ලෞකික බලයේ මහිමයට එරෙහිව 'කුරුසියේ සිහසුන' සහ සේවයේ නායකත්වය -තුන්කාල ආරාධනා භාවනාව

 Service and the throne of the Cross: Antidote to glory-seeking - Angelus meditation 


(2018 ඔක්තෝබර 21)
ජේසු සමිඳුන් ගේ සිංහාසනය නම් ලෝකයේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ ගේ ජීවිතය පූජා කළ කුරුසිය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි. මේ නිසා උන්වහන්සේ අනුගමනය කරන්නන් සියල්ල පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටිය යුතු බව එතුමා අවධාරණය කරයි.

"ගුරුතුමන් ගේ පණිවිඩය පැහැදිලිය: එනම් ලෝකයේ බලවතුන් සිය බලය වෙනුවෙන් සිංහාසන ගොඩනගන විට දෙවියන් වහන්සේ ඉතා අපහසු සිංහාසනයක් තෝරාගෙන ඇති බවයි. එම අපහසු සිංහාසනය නම් ක්‍රිස්තුන් වහන්සේ ජීවිතය දානය කරමින් රජකම් කරන කුරුසියයි...'මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටත් බොහෝ දෙනෙකු වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමටත්' යයි ක්‍රිස්තුන් වහන්සේ පවසති" යි එතුමා පහදා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඔක්තෝබර 21 ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය භාවනාව කරමිනි. එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. (මාක් 10:35-45)

දේව  රාජ්‍යය ස්ථාපනය කිරීමේදී තමන් උන්වහන්සේ ගේ දකුණු පස සහ වම් පස අසුන් ගැනීමට සලස්වන ලෙස ශ්‍රාවක ජේම්ස් සහ ජුවාම් යන සහෝදරයන් දෙදෙනා ක්‍රිස්තුන් වහන්සේගෙන් ඉල්ලා සිටීම සහ ඊට උන්වහන්සේ දුන් පිළිතුර මෙම සුවිශේෂ පාඨය විස්තර කරයි.

"ජේම්ස් සහ ජුවාම් යන සහෝදරයන් දෙදෙනා තමන් කෙරෙහිත් දේව රාජ්‍යය කෙරෙහිත් වූ උනන්දුව මගින් ප්‍රාණවත් වී ඇති බව ජේසු සමිඳුන් දන්නවා" යි එය විස්තර කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"එසේම ඔවුන්ගේ අපේක්ෂා සහ උද්‍යෝගය ලෞකික මානසිකත්වය මගින් දුෂ්‍ය වී ඇති බවත් උන්වහන්සේ දන්නවා. මේ නිසා උන්වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දෙනවා: 'ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබ දන්නේ නැත. මා පානය කරන පාත්‍රයෙන් පානය කිරීමට ඔබට පුලුවන්ද? මා බෞතීස්ම කරනු ලැබ ඇති බෞතීස්මයෙන් බෞතීස්ම කරනු ලැබීමට ඔබ සුදානම් ද?'  ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම සඳහා කැපකිරීම, පරිත්‍යාගය, පූජාවීම අත්‍යවශ්‍ය බව ඔවුන් ඉගෙනගත යුතුව තිබුනා. මන්ද ප්‍රේමයේ මාවත නිතරම වැටී ඇත්තේ පාඩුව මතයි.ලාබය හෝ ලෞකික ප්‍රතිලාභ මත නොවේ, " යි සුදොතුම් පියතුමා විස්තර කළේය. 

"ගුරුතුමන් ගේ පණිවිඩය පැහැදිලියි: එනම් ලෝකයේ බලවතුන් සිය බලය වෙනුවෙන් සිංහාසන ගොඩනගන විට දෙවියන් වහන්සේ ඉතා අපහසු සිංහාසනයක් තෝරාගෙන ඇති බවයි. එම අපහසු සිංහාසනය නම් ක්‍රිස්තුන් වහන්සේ ජීවිතය දානය කරමින් රජකම් කරන කුරුසියයි," එතුමා අවධාරණය කළේය.

"මෙම පාඩම හුදෙක් ජේම්ස් සහ ජුවාම් තුමන්ට පමණක් නොවේ. එබඳු ලෞකික මානසිකත්වයකින් රෝගී වූ සියලුම අපොස්තුලුවරුනට සහ සෑම කාලයකම ජීවත්වන සියලුම කිතුනුවනටයි."

"ක්‍රිස්තුන් වහන්සේ වදාලා සේ: 'ඔබ අතරේ ශ්‍රේෂ්ඨයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වේවා! ප්‍රථමයා වීමට කැමති තැනැත්තේ සියල්ලන් ගේ වහලා වේවා!' කිතුනුවන්ගේ නීතිය මෙයයි. මිනිසුන් අතර බෝවන, කිතුනුවන් පමණක් නොව සභාවේ නායකත්වය පවා රෝගී කරන ප්‍රථමයා වීමට තැත්කරන  රෝගයට එරෙහිව ක්‍රියාත්මක වන ඵලදායීම ප්‍රතිකාරය සේවයේ මාර්ගයයි."

" මේ නිසා ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ලෙස අප මේ සුබ අස්න ප්‍රේමයෙන් පිළිගත යුත්තේ සිත්මාරුවට කැඳවීමක් ලෙසයි; එසේම අතිශයින් ම සුළු වූ තැනැත්තන්ට  ප්‍රේමයෙන් සහ බැහැපත්කමින් සේවය කිරීම සඳහා ධෛර්යයෙන් සහ ත්‍යාගශීලි බැවින්  ඔවුන් ගේ පා ඉදිරියේ හිස නමන සභාවක් වීමේ ජීවිත සාක්ෂියක් ලෙසයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය භාවනාව අවසන් කරමින් කියා සිටියේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය