම ඇය ද සංසද සාකච්ඡාවලට සාවධානව සහභාගී වෙමින් සිටියි.

තවත් අවධානයෙන් බලන විට ඈ  පූජකවරුන් ගේ ජනවන්දනා ඇඳුමින් සැරසී සිටියි.

"මම පූජක ඇඳුමින් සිටිනු දැකල කාදිනල් හිමිවරුත් රදගුරු හිමිවරුත් පුදුම වෙන්න ඇති කියල මම හිතනවා..." ජේසු නිකායික "America" සඟරාවේ පියතුමෙකුට ඈ කියයි. "ඇතැම් විට එතුමන්ලා කම්පනයටත් පුදුමයත් පත්වෙන්න ඇති මා පූජක ඇඳුමින් දැක්කම. හැබැයි මේ සියළුම දෙනා මා හඳුනා ගත්තා මේ පූජක ඇඳුමින් ඉන්නෙ ඊයේ රෑ කෑම ගනිද්දී අපි දැකපු තරුණ කෙල්ල කියල.  ඒ වගේම සියලු දෙනාම උණුසුම්ව මා පිළිගත්තා. මා මගේ ඉදිරිපත් කිරීම කරද්දී ඔවුන් මට ඉතා සාවධානව සවන් දුන්නා. ඔවුන් මා ඈත් කලේ නැහැ. එකම පවුලේ සාමාජිකයකු ලෙස මා පිළිගත්තා ...." ඇය ඉතා සතුටින් කියාගෙන යයි.

සර්ව පුරුෂ කතෝලික රදගුරු සිනොඩ් කතිකාවට එක්වන මේ යුවතිය කවුද? 

ඈ නමින් මාටිනා වික්ටෝරි කොපෙච්කා ය. වයස අවුරු 32 කි.

මාටිනා කොපෙච්කා චෙකොස්ලෝවැක් හුසයිට් සභාවේ දේවගැතිවරියකි. ඈ රදගුරු සිනොඩ් කතිකාවට එක්වන්නේ ලෝක කිතුනු සභා කවුන්සිලය (World Council of Churches - WCC ) නියෝජනය කරමිනි. ලෝක කිතුනු සභා කවුන්සිලය කතෝලික නොවන කිතුනු සභා 350 ක් සාමාජිකත්වය දරන සහභාගීත්ව සංසදයකි. 20 දෙනෙකුගෙන් සමන්විත එම කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස ද සභා සංවාදය පිලිබඳ යොවුන් ව්‍යාපාරයේ සාමාජිකයකු ලෙස ද ඇය  ක්‍රියා කරයි.  රදගුරු කතිකාවේදී ලෝක කිතුනු සභා කවුන්සිලය නියෝජනය කිරීමට එම සභා මගින් ඇය එවනු ලැබ ඇත්තේ ඒ නිසාය.

"මානවයකු තවත් මානවයකු හමුවන විට අප කවර සභාවකට අයත්ද යන්න වලංගු වන්නේ නැහැ" මාටිනා කොපෙච්කා දේවගැතිතුමිය "America' සඟරාවේ ලූක් හන්සෙන් ජේ.නි. පියතුමාට කියා සිටියාය.
"අප විශ්වාස කරන්නේ ක්‍රිස්තුන් වහන්සේවයි. ඒ නිසා - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියනව වගේ - අපට පුළුවන් එකට වැඩකරන්නටත් එකට යාච්ඥා කරන්නටත් මාර්ගයක් සොයා ගන්න. අප අයත්වෙන්නෙ වෙනස් සංස්කෘතීන් සහ සමාජවලට. එහෙත් අපට යම් පොදු සාධකයක් තිබෙනව,"යයි ඇය කියා සිටියාය. "කිතුනු සභා අතර සංවාදයේ සැබෑ ක්‍රියාකාරීත්වය නම් එය එකට ජීවත් වීමයි, බෙදා ගැනීමයි" යයි ඇය පෙන්වා දුන්නාය.

මෙම කතිකාවේදී කතෝලික රදගුරු හිමිවරුන් සහ කාදිනල් හිමිවරුන්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම ගැන දේවගැති තුමිය ප්‍රශංසා කළාය. තමා තමා වෙතටම යොමු වූ (Introvert) චරිතයක් ඇත්තෙකු බැවින් මුල් දිනවල තනි මේසයක වාඩිවී ආහාර ගත් බව ඈ කියා සිටියාය.
"දවසක් දරගුරු හිමි නමක් ඇවිත් 'මමත් ඔබට එක්වෙන්නද' කියා ආචාර ශීලීව විමසුවා. මම එතුමාව ආදරයෙන් පිළිගත්තා. එතුමා මා සමග සුහදව කතා කරමින් ආහාර ගත්තා. ඉන් පසු  තවත් කිහිප දෙනෙක්ම අපට එක්වුණා. එදා සිට මා නිරුත්සාහකවම රදගුරු හිමිවරුන් ගේ පවුලේ කෙනෙක් වුනා"

රදගුරු සංසද අදහස් හුවමාරුවේදී ද රදගුරු හිමිවරුන් සිය මත දැක්වීම් වලට ගරු කල බවත් ඒවාට සාවධානව සවන් දුන් බවත් දේවගැතිතුමිය කියා සිටියාය.

සිත් හැරීම 

මාටිනා කොපෙච්කා දේවගැතිතුමිය ගේ පූජකවරය ලැබීමේ ගමන ද සිත් මවිත කරන සිත්හැරීමේ කතාවකි.

ඇය උපන් චෙක් ජනරජය අතිශයින් ඓහික වූ  රාජ්‍යයකි (secular state). මේ නිසා බහුතරයක් ජනතාව කිසිදු ආගමික ආයතනයකට බැඳී නැත. විශේෂයෙන් සභාවට බැඳී නැත. වෛද්‍යවරුන් වන සිය දෙමාපියන් දෙදෙනාම බෙහෙවින් ගැඹුරු 'ආධ්‍යාත්මිකත්වයෙන්' යුත් දෙදෙනෙකු නමුත් කිතුනුවන් හෝ පල්ලි යන්නන් හෝ නොවූ බව ඇය කියා සිටියාය, ඇය ද පූජක වරයකු වීම තබා කිසිදා කිතුනුවකු වීම ගැන හෝ සිතා තිබුනේ නැත.

ඇය අන්තර් ජාතික සමාගමක කලමනාකර වරියක් ලෙස රැකියාව කරමින් සිටියදී තව දුරටත් ඉගෙන ගැනීමේ  ආශාවක් ඇති විය. මේ සඳහා ප්‍රාග් නුවර ශාන්ත චාර්ල්ස්  විශ්ව විද්‍යාලයට යන්නට  ඇය තීරණය කලේ ඒ සඳහා ප්‍රවේශ විභාගයක් නොතිබූ  නිසාය. එම විශ්ව විද්‍යාලයේ දී ඇය හිබෘ භාෂාව, ලතින් භාෂාව, දේවධර්මය සහ බයිබලය යන විෂයයන් හැදෑරුවාය. තමන් අපේක්ෂා කල ජීවිත වටිනාකම් ගැන තමා ඉගෙනගන්නා බව දිනේ දින ඇයට පසක් වන්නට විය. එහෙත් කිසිදු ආගමික ඇදහිල්ලක් විශ්වාස නොකිරීමට ඇය පරෙස්සම් වූවාය.

එහෙත් කල් යත්ම මාටිනා (කිතුනු ධාර්මික) අබිරහස් වෙත ආකර්ෂණය වීමට පටන් ගත්තාය.

"මට මොකුත් කරගන්න බැරිව ගියා. මෙයයි මාර්ගය කියා දිනෙන් දින  මට වැටහෙන්නට පටන් ගත්තා. නොදැනුවත්වම ජේසු සමග මම ප්‍රේමයෙන් බැඳුනා. මෙය සභාවට එක්වීමට මට ලැබුණු කැඳවීමක් කියා මට අවබෝධ වුනා."

ඉන් පසුව ඇය ප්‍රසාද ස්නාපනය වීම සඳහා දෙව්මදුරක් සොයා ගියාය.

රැකියාවෙන් ඉවත් වී පූජකවරයට පුහුණු වන ලෙස ටික කලකින් පූජක වරු ඇය ධෛර්යමත්  කළහ

දේවධර්මය සහ මනෝ විද්‍යාව හදාරා ඇති ඇය අර්බුද උපදේශිකාවක් ලෙස ද සේවය කර තිබේ. දැනට සිය සභාවේ දේවගැතිවරියක  ලෙස මීසමක සේවය කරන මාටිනා දේවගැතිතුමිය සභා අතර සංවාදීය දෙව් දහම පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා හදාරමින් සිටින්නීය.

කාන්තාවන්ට පූජකවරය ලබා දිය යුතු බව ඇය තදින් ම විශ්වාස කරයි. එහෙත් මෙය  කතෝලික සභාව තුළ  ඇති සංවේදී ප්‍රශ්නයක් යැයි ඇය පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් බලපෑම 

රදගුරු සිනොඩ් කතිකාවට ගිහි යුවල්  සහ තරුණ තරුණියන් පරීක්ෂකයන්  ලෙස සභාගි වීම සේම වෙනත් කිතුනු සභා වලින් නියෝජිතයන් සහභාගී වීම ද 'ප්‍රැන්සිස් බලපෑමේ"  ප්‍රතිඵලයකි. ඊටත් වඩා එම නියෝජිතයා  ද තරුණියක් වීමත්, තරුණ පූජක වරියක් වීමත්  එම "ප්‍රැන්සිස් බලපෑමේ" (Francis Effect) ම ප්‍රතිඵලයකි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙවන වතිකාන කතිකාවෙන් ආරම්භ වූ කිතුනු සභා අතර සංවාදය සිය හදවතින්ම වැළඳගෙන ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරයි. මේ නිසා එතුමා සියලු කිතුනු සභා වල ගෞරවයට ලක්ව සිටියි. එසේම එතුමා "අන්තර්ග්‍රහණය" (inclusiveness)  අවධාරණය කරන්නෙකි. සභාව තුළ කාන්තාවන් ගේ කාර්යභාරයේ වැදගත්කම ගැන අවධාරණය කරන්නෙකි. 

මේ නිසා මෙම රදගුරු සංසදයට වෙනත් කිතුනු සභාවක යොවුන් කාන්තා පුදැදුරු වරියක් සහභාගී වීමත් ඊට ඇයගෙන්  ලැබුණු දායකත්වයත් සභා ඉතිහාසය තුළ ස්ථිරව සටහන් වනු ඇත. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය