"පරමාදර්ශී පවුල එක්සත් පවුලයි" - බදාදා ධර්මෝපදේශය

"The ideal is the united family" - Pope says at the general audience 


(2018 අගෝස්තු 29)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (අගෝස්තු 29) බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය  යොදා ගත්තේ සභාවේ පවුල් මංගල්‍යයට සහභාගී වීම සඳහා තමන් අයර්ලන්තයේ කල අපෝස්තලික චාරිකාව ගැන කතා කරන්නට ය. මෙහිදී අයර්ලන්තයේ දී තමන් ලද අත්දැකීම ගැනත් පවුල් ගැනත් එතුමා කතා කළේය.

නූතන ලෝකය තුළ වෙන්වීම සහ දික්කසාදය සාමාන්‍ය තත්වයට පත්ව ඇති නමුදු ආදර්ශවත් පවුල එක්ව, සමගිව සිටින්නට නිරන්තරයෙන් උත්සාහ කල යුතු බව එතුමා කියා සිටියේය. දික්කසාදය සාමාන්‍ය දෙයක්  වී ඇති ලෝකය තුළ දුෂ්කරතා මධ්‍යයේ පවා නොකඩවා විශ්වාසවන්තව සිටින සැමියන් සහ භාර්යාවන් ගැන ලෝකය අමතක නොකළ යුතු බව එතුමා පෙන්වා දුන්නේය.

"තමන් ගේ පවුල් සහ තම දරුවන් එකිනෙකාට විශ්වාසවන්තව ජීවත් වන බහුතරයක් වූ පවුල් ගැන අප බොහෝ විට අමතක කරනවා. වරදක් වූ විට, ගැටළුවක් ඇති වූ විට සමාව ඉල්ලන පවුල් ගැන අප අමතක කරනවා..."යි සිය කතා පිටපතින් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "අප එසේ අමතක කරන්නේ එය අද විලාසිතාව නිසයි. මන්ද අද පුවත් පත් සහ සඟරා කතා කරන්නේ කවුරු කාගෙන් දික්කසාද වුනාද, වෙන් වුනාද යන්න ගැනයි..."

"එහෙත්, මතක තබා ගන්න. මෙය අයහපත් දෙයක්. මම සෑම කෙනෙකුටම ගරු කරනවා. එය ඇත්තයි. අප ජනතාවට ගරු කළ යුතුයි. එහෙත් පරමාදර්ශය දික්කසාදය නොවේ. වෙන්වීම නොවේ. පරමාදර්ශය පවුල විනාශ  කිරීම නොවේ. පරමාදර්ශය පවුලේ එක්සත් කමයි" සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

අගෝස්තු 25-26 දිනවල අයර්ලන්තයේ පැවැති ලෝක පවුල් හමුවේ මංගල්‍යය ගැන ද එතුමා කතා කළේය."මෙම පවුල් හමුව දිවස්ප්‍රසාදීමය එකක් බවට පවත්වා තිබුනා. සුපුවත විසින් පෙන්වා දෙන විවාහ මාර්ගයේ සහ පවුල් මාර්ගයේ ගමන් කරන බොහෝ පවුල්වලට එය සැනසිලිදායක අත්දැකීමක් වී තිබුනා. එය එම පවුල් වලට යහපතේ, ශුද්ධවන්ත භාවයේ, යුක්තියේ සහ සාමයේ මුහුන් පොදක් බවට පත්ව තිබුණා" යි එතුමා කීවේය. 

අයර්ලන්තය තුළ ඇදහිල්ල පවතින බව තමා දුටුවේයයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. එහෙත් එරට සේවාව සඳහා සිටින්නේ පුදැදුරුවරුන් ස්වල්ප දෙනෙකු බව එතුමා පෙන්වා දුන්නේය. එබැවින් එරට වෙනුවෙන් තමා සමග යාච්ඥා කිරීමට එක්වන්නැයි  සියල්ලන්ගෙන් ඉලලා සිටි එතුමා සියලු දෙනා  සමග එක්ව "නමෝ මරිය" යැදුමක් ඔප්පු කළේය.

අයර්ලන්ත සභාවට මහත් අභියෝගයක් මෙන්ම පසුබැසීමක් වී  ඇති එරට පූජක ළමා අපයෝජන චෝදනා ගැන ද එතුමා සඳහන්  කළේය. මේ නිසා සිය සිතට මහත් සතුටක් ගෙන ආ අයර්ලන්ත ගමන තුළ දැඩි වේදනාවක් ද අත්දුටු බව එතුමා කීවේය. මේ නිසා මේ පාප් වෙනුවෙන් තමා කිහිප වතාවක් මේ ගමනේදී සමිඳුන් ගෙන් සමාව අයැද සිටි බව එතුමා කියා සිටියේය. අයර්ලන්තයේ සභාව නායකත්වය අතින් සිදුකරන ලද අපයෝජන වලට දෙවිඳුන් ගෙන් සමාව යදිමින් ඉරිදා දිව්‍ය  පූජාවේ පසුතැවිලි වීමේ අවස්ථාවේදී තමන් විසින් ඔප්පු කරන ලද 'පව් සමාවේ යැදුම" එතුමා මෙම පොදු හමුවේදී  කියැවීය.

තෙවසරකට වරක් ශුද්ධාසන විසින් සංවිධානය කරනු ලබන ලෝක පවුල් හමුවේ මංගල්‍යය පවුලේ සෞන්දර්ය, අනිවාර්ය බව සහ ගුණාංග ගැන ලොවට දැවැන්ත පණිවිඩයක් දෙන අවස්ථාවකි. මෙවර ද එය එබඳුම අවස්ථාවක් වීමට ඉඩ තිබිණි. එහෙත් අයර්ලන්තයේ සභාවට එල්ලවී තිබූ අපවාද හේතුවෙන් සහ මෑතකදී අමෙරිකාවෙන් වාර්තා වූ මහා පරිමාන අපයෝජන චෝදනා නිසා එම සොඳුරු අවස්ථාව අඳුරු වී ගියේය.

ඉරිදා උදාසන පැවැති පරිසමාප්ති දිව්‍ය පූජාව සඳහා නිකුත් කර තිබූ 500,000ක් වූ සියලු ප්‍රවේශ පත්‍ර බෙදා දී තිබුනත් මෙහෙයට පැමිණ සිටියේ 300,000ක පමණ ජනතාවක් පමණි. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මෙමෙ ස්ථානයේම පැවැත්වූ දිව්‍ය පූජාවට දස ලක්ෂයකට අධික ජනතාවක් සහභාගී වූහ.   


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය