"ධෛර්යවන්තව, යැදුමෙන් සවිමත්ව, නිර්මාණශීලිව ක්‍රියා කරන්න; දෑත් කිලිටි කරගැනීමට බිය නොවන්න" සුදොතුම් පියතුමා යොවුන් ජේසුනුවනට උපදෙස් දෙයි

Pope tells young Jesuits: "Be courageous, prayerful and creative"


(2018 අගෝස්තු 5)
දිරිමත්බව, යාච්ඥාව සහ නිර්මාණශීලීත්වය සෑම ජේසු නිකායික දූත සේවාවකම අන්තර්ගතවිය යුතු ලක්ෂණ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. විශේෂයෙන්ම රැකියා විරහිත වූ අපේක්ෂා භංග වූ තරුණයන්ට සේවාව කිරීමේදී මෙම ලක්ෂණ අනිවාර්යයෙන් අඩංගු විය යුතු බව එතුමා පෙන්වා දෙයි.

එතුමා මේ බව කියා සිටියේ යුරෝපීය යොවුන් ජේසු නිකායිකයන් (ජේසුනුවන්) කණ්ඩායමක් ඉකුත් අගෝස්තු 1 වැනිදා වතිකානයේ දී මුණගැසුණු අවස්ථාවේදීය. "පුහුණුවන යුරෝපීය ජේසුනුවෝ" නමැති පාඨමාලාවට සහභාගී වීම සඳහා මෙම යොවුන් ජේසු නිකායිකයන් කණ්ඩායම වතිකානයට පැමිණ සිටියේය. ඒ අතර සවැනි පාවුළු ශාලාවේ කමිටු කාමරයක දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කණ්ඩායමක් ලෙස මුණගැසීමේ අවස්ථාව  ඔවුනට ලැබිණි. ලියා ගත් කතාවක් කියවනවා වෙනුවට සුපුරුදු ලෙස මෙම ජේසු නිකායික පිරිසේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුදොතුම් පියතුමා එය සුහද හමුවක් බවට පත් කර ගත්තේය.

රැකියා විරහිත තරුණ ජනතාව සමග අර්ථාන්විතව සන්නිවේදනයක යෙදිය හැකි ආකාරය මෙම සංවාදයේදී නැගුනු එක් ප්‍රශ්නයක් විය.

විරැකියාව යොවුන් ජනතාව පෙළන උග්‍ර වේදනාත්මක ප්‍රශ්නයක් බව ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. මන්ද එය ඍජුවම පුද්ගලයකුගේ හදවත ස්පර්ශ කරන්නක් වන බැවිනි.

"තමන්ට ගරුත්වයක් නොමැති බව රැකියා විරහිත පුද්ගලයකුට නිතර සිතෙනවා. ඇතැම් විට ඔවුනට දයා සේවා ආයතනයකින් ආහාර පාන ලබා ගන්නට හැකි වේවි. එහෙත් එය රැකියාවක් කර යමක් උපයාගෙන ගෙදරට ආහාර ගෙන ඒම තරම් සිත සනසන දෙයක් නොවේ. මේ නිසා මෙය වැදගත්: තරුණ ජනතාව ගේ ප්‍රශ්න වටහා ගන්න. ඔබ ඔවුන් තේරුම් ගෙන ඇති බව ඔවුනට හැඟෙන්නට ඉඩ දෙන්න. ඊලඟට එම ප්‍රශ්න විසඳීමට ක්‍රියා කරන්න" යි එතුමා පෙන්වා දුන්නේය.

වර්තමාන ලෝක ආර්ථික ක්‍රමය විසින් මුදල මහිමයට පත් කරනු ලැබීම නිසා  මානව පුද්ගල ගරුත්වය විනාශ වී ඇති අන්දම එතුමා විස්තර කළේය. "වෙනස් වූ නූතන ආර්ථික ක්‍රමය විසින් භාණ්ඩ හා සේවා වල මූර්ත ආර්ථිකයට වඩා ඉහළින් මුදල ඔසවා තබා තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මිනිසුන්  සහ ඔවුන් ගේ ගරුත්වය කෙරෙහි සැලකිලිමත් වෙනවා වෙනුවට අධික ලාබ  ලැබීම වෙත අවධානය යොමු වීමයි. මේ වන විට පුද්ගල ගරුත්වයට එරෙහිව සිදුකෙරෙන විශාලම පාපය මෙයයි: එනම් මානව පුද්ගලයා කේන්ද්‍රයෙන් ඉවත් කිරීමයි" සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"රැකියාවක් ලබා ගත නොහැකි යොවුන් පුද්ගලයෙකු සමග සන්නිවේදනයක නිරත වීම හුදෙක් මතු පිටින් දක්වන සැලකිල්ලක් නොවිය යුතුයි. මන්ද බොහෝ තරුණ තරුණියන් ඇතැම් විට සිය දිවි හානි කර ගැනීමට පවා උත්සාහ කර තිබෙන අතර තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර ප්‍රශ්නයෙන් පලා යාමට තැත්කිරීම නිසා අවසානයේ දී ඊට ඇබ්බැහි වීමෙන් තවත් ප්‍රශ්න වලට යොමු වී තිබෙන නිසයි. සහෝදර වරුනි, මේ නිසා නිර්මාණශීලීත්වය අවශ්‍යයි ..නිර්මාණ ශීලී වන්න ..." එතුමා සිය නිකායික   සහෝදර පිරිස අමතමින් කීවේය.

තරුණ ජනතාව ගේ රැකියා විරහිත බවේ ගැටලුව විසඳීමට අත  දීමෙන් "ඔබගේ දෑත් කිලිටි කර ගන්න" එතුමා තරුණ ජේසුනුවනට උපදෙස් දුන්නේය. සමාජයේ ප්‍රත්‍යන්තවල එනම් ඈත සීමා වල සිටින ජනතාව වෙත ගොස් ඔවුනට සේවය කරන ලෙස ද එතුමා ඉල්ලා සිටියේය.

යැදුම සහ දිරිමත් බව 

ධෛර්යවන්ත බව සහ යාච්ඥාව ජේසුනුවකුගේ ජීවිතයේ තවත් අත්‍යවශ්‍ය අංග දෙකක් බව සිය සංවාදය ආරම්භයේ සහ අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යොවුන් ජේසුනු කණ්ඩායමට පැහැදිලි කර දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුර හැදෑරීම සඳහා කතා දෙකක පිටපත් සොයාගෙන කියවන ලෙස එතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඉන් එකක් නම් 1974 දෙසැම්බර 3 වැනිදා ජේසු නිකායේ මහා සම්මේලනය අමතමින් භා. සවැනි පාවුළු පාප් වහන්සේ පැවැත්වූ දේශනයයි. දෙවැන්න 1981 අගෝස්තු 6 වැනිදා තායිලන්තයේ සේවාවේ නිරත ජේසුනුවන් අමතමින් එවකට ජේසු නිකායේ මහා නායක (ශ්‍රේෂ්ඨාධිපති) පෙද්‍රෝ අරුප්පේ පියතුමා කළ කතාවයි.

ජේසු නිකායිකයකු ගේ ජීවිතය තුළ යාච්ඥාවට තිබිය යුතු අනිවාර්ය ස්ථානය ගැන පෙද්‍රෝ පියතුමා සිය කතාවේදී අවධානය යොමු කළ බව සුදොතුම් පියතුමා කීවේය. විශේෂයෙන්ම නව අවශ්‍යතා හඳුනාගෙන ඒවා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී යාච්ඥාව අත්‍යවශ්‍ය බව පියතුමා පෙන්වා දුන්නේය. සවැනි පාවුළු පාප්තුමා සිය දේශනයෙන් පෙන්වා දෙන්නේ එවැනි නව තත්ත්ව  ගැන තීරණ ගැනීමේදී  පෞද්ගලික සහ සාංඝික නිශ්චය කිරීම් කෙතරම් වැදගත් වන්නේ ද යන්නයි.

"ජේසු නිකායිකයකු වීම සඳහා ධෛර්යය අත්‍යවශ්‍යයි. මේ නිසා දිරිමත් වන්න. ධෛර්යය දේව වරප්‍රසාදයක්. එසේම නිරන්තරයෙන් යාච්ඥා කරන්න. ඔබ සෑම කෙනෙකුටම යාච්ඥා කිරීමට තරම් සවිමත් දනිස් යුගලක් තිබිය යුතුයි" එතුමා සඳහන් කළේය. මෙයින් එතුමා අවධාරණය කලේ දන ගසා යාච්ඥා කිරීමේ වැදගත් කමයි.

සේයාරුව: යුරෝපීය ජේසු නිකායේ යෞවනය සුදොතුම් පියතුමන් මුණගැසුණු අවස්ථාව




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය