"පහර දීමෙන් තොරව අපට අප ආරක්ෂා කර ගත හැකි බව දයාවේ මෑණියන් අපට උගන්වනවා" - සුදොතුම් පියතුමා විලිනියස්හි දී

“Mary teaches us that we can defend without attacking and  keep safe without the unhealthy need to distrust others" - Pope Francis at the Shrine of Our Lady of Mercy 


(2018 සැප්තැම්බර් 23)
බෝල්ටික් රටවල අපෝස්තලික සංචාරයක් ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සැප්තැම්බර් 22 දා ලිතුවේනියාවට පැමිණියේය.

බෝල්ටික්  රටවල් යනු උතුරුදිග යුරෝපයේ බෝල්ටික් මුහුදට නැගෙනහිර දිගින් පිහිටි එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන ස්වෛරී රාජ්‍ය තුනයි. අතීතයේ විවිධ අධිරාජ්‍යවලට යටත්ව තිබු මේ රටවල් දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාවලට යටත්වූ අතර රුසියාව විසින් නාසි හමුදා පරාජය කිරීමෙන් පසුව සෝවියට් දේශයට අයත් ප්‍රදේශ බවට පත් වී තිබිණි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව මේ රටවල් ස්වාධීන ස්වෛරී රාජ්‍යයන් බවට පත් වූ අතර මේ වන විට මේ රටවල් තුනම යුරෝපීය සංගමයේ සහ NATO (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ) සාමාජිකත්වය දරයි. මේ රටවල් තුනම ඉහල ආර්ථික සංවර්ධනයක් ඇති රටවල් අතරට වැටේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අපෝස්තලික සංචාරය ආරම්භ කලේ ලිතුවේනියාවෙනි. මේ රට අතීතයේදී විවිධ සංස්කෘතික අනන්‍යතාවලට අයත් විවිධ ජාතීන් පිළිගත් රටකි. මේ නිසා අද වන විට ලිතුවේනියාව පුළුල් වාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයක් සහිත රටකි. එරටට පැමිණි සුදොතුම් පියතුමා ගේ පළමු පණිවිඩ දෙක වූයේ ද "විවිධත්වය පිළිගන්න; භේදය සහ භේද කිරීම් පිටුදකින්න," යන්නයි.

ලිතුවේනියාවේ විලිනියස් අගනුවරට පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම නගරය සුන්දර කරන 14 වන සියවසට අයත් මාලිගයේදී ජනාධිපති ඩලියා ග්‍රයිබෝස්කේට් ප්‍රමුඛ ආණ්ඩුව සහ රජයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. එහිදී ඔවුන් අමතා කතා කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔවුන්ගෙන් සමුගෙන නික්ම ගියේ විලිනියස් නුවර පිහිටි ලොව පුරා ගෞරවයට පත් දයා කරුණාවේ අප මෑණියන්ගේ සිද්ධස්ථානය වෙතටයි. පැරැණි විලිනියස් නුවර වටා පැවැති ප්‍රාකාරයේ "අරුණෝදයේ දොරටුව"  (Gate of Dawn) නමැති ගේට්ටුව අසල මෙම සිද්ධස්ථානය පිහිටා තිබේ. දයාවේ බැතිය පතළ කළ ශු. පවුස්තිනා පැවිදි සොයුරියට ප්‍රථම වතාවට දේව දයාවේ පණිවිඩය ලැබුනේ මෙම සිද්ධස්ථානයේ පිහිටි දයාවේ අප මාතාවන් ගේ සිතුවම අබියසදීය. එහි පැමිණි සුදොතුම් පියතුමා ඒ වන විටත් සිද්ධස්තානයට රැස්ව සිටි ජනතාව සමග සිතුවම අබියස සිට ජපමාලය යාච්ඥා කළේය.

ලිතුවේනියාවේ මුතුන් මිත්තන් විසින් මෙම නගර ප්‍රාකාරය ගොඩනගන ලද්දේ ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කරගැනීම සඳහාය. 1799දී ආක්‍රමණික හමුදා විසින්  "අරුණෝදයේ දොරටුව" හැර මුළු ප්‍රාකාරයම බිමට සමතලා කරනු ලැබිණි. අරුණෝදයේ දොරටුව සමග ඒ අබියස පිහිටි දයාවේ අප මාතාවන්ගේ සිතුවම ද ආරක්ෂා විය.
"එම කාලයේ සිට මරිය මෑණියන් අපට වැදගත් පාඩමක් උගන්වන්නට උත්සාහ දරනවා. එනම් ප්‍රහාර එල්ල නොකර අපට අපව ආරක්ෂා කරගත හැකි බවයි; අනුන් අවිශ්වාස කිරීමේ අහිතකර අවශ්‍යතාවයෙන් තොරව අපට ආරක්ෂා සහිතව විසිය හැකි බවයි. මන්ද මේ ස්ථානයට පැමිණෙන සෑම පුද්ගලයකු තුළම අප දකින්නට අපොහොසත්වන සාධකයක් මරිය මෑණියන් දකින නිසයි. එනම් අපගේ හදවත්වල මුද්‍රණය කොට ඇති සිය පුතනුවන් වන ජේසු ගේ මුහුණයි," යි එම ඉතිහාසය ගෙන හැර දක්වමින් කතා කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "මන්ද අපට දෙවියන් වහන්සේ මුණගැසීමට හැකිවනු සඳහා සෑම මිනිස් හදවතකම, සෑම ගැහැණියකම, සෑම පිරිමියකුම තුළ ජේසු ගේ රූපය සලකුණු කර තිබේ,"යි එතුමා පෙන්වා දුන්නේය.

එසේ වුවද අප අපගේ නෙත් සහ සිත් සෙසු අය කරෙහි වූ කෝපයෙන් හෝ  බියෙන් වසා ගත් විට ඔවුන් තුළ ඇති මෙම ලාංඡනයට ද අප අන්ධ වන බව එතුමා පහැදිලි කළේය.

"එහෙත් අන් අය කෙරෙහි වූ බියෙන් අප අපගේ හදවත්  වසාගත් විට හෝ (අප වටා) ප්‍රාකාර සහ බාධක ඉදිකළ විට, සෙසු අයගේ ඉතිහාසය සහ ජීවිත බෙදා ගන්නා ජේසු සමිඳුන් ගේ සුපුවත අපි  අපටම අහිමි කරගනිමු."

මෙම සිද්ධස්ථානයේ සිට එතුමා සමස්ත යුරෝපයට සහ ලෝකයට ද  කතා කළේය.
"අතීතයේ දී අපි කොටු පවුරු රාශියක් ගොඩ නැගුවෙමු. එහෙත් අප එකිනෙකා දෙස නෙතින් නෙත, වතින් වත බැලිය යුතු බවත් සෑම කෙනෙකුම අපගේ සහෝදරයෙක් සහෝදරියක් ලෙස පිළිගතයුතු බවත් අද අපි අවබෝධ කරගෙන  සිටිමු. එසේම ඔවුන් සමග අත්වැල් බැඳගෙන එකට එක්ව ගමන් කරමින්  සහෝදරත්වයේ අගය සොයාගෙන  ප්‍රීතියෙන් සහ සාමයෙන් එය අත්දැකිය යුතු බව ද අපි අවබෝධ කරගනිමින් සිටිමු."

"අද ලෝකයේ ඇතැම් විට පෙනී යන කාරණයක් වන්නේ ලෝකයට විවෘත වීම තුළ අපව තරගකාරීත්වයේ තරග වළල්ලට  ඇදී යන බවයි. මෙම තරග වළල්ල තුළ  මිනිසා තවත් මිනිසෙකුට වෘකයෙකි. එහි ඉඩ ඇත්තේ අප භේද කරනු ලබන ගැටුම් වලටය; අප වෙහෙසට පත්කරන නොසන්සුන්තාවලටය; අප අතරමංකර මංමුලා කරන වෛරයට සහ සතුරුකම් වලටය."

එහෙත් දයා කරුණාවේ මෑණියන් උත්සාහ කරන්නේ සිය දරු දැරියන් එකම පවුලක් ලෙස එකතු කරන්නට බව සුදොතුම් පියතුමා මෙම සිද්ධස්තානයට රැස්ව සිටි ලිතුවේනියා ජනතාව අමතමින්  කියා සිටියේය.
"සෑම යහපත් අම්මා කෙනෙකු සේ  දයාවේ මෑණියන් උත්සාහ කරන්නේ සිය පවුල එකමුතු කරන්නට ය. ඕතුමිය අපගේ කණට කොඳුරා මෙසේ කියයි: 'ඔබගේ සහෝදරයා දෙස බලන්න. ඔබගේ සහෝදරිය දෙස බලන්න.' මෙසේ ඕ අපට නව අරුණෝදයක, නව දිනයක දොර විවර කරන්නීය. මෙලෙස ඕ තුමිය  ලේ ගලන තුවාල සහිත වර්තමාන දරු දැරියන් සහ පවුල් අප එන තෙක් බලා සිටින අරුණෝදයේ දොරකඩටම  අප රැගෙන යන්නීය. ඔවුන් ගේ තුවාල ජේසුගේ ම තුවාල ය. ඒවා සියල්ලම සැබෑ තුවාලය. ඔවුන් ගේ වේදනාව සහ අන්ධකාරය තුළ තමන් දයාවේ සුව සහන ආලෝකය වෙත රැගෙන යන ලෙස ඔව්හු අපෙන් අයැද සිටිති" යි නුතන ලෝක සන්දර්භය විස්තර කරමින් සුදොතුම් පියතුමා කීවේය.

"අපගේ බලාපොරොත්තුව වන ජේසු සමිඳුන් ප්‍රකාශ කළ හැකි ජනතාවක් බවට අප පත් කරන්නැයි දයාවේ මරිය මෑණියන්ගෙන් ඉල්ලන්න. එසේම සියල්ලන් පිළිගත හැකි රටක් ගොඩනගන්නට හැකිවන ලෙස එතුමිය ගෙන් අයැද සිටින්න. එසේම ඉවසීම, සමීප බව, ආදරයෙන් පිළිගැනීම  සහ සංවාදය යන තිලිණ එතුමියගෙන් ඉල්ලන්න" යයි කියමින් සුදොතුම් පියතුමා මෙම සිද්ධස්ථානයේ කල දේශනය නිමා කළේය.

(සේයාරුව: සුදොතුම් පියතුමා දයා කරුණාවේ අප මෑණියන් ගේ සිතුවම අබියස )





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය