ශුද්ධාසනය හා චීනය අතර ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ - වතිකාන අනුමැතියෙන් තොරව චීන ආණ්ඩුව පත් කළ රදගුරුවරුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පිළිගනු ලබයි (Breaking News)

Vatican and China sign agreement on the appointment of bishops -  Pope Francis recognizes Chinese bishops ordained without papal approval

(මෙම පුවතට  අද දවස පුරා නව තොරතුරු එකතුකර යාවත්කාලීන කරනු ලැබිණි.) 

බීජිං නුවර දේවමාතාවහන්සේ ගේ නිර්දෝෂ පිළිසිඳීමේ ආසන දෙව්මැදුරේ යාච්ඥා කරන සැදැහැවතුන් පිරිසක් 

(2018 සැප්තැම්බර් 22)
ශුද්ධාසනය සහ  චීනය අතර ඓතිහාසික "තාවකාලික" ගිවිසුමකට අද (සැප්තැම්බර 22) අත්සන් තැබිණි.

අද දහවල් කාලයේ වතිකාන මාධ්‍ය කාර්යාලය අංශය විසින් නිකුත් කෙරුණු කෙටි නිවේදන කිහිපයකින් මේ පිළිබඳව හෙළිදරව් කෙරිණි. පොදුවේ උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා පදනම් කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණු බව  එම නිවේදනයේ සඳහන් වේ.

ගිවිසුමට අත්සබ් තැබීම සිදුවූයේ චීනයේ  බීජිං අගනුවර දීය.  ශුද්ධාසනය වෙනුවෙන් එහි රාජ්‍ය සමග සම්බන්ධතා පිලිබඳ නියෝජ්‍ය ලේකම් ඇන්ටොයින් කැමිලේරි මාහිමි ද චීනය වෙනුවෙන් එරට නියෝජ්‍ය විදේශ ඇමැති වාං චාඕ ද ඊට අත්සන් කළහ. 

මෙය තාවකාලික නොහොත් අන්තර්වාර ගිවිසුමක් බව වතිකානය නිකුත් කල නිවේදනය පැහැදිලි කරයි. "එය ක්‍රමානුකුල සහ අන්‍යෝන්‍ය  මිත්‍රත්වය ප්‍රතිෂ්ඨාපනය කරගැනීමේ ක්‍රියාවලියක ඵලය වන අතර පරෙස්සම් සහගත දීර්ඝකාලීන සාකච්ඡා ක්‍රියාවලියකින්  පසුව ඇතිකරගන්නා ලද සම්මුතියක් ද  වේ. එසේම, එය ක්‍රියාත්මක කිරීමේදී කාලයෙන් කාලයට අවශ්‍ය සංශෝධන හෝ සමාලෝචන සිදුවනු ඇති බව ද අපේක්ෂා කෙරේ" යැයි වතිකනය පවසයි.

ගිවිසුම චීනයේ රදගුරුවරුන් පත් කිරීම පිළිබඳවයි

මෙම ගිවිසුම මගින් සැලැකිල්ල යොමු කර ඇත්තේ "සභා ජීවිතයට අතිශයින් වැදගත් වන චීනයේ කතෝලික රදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් බව" වතිකානය කියයි. මේ කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර වඩා පුළුල් සහයෝගිතාවක් මෙම ගිවිසුම මගින් ඇතිකෙරෙන බව එම නිවේදනය පෙන්වා දෙයි. එහෙත් ගිවිසුම ගැන විස්තරයක් වතිකාන විසින් හෝ  චීනය විසින් හෙලිදරව්  කර නොමැත.

චීන සංස්කෘතික විප්ලවයෙන් පසුව එරට තුළ කතෝලික සභාවේ  කිසිදු කාර්යයකට ඇත පෙවීම එරට කොමියුනිස්ට් ආණ්ඩුව  විසින්  රෝමයට තහනම් කර තිබිණි. චීනය 1957 සිට  පාප් වහන්සේ ගේ අනුමැතියකින් තොරව එරට රදගුරුවරුන් පත්කිරීම ආරම්භ කළේය. ඒ සමගම එරට සභාව කණ්ඩායම් දෙකකට බෙදී ගියේය. එනම් පාප්වහන්සේට පක්ෂපාතී සහ රදගුරුවරුන් පත්කිරීම ඇතුළු සියලු කරුණුවලදී එතුමන් ගේ නායකත්වය පිළිගන්නා "සැඟවුනු" සභාව (underground church), සහ චීන ආණ්ඩුවේ අනුග්‍රහයෙන් හා පාලනයෙන් ගෙන යනු ලබන "නිල සභාව" හෙවත්  "Patriotic Catholic Association" නමැති සභාවයි. මෙම කණ්ඩායමට ඇතුළත් වන 'කතෝලික සභාවේ' රදගුරුවරුන් පත්කරන ලද්දේ කොමියුනිස්ට් ආණ්ඩුව විසිනි.මෙම තත්වය යටතේ, සැඟවුණු සභාවේ කතෝලිකයනට හා රදගුරු හිමිවරුනට චීන ආණ්ඩුවේ විවිධ හිංසා පීඩා වලට ගොදුරු වීමට් සිදුවිය. බොහෝ අවස්ථාවල රදගුරු හිමිවරුන් වසරේ වැඩි කාලයක් ගත කලේ හිරගෙවල් වලය. පාප්තුමන් විසින් පත් කරන ලද රදගුරුවරුන් පිළිගැනීම කොමියුනිස්ට් ආණ්ඩුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට තමන් විසින් පත් කරන ලද රදගුරුවරුන් පිළිගන්නා ලෙස වතිකානයට බල කළේය. දෙව්මැදුරු වසා දැමුවේය. නත්තල් සහ පාස්කු වැනි විශේෂ මංගල්‍යයන් සැමරීම අවහිර වන අයුරින් විවිධ පීඩා කළේය.

චීන කතෝලිකයනට මහත් පීඩාවක් වූ මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා දශක තුනක පමණ කාලයක සිට වතිකානය මහජන චීන ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භ කර තිබිණි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් යටතේ එම සාකච්ඡාවල කැපීපෙනෙන ප්‍රගතියක් ඇති වූ නමුදු 2010 දී එම ක්‍රියාවලිය මුළුමණින්ම නැවතුනේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීනයේ රදගුරු හිමිවරුන් පත්කිරීම පිලිබඳ ප්‍රශ්නය සිය රාජ්‍ය තාන්ත්‍රික සහ අපෝස්තලික න්‍යාය පත්‍රයේ ඉහළම ප්‍රමුඛතාවක් බවට පත්කර ගත්තේය. මේ අනුව නව රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමියන් ගේ නායකත්වය මත සාකච්ඡා යළි පණ ගැන්විණි. මෙම ගිවිසුම අත්සන් කෙරුනේ එම ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙසයි.

ගිවිසුමේ තොරතුරු නිකුත් වී නැතත්  ඒ මගින් චීනයේ රදගුරු හිමිවරුන් පත්කිරීම පිලිබඳ බලය යළිත් පාප් වහන්සේට හිමිවන බව තතුදත් ආරංචි මාර්ග පවසයි. මේ අනුව ඉදිරියේදී චීනයට නව රදගුරුවරුන් පත්කරනු ලබන්නේ "ප්‍රජාතාන්ත්‍රික" ක්‍රියා මාර්ගයකිනි. අදාළ පදවියේ රදගුරු හිමියන් වීමට සුදුසු කම් ඇති පූජකවරුන් පිළිබඳව චීන ආණ්ඩුව එරට කතෝලික රදගුරු සම්මේලනයෙන් සහ කතෝලික ජනතාවගෙන් මත විමසීමක් කරයි. එලෙස යෝජනා කෙරෙන නම් කිහිපයක් ආණ්ඩුව  විසින් රෝමයට යොමු කරනු ලබයි. මේ අතරින් කෙනෙකු නව රදගුරු තුමන් ලෙස තෝරා ගැනීමට පාප් තුමන්ට බලය හිමිවන අතර එම සියලුම නම් ප්‍රතික්ෂේප කිරීමේ නිශේධ බලයක් ද මෙම ගිවිසුම මගින් එතුමනට හිමිවේ. එතුමා එම නම් ප්‍රතික්ෂේප කරන්නේ නම්, චීන ආණ්ඩුව විසින් යළිත් එම ක්‍රියා මාර්ගය ආරම්භ කල යුතු වනු ඇත.

රෝමයේ අනුමැතිය නැතිව චීන ආණ්ඩුව විසින් පත් කරන ලද රදගුරුවරු  

පාප් වහන්සේගේ අනුමැතියකින් තොරව චීන ආණ්ඩුව විසින් පත්කරන ලද චීන "නිල සභාවේ" ඉතිරි රදගුරුවරුන් පිළිගැනීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර ඇතැයි වෙනම නිවේදනයක් මගින් වතිකානය ප්‍රකාශ කළේය. එම පිරිසට රදගුරුවරු 8 දෙනෙක් අයත් වෙති. සොළොස්වන බෙනඩික් පාප් වහන්සේගේ ධුර කාලයේ දී එතුමන් ගේ ප්‍රතික්ෂේප කිරීම නොතකා චීන ආණ්ඩුව විසින් පත් කරන ලද මෙම රදගුරු හිමිවරු එසැනින් කතෝලික සභාවෙන් නෙරපා හරිනු ලැබූහ. මේ අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම තීරණය මගින් ගම්‍ය වන්නේ ඔවුන් යළිත් සභාව සමග එක්සත් කරගනු ලැබ ඇති බව යයි සසුන්වේද විශේෂඥයෝ පවසති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම තීරණය ගත්තේ "චීනය තුළ සුපුවත ප්‍රකාශ  කිරීම ශක්තිමත් කිරීමේ දැක්මෙන් බව" වතිකානය කියයි.   රදගුරු හිමිවරුන් පිළිගැනීමට ගත් මෙම  තීරණයත් සමග අතීතයේ සහ වර්තමානයේ ඇති වූ තුවාල සුවපත් වී චීන කතෝලිකයන් අතර පූර්ණ සහභාගීත්වයක්, එක්සත්කමක් සහ ඒකාබද්ධතාවක් ඇතිවීම සුදොතුම් පියතුමාගේ ප්‍රාර්ථනය බව එම වතිකාන නිවේදනය පෙන්වා දෙයි.

චීන ආණ්ඩුවේ අනුමැතිය ලද 'දක්ෂිණ ආසන දෙව්මැදුරේ" 2015 නත්තල් මෙහෙය 


මෙම තීරණයත් සමග චීනයේ මේ වන විට සිටින රදගුරු හිමිවරු සියලු  දෙනා (රදගුරු හිමිවරු 100 නමක් පමණ) 1949න් පසු ප්‍රථම වතාවට  රෝමයේ රදගුරු තුමන් වන පාප් වහන්සේ සමග ඒකාබද්ධ වෙති. මෙහි අරුත වන්නේ  චීන ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගනු ලැබ සිටින රදගුරු හිමිවරු 60 දෙනාම මේ තීරණය නිසා සුදොතුම් පියතුමන් සමග එක්සත් වන බවයි.

එහෙත් පාප් වහන්සේට පක්ෂපාතීත්වය දක්වන, එතුමන් විසින් පත්කරනු ලැබීම නිසා එතුමන් සමග දැනටමත් එක්සත්ව සිටින "සැඟවුණු" සභාවේ රදගුරු හිමිවරු 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් චීන ආණ්ඩුව විසින් මෙතෙක් පළිගනු ලැබ  නැත. එම රදගුරු හිමිවරුන් ගේ තත්වය පිලිබඳව  මෙම තාවකාලික ගිවිසුමේ  කරුණු සඳහන් කර නැත. එහෙත් දෙපාර්ශවය අතර සංවාදය සඳහා 2014 දී පිහිටුවන ලද ඒකාබද්ධ කෘත්‍යාධිකාරී කමිටුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම මෙම ගිවිසුම පවා අවසාන පියවරක් නොවන බැවින් ඉදියේදී එම ගැටලුවට ද පිළිතුරු ලැබෙනු ඇති බව විශ්වාස කල හැකිය.

"අවසානය නොවේ; ආරම්භය පමණයි"

1949 ඔක්තෝබර 1 වැනිදා චීනය කොමියුනිස් පාලනය යටතට පත්වීමෙන් පසුව ශුද්ධාසනය සහ මහජන චීනය ගිවිසුමකට අත්සන් තැබුණු ප්‍රථම අවස්ථාව  මෙයයි.

"මෙය මෙම ක්‍රියාවලියේ අවසානය නොවේ" යයි වතිකාන මාධ්‍ය කාර්යාලේ අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් කියා සිටියේය." මෙය ආරම්භය පමණයි. මෙම ගිවිසුම කතා කරන්නේ  දෙපාර්ශවය තුළ සිටින වෙනස් අදහස් සහ මතිමතාන්තර දරණ පුද්ගලයන් අතර සංවාදය සහ ඉවසිළිමත් සවන්දීම ගැනයි" ඔහු සඳහන් කළේය. මේ අනුව ඉදිරියේදී මෙම ගිවිසුම තවදුරටත් විකාශනය වනු ඇති බව අපේක්ෂා කල හැකිය. බර්ක් තවදුරටත් කියා සිටියේ මෙය දේශපාලන සම්මුතියක් නොවන බවයි.
"මෙම ගිවිසුම තුළ තිබෙන්නේ දේශපාලන  අරමුණක් නොවේ. එය දහම් සේවාමය අරමුණක්. එහි අරමුණ වී ඇත්තේ සියලු සැදැහැවතුනට රෝමය විසිනුත් චීන බලධාරීන් විසිනුත් එකවර එක සේ පිළිගනු ලබන රදගුරු වරුන් හිමි වීමට අවකාශ සලසා දීමයි" යි මේ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ  ලිතුවේනියා අපෝස්තලික සංචාරයට එක්වී සිටින ඔහු විස්තර කළේය.

"සියලු චීන රදගුරු හිමිවරුන් රෝමයේ  රදගුරු තුමා සමග ඒකාබද්ධ වෙනවා"

මෙම ගිවිසුමත් සමග චීනයේ සියලු රදගුරු හිමිවරුන් රෝමයේ රදගුරුතුමන් සමග පළමුවරට ඒකාබද්ධ වන බව වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ පරෝලිනි හිමි නිවේදනයක් නිකුත් කරමින් කියයි. චීනය සහ ශුද්ධාසනය අතර සම්බන්ධතාව ඉදිරියට ගමන් කිරීම සඳහා විශ්වාසය, එක්සත්කම සහ නව ප්‍රගාමක බලයක් අවශ්‍ය බව එතුමා පවසයි .  මේ අනුව මෙම ගිවිසුම චීනයේ කතෝලික ජනතාවටත් චීනය සහ ශුද්ධාසනයටත් අතිශයින් වැදගත් එකක් බව එතුමා  පෙන්වා දෙයි.

මේ අනුව යමින් අතීතයේ සිදු වූ සහ වර්තමානයේ ඇති වී තිබෙන අනවබෝධතා ජයගැනීම සඳහා සමගි සන්ධානය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු චීන කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ලේකම් කාදිනල් හිමි පවසයි. "මේ අනුව සභාවේ වගකීම වන සුපුවත ප්‍රකාශ කිරීම සඳහා සැබැවින්ම දායක වීමටත්, එම වගකීම ඉටුකිරීමටත් ඔවුනට හැකියාව ලැබේ. එසේම සිය රටේ දියුණුවටත්, ආධ්‍යාත්මික සහ භෞතික දියුණුවටත්, සමස්ත ලෝකයේ සාමය සහ සමගි සන්ධානයටත්  දායක වීමට ඔවුනට දායක වීමට හැකියාව ලැබේ" යයි එතුමා නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය