"අපේ ලෝකයට ආදරයේ විප්ලවයක් අවශ්‍යයි" - සුදොතුම් පියතුමා අයර්ලන්තයේ දී පවුල් වලට කියයි.

Pope in Ireland: Our world needs a revolution of love


(2018 අගෝස්තු 25)
අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට පැමිණීමෙන් පසු මුලින්ම එරට ආණ්ඩු සහ සිවිල් නියෝජිතයන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉන් පසුව සිය සංචාරයේ ප්‍රධාන අරමුණ වන ලෝක පවුල් හමුවේ වැඩසටහනට සම්බන්ධ වීම ආරම්භ කළේය.

මෙම වැඩසටහනට එක්  වෙමින් එතුමා මුලින්ම ඩබ්ලින් නුවර සාන්ත මරියා සම ආසන දෙව්මැදුරේ දී අයර්ලන්ත පවුල් හමුවක මුලසුන ගත්තේය. අයර්ලන්තයේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන අයුරින් තෝරාගන්න ලද විවාහ වූ සහ විවාහ වන්නට ගිවිසගෙන සිටින යුවල්  350ක් මෙම හමුවට එක්වූහ. මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේම ඉල්ලීම මත සංවිධානය කරන ලද්දකි. යුවල් හමුවී ඔවුන් ගේ අත්දැකීම් බෙදා ගන්නටත් ඔවුන් ගේ ප්‍රශ්නවලට පිළිතුරැ දීමටත් තමාට අවශ්‍ය බව එතුමා පවසා තිබිණි.

"අපේ ලෝකයට ආදරයේ විප්ලවයක් අවශ්‍යයි. ඒ විප්ලවය ඔබගෙන් පටන් ගන්න; ඔබගේ පවුලෙන් පටන් ගන්න" යැයි මෙහිදී එක් යුවලක ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේය.

"පවුල් ගසේ මුල්" වල වැදගත් කම 

"අපි  අපේ  පවුල්වල මුල් වලට ආපසු ගොස් ඒවා රැකබලා ගත යුතුයි. සිය මුල් අමතක කරන පවුලට වර්ධනය විය නොහැකියි" යයි එතුමා උපදෙස් දුන්නේය. මෙයින් එතුමා අදහස් කලේ සීයලා ආච්චිලා ගෙන් උපදෙස් ගැනීම සහ ඔවුන් රැකගැනීමේ අවශ්‍යතාව ය. "ජීවිතයේ  සහ ආදරයේ  පාරම්පරික අත්දැකීම් පිලිබඳ ඉගැන්වීම් මේ මුල් විසින් අප වෙත විකාශනය කරනු ලබයි. ...සිය සීයලා-ආච්චිලා සමග කතා බහ කිරීමට නොහැකි දරුවනට වැඩිය නොහැකි" යැයි එතුමා පෙන්වා දුන්නේය.

මෙහිදී සිය ජීවිත සාක්ෂිය  බෙදා ගත්  මෑතකදී විවාහ ජීවිතයේ ස්වර්ණ ජයන්තිය සැමරූ යුවලකට සුදොතුම් පියතුමා සුබ පැතුවේය. ඔවුන්ගේ ජීවිත අරගල සහ අත්දැකීම් පිලිබඳ කතන්දර යොවුන් යුවලවලට බෙහෙවින් වටිනා බව එතුමා පෙන්වා දුන්නේය. "මේ වැඩිහිටි යුවල් අපේ සාමුහික මතකය ආරක්ෂා කර තබා ගන්නා අයයි" යයි එතුමා කීවේය.

එක්ව  ඉන්න නම් එක්ව යදින්න 

මූලික සභා ඒකකය වන පවුල විශ්වාසය සන්නිවේදනය කිරීමේ වැදගත්ම සථානය බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. විශ්වාසය සන්නිවේදනය කළ හැකි හොඳම ක්‍රමය නම් 'දෙමාපියන් ගේ ආදර්ශය' යයි එතුමා කීවේය.

"පවුලේ කෑම මේසයේ සිදුවන කතා බහ විශ්වාසය සන්නිවේදනයට යොදා ගන්න. ආදරය පමණක් දන්නා භාෂාව යොදා ගනිමින් කතා බහ කිරීම මගින් කෑම මේසයේදී දරුවනට විශ්වාසයත් ආදරයත් සන්නිවේදනය කල හැකියි" එතුමා පෙන්වා දුන්නේය.

එක්ව යාච්ඥා කරන්නැයි එතුමා ආසන දෙව්මදුරට එක්ව සිටි යුවල් වලින් ඉල්ලා සිටියේය. "එක්ව  යදින පවුල එක්ව සිටියි. එක්ව යදින විටත් කතා කරන  විටත් යහපත් සහ ශුද්ධවූ දේ ගැන කතා කරන්න. මරිය මෑණියන්ට ඔබේ පවුල් තුළට ඇතුළුවන්නට ඉඩ දෙන්න. කිතුනු ජනතාවගේ මංගල්‍ය ඔබේ පවුල්වල සමරන්න. දෙමාපියන් දරුවන් සමග මෙසේ කරන විට  ඔවුන් ගේ හදවත් අනුන් වෙනුවෙන් වූ පරිත්‍යාගශීලී ප්‍රේමයෙන් පිරෙනු ඇති" එතුමා කීවේය.

දෙවිඳුන් ගේ ප්‍රේමයේ සිහිනය 

තවත් ප්‍රශ්නයක පිළිතුරු දුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ පවුල හුදෙක් ආයතනයක් නොව ජීවිත කැඳවීමක් බවයි. මේ නිසා පවුලේ ස්ථාවරභාවය ගැන ඉගෙන ගන්නයි එතුමා පවුල්වලින් ඉල්ලා සිටියේය.

"මේ කාලයේ අප අපගේ ජීවිත කාලය පුරාවට පවතින දේ ගැන එතරම් පුරුද්දක් නැහැ," යි එතුමා පෙන්වා දුන්නේය. "ආශීර්වාදකාර බන්ධනයේ  සක්‍රමේන්තුව යනු දෙවියන් වහන්සේ ගේ සදාතනික ප්‍රේමයේ අබිරහස බෙදා ගැනීමයි" එතුමා අවධාරණය කළේය.

"තාවකාලික ප්‍රේමය යනු, ඇත්ත වශයෙන්ම, මෝහයෙන් මුලා වීමයි නැතහොත් ජේත්තුකාර ප්‍රේමයයි. එහෙත් සැබෑ ආදරය ස්ථිරයි. එහි තිබෙන්නේ 'මම' සහ 'ඔබ' යන වචන දෙකයි."

"ප්‍රේමය යනු අපත් සමස්ත මානව පවුලත් පිලිබඳව වන දෙවියන් වහන්සේ ගේ සිහිනයයි. එම සිහිනය අපගේම සිහිනය කරගන්නා මෙන් උන්වහන්සේ අපගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සිහින දැකීම නවත්වන්න එපා" එතුමා පවුල් වලට  කියා සිටියේය. 

සේයාරුව: හමුවට එක්වූ යුවලකට සුදොතුම් පියතුමා සුබ පතයි



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය