වොෂින්ටන්හි මහා+ආත්ම කාදිනල් -අගරදගුරු හිමි විශ්‍රාම ගනියි: "ඔබගේ විශ්‍රාම ඉල්ලීම තුළ එඬේරෙකු ගේ හදවත මම දකිමි" ඉල්ලා අස්වීම පිළිගනිමින් සුදොතුම් පියතුමා කියයි

Washington's Archbishop,Cardinal Wuerl resigns; "I see in your request the heart of a Shepherd" Holy Father says 



(2018 ඔක්තෝබර 15)
වොෂින්ටන්හි අගරදගුරු අති උතුම් ඩොනල්ඩ් වර්ල් කාදිනල් හිමි එම ධුරයෙන් විශ්‍රාම ගනියි.විශ්‍රාම ගැනීම සඳහා තමන් ඉදිරිපත් කරන ඉල්ලීම පිළිගන්නැයි ඉල්ලා සිටිමින් එතුමන් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔක්තෝබර 12 වනදා පිළිගත්තේය. එතුමා ගේ අනුප්‍රාප්තිකයා පත් කෙරෙන තෙක් වොෂින්ටන් අගරදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කටයුතු කරන ලෙස ද සුදොතුම් පියතුමා එතුමාගෙන් ඉල්ලා තිබේ.

දශක පහක් පමණ පුරා විහිද ගිය සිය රදගුරු-පුදැදුරු සේවා සමයේ දී වර්ල් කාදිනල් හිමි ඇමෙරිකානු කතෝලික සභාවේ මහා+ආත්මයකින් යුත්, අතිශයින් ම කැපවුණු නායකයකු සේ ම අතිශයින්ම බලපෑම් කල හැකි පුදදුරු වරයකු ලෙස ද ගෞරවයට පත්ව සිටියේය. 

එතුමාට විශ්‍රාම ගැනීම සඳහා බලපෑමක් ඇතිවූයේ ඉකුත් දා නිකුත් කෙරුණු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පූජක ළමා ලිංගික අපයෝජන සම්බන්ධ මහා ජූරි වාර්තාවේ එතුමා සම්බන්ධයෙන් කර තිබූ සඳහනක් හේතුවෙනි. එක්තරා අපයෝජක පූජකවරයකු යළිත් ප්‍රසිද්ධ සේවාවට ඇතුළු කිරීමට වතිකාන නිලධාරීන් ගත් උත්සාහයකට එරෙහිව කාදිනල් වර්ල් හිමි කල අරගලය මෙම ජූරි වාර්තාවේ ප්‍රශංසාවට ලක්ව තිබිණි. එතුමා රෝමයේ සේවාවට යාමට පෙර නායකත්වය දැරූ පදවි කිහිපයකම අපයෝජනවලට එරෙහිව කටයුතු කිරීම ගැන ද එතුමා ගෞරවයට ලක්ව සිටියේය. එහෙත් පිට්ස්බර්ග් පදවියේ රදගුරුතුමන්ව සිටියදී අනිසි හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පූජකවරුන් කිහිප දෙනෙකුට අදාළව කටයුතු කිරීමේ දී එතුමා ගේ ක්‍රියාකාරීත්වය මහා ජූරි වාර්තාව මගින් ප්‍රශ්න කර තිබිණි. එම සඳහන පාදක කරගනිමින් එතුමනට එරෙහිව දැඩි මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබිණි. මීට වසර කිහිපයකට පෙර තමා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම පිළිගන්නැයි කාදිනල් ඩොනල්ඩ් වර්ල් හිමියන් සුදොතුම් පියතුමා ගෙන් ඉල්ලා සිටියේ එම වාතාවරණය තුළයි.

"පෞද්ගලික ව්‍යාපෘති නොව දෙවියන් වහන්සේ ගේ ව්‍යාපෘතිය පෙරට" 

එම ඉල්ලීම පිළිගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් එවන ලද ලිපිය වොෂින්ටන් අගරදගුරු පදවිය විසින් ඉංග්‍රීසි බසට පෙරළා ප්‍රසිද්ධ කොට තිබේ. එම ලිපිය වර්ල්  කාදිනල් හිමියන් ගේ සේම සුදොතුම් පියතුමන් ගේ ද මෘදු එඬේරික මහා ආත්මවල සුන්දරත්වය පෙන්නුම් කරන කැඩපතක් වැන්න.

"ඔබගේ මෙම ඉල්ලීම ඔබගේ සේවාව තුළ දක්නට ලැබුණු කුළුණු දෙකක් මත රැඳී තිබෙන බව මම දනිමි" යි සුදොතුම් පියතුමා එම ඉල්ලීම පිළිගනිමින් වර්ල් හිමියනට පවසා තිබේ.
"එනම් සියල්ල තුළ දෙවියන් වහන්සේ වඩ වඩාත් මහිමයට පත් කිරීම සහ ඔබගේ රැකවරණයට භාර කරන  ලද ජනතාව ගේ යහපත සැලැසීමයි. දෙවියන් වහන්සේ ගේ ජනතාව ගේ අර්ථසාධනය සහ එක්සත්කම සමිඳුන් ඉල්ලා සිටි වටිනා තිළිණයක් බවත් උන්වහන්සේ ඒ වෙනුවෙන් සිය ජීවිතය පුද කළ බවත් එඬේරා දනියි. මේ එක්සත්කම වෙනුවෙන් උන්වහන්සේ සිය ජීවිතය පුද කල අතර මේ නිසා එම ජනතාව එකමුතු කමින් රැකබලා ගැනීම පමණක් නොව සුපුවතේ සාක්ෂිකරුවන් බවට පත්කිරීමද අපගේ දූත මෙහෙවරයි" යි එතුමා පෙන්වා  දෙයි.

භේදය වපුරන සාතන් ගෙන් රැලේ එක්සත් කම රැකීම සඳහා කෙරෙන පරිත්‍යාගය තුළ ප්‍රදර්ශනය වන මෙම මහ පුදැදුරු නම ගේ 'එඬේරික' හදවත සුදොතුම් පියතුමා අගය කර තිබේ.
"සමස්ත දේහයේ ශුභ සිද්ධියට හේතුවන වඩා විශිෂ්ට යහපතක් පිළිගැනීම වෙනුවෙන් සිය දැක්ම පුළුල් කරගන්නා වුද,එඬේරාට තුවාල කිරීම මගින් වෙනත් කිසිවක් නොව බැටළුවන් විසුරුවා හැරීමටම  සොයන බොරුවේ පියා වපුරන සෑම ආකාරයකම නිසරු භේද වලට වඩා ඉහලින් සභාවේ එක්සත්කම සහ දූත මෙහෙවර ප්‍රමුඛත්වයට පත් කර ඇති ඔබ තුළ පවතින එඬේරෙකුගේ හදවත මම හඳුනා ගනිමි."

වර්ල් කාදිනල් හිමි සිය  'ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීමට තරම්' ආර්ය ගුණයෙන් යුක්ත වීම ගැන ද සුදොතුම් පියතුමා ප්‍රශංසා කරයි. එතුමා මේසද කියයි:

"ඔබ දෙවියන් වහන්සේ ගේ ව්‍යාපෘතිය සභාවට යහපත් යැයි සැලකිය හැකි ව්‍යාපෘති ඇතුළු සියලු ආකාරයේ පෞද්ගලික ව්‍යාපෘති වලට වඩා ඉදිරියෙන් තබා තිබේ.  ඔබගේ පදවිය අත්හැරීම ස්වකීය සභාව තුළ අඛණ්ඩව ක්‍රියා කාරී වන ශුද්ධාත්මයානන් වහන්සේට ඔබ තුළ ඇති කීකරුකමේත්  උපයෝගීතාවයේත් සලකුණකි."

සේයාරුව : කාදිනල් ඩොනල්ඩ් වර්ල් හිමි 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය