"පූජක ළමා අපයෝජන වසංගතය මුලිනුපුටා දැමීමට කල හැකි සියල්ල කරනවා" අයර්ලන්තයේ සංචාරය අරඹමින් සුදොතුම් පියතුමා කියයි

Starting his Irish visit Pope renews his commitment to 'eliminate the scourge' of clerical abuse from the church 'no matter the cost' 



(2018 අගෝස්තු 25)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද  (අගෝස්තු 25) අයර්ලන්තයට පැමිණියේය. එතුමා එරටට පැමිණීමේ මූලික අරමුණ ලෝක පවුල් හමුවේ 9 වැනි ලෝක සමුළුවට සහභාගී වීමය. මෙය ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ 1979 දී එරටට සිදු කළ අපෝස්තලික සංචාරයෙන් පසුව පාප් වහන්සේ නමක් එරටට පැමිණෙන පළමු අවස්ථාවයි.

එහෙත් දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් සංචාරය කල සමයට මෙන් නොව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  එරටට පැමිණෙන මේ මොහොත කතෝලික සභාවට මහත් ආන්දෝලනාත්මක මොහොතක් වී ඇති අතර අයර්ලන්ත  කතෝලික සභාවට ද අභියෝගාත්මක අවධියක් වී තිබේ.

කතෝලික සභාවට මෙය ආන්දෝලනාත්මක මොහොතක්  වී ඇත්තේ ඇමෙරිකාවේ සිදු වී ඇති පූජක ළමා අපයෝජන පිළිබඳව සහ රදගුරු හිමිවරුන් විසින් ඒවා සහ ඊට සම්බන්ධ පූජකවරුන් ආරක්ෂක කර සඟවා ගත් ආකාරය ගැන අලුතින් තොරතුරු හෙළිදරව් වීමට පටන් ගැනීම නිසාය. අයර්ලන්තයේ අභියෝගය මෙයයි: වසර 2000 ට පෙර අයර්ලන්තය යුරෝපාකරයේ කතෝලික හදවත හා කේන්ද්‍රස්ථානය වී තිබුනේය. එහෙත් 1980 ගණන්වල එරට පුරා හෙළිදරව් වූ පූජක ළමා අපචාර හා කතෝලික සභාවේ බලය අපයෝජනය කිරීම පිලිබඳ වෙනත් ක්‍රියාකාරකම් නිසා එරට කතෝලික  සභාව කෙරෙහි ජනතාව  තුළ තිබූ විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අයර්ලන්තය යුරෝපයේ ඉතා තදින් ලෞකිකකරණය වූ රට බවට පත්ව තිබේ. මේ මාසයේ මුල් සතියේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද පූජක ළමා අපයෝජන පිලිබඳ මහා ජූරි සභා වාර්තාව මෙම තත්වය වඩාත් සංකීර්ණ කළේය. මේ තත්වය තුළ මෙම සිද්ධීන් සම්බන්ධයෙන්  සිය ලැජ්ජාව, වේදනාව සහ පසුතැවිල්ල ප්‍රකාශ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලිකයනට ඉකුත් සතියේ ලියුමක් නිකුත් කළේය.

එතුමා අයර්ලන්තයට පැමිණෙන්නේ මෙම පසුබිම තුළයි. මේ නිසා "පවුල" පිළිබඳව තිබූ අවධානය නිතැතින්ම නව අර්බුදය වෙත යොමු වී තිබේ.  මේ පසුබිම තුළ  එතුමනට සභාවේත් තමාගේත් ප්‍රධාන තේමා වලට යොමු වීම වෙනුවට මෙම අර්බුදය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදු වී තිබේ.

පිළිගැනීම සහ හමුවීම්

අගෝස්තු 25 දා උදාසන 10.30ට පමණ ඩබ්ලින් අන්තර් ජාතික ගුවන් තොටුපළට ළඟාවූ සුදොතුම් පියතුමන් එරට උප අගමැති සයිමන් කොවේනි ඇතුළු සම්භාවනීය පිරිසක් විසින් පිළිගනු ලැබුවේය. ඉන් අනතුරුව ජනාධිපති මාලිගයට ගිය එතුමා එරට ජනාධිපති සහ එම මැතිනිය විසින් පිළිගනු ලැබිණි.

මෙමෙ මුල් දිනයේ එතුමන් ගේ දිනපොතේ ප්‍රධාන අංගය වූයේ එරට ආණ්ඩු සහ රාජ්‍ය නිලධාරීන් විසින් එතුමන් පිළිගනු ලැබීමයි. ඩබ්ලින් නුවර ඓතිහාසික ඩබ්ලින් මාළිගාවේ පැවති මෙම  හමුවට එරට සිටින දේශපාලන, සිවිල්, ආගමික, සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ 250 දෙනෙක් පමණ සහභාගී වූහ.

අයර්ලන්තයේ කතෝලික නායකයන් දශක ගණනාවක් පුරා එරට ළමන් පූජක ළමා අපයෝජන වලින් මුදා ගැනීමට අපොහොසත් වී ඇති බව පිළිගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී සිය කතාව ආරම්භ කළේය. මෙය දැන් අතිශය "බරපතල අපකීර්තියක්" බවට වර්ධනය වී ඇති බව එතුමා පෙන්වා දුන්නේය. "අතිශයින් අපුල සහගත මෙම අපරාධ වැලක්වීමට සභාවේ තිබූ නොහැකියාව සාධාරණ විරෝධතාවකට හා කෝපයකට හේතු වී ඇති අතර එය කතෝලික ජනතාවට ලැජ්ජාවක් සහ වේදනාවක් ජනිත ජිරීමට ද හේත් වී ඇති" බව එතුමා පැවසුවේය.

වසර 2010 දේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ අයර්ලන්ත ජනතාවට ලියූ ලිපියක කොටසක් එතුමා උපුටා දක්වමින් එතුමා පැවසුවේ එම හැඟීම් තමාගේ ද ඒවා බවයි. "සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම තත්වයේ බරපතලකම පිළිගත්  අතර  'විශ්වාසය පාවාදුන් මෙම ක්‍රියාවලට ප්‍රතිචාර ලෙස සත්‍ය වශයෙන් ම ධර්මදානීය වූත් යුක්තිසගහත සහ ඵලදායී වූත් ක්‍රියාමාර්ග' ගතයුතු බවද නොවලහා ප්‍රකාශ කළහ. එතුමන් ගේ අවංක සහ තීරණාත්මක මැදිහත්වීම අද දක්වාත් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාකාරකම් වලට මහත් අනුබලයක් වී තිබේ....කවර පිරිවැයක් දරන්නට සිදු වුවද  මෙම වසංගතය සභාවෙන් මුලිනුපුටා දැරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බවට වූ මගේ කැපවීම  මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලොව පුරා කතෝලික ජනතාවට අගෝස්තු 20 වනදා මා යොමු කල ලිපියෙන් මම ප්‍රකාශ කෙළෙමි"යි එතුමා අවධාරණය කළේය.

කෙසේ නමුදු මෙම අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන ක්‍රියා මාර්ගය ගැන එතුමා කිසිවක් සඳහන් කලේ නැත. මෙය බොහෝ විචාරකයන් ගේ විවේචනයට ලක්වී තිබේ.

"ඔබගේ තනතුර සහ බලපෑම භාවිත කරමින් මෙම අපයෝජනවලට ගොදුරුවුවන් වෙනුවෙන්  යුක්තිය, සත්‍යය සහ සුවය උදා කිරීමට පියවර ගන්නැයි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පිළිගනිමින් කතා කල අයර්ලන්ත අගමැති ලියෝ වරඩ්කාර් ඉල්ලා සිටියේය. අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්ත මහා ජූරි වාර්තාව ද උපුටා දැක්වූ ඔහු කියා සිටියේ මේ පිලිබඳ අත්දැකීම් අයර්ලන්තය සතුව ද පවතින  බවයි. "අහිංසක ළමයින් අපයෝජනය කරන්නන් මෙන්ම ඔවුන් ආරක්ෂා කරන්නන් සම්බන්ධයෙන්  කිසිසේත් නොඉවසන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු" යයි ඔහු සුදොතුම් පියතුමා ගෙන් ඉල්ලා සිටියේය.

සරණාගතයන් සහ වර්ගවාදය 

කෙසේ වුවද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සභාවේ සහ තමාගේ හද බැඳගත් වෙනත් මාතෘකා ළමා අපයෝජන මාත්ර්කාවෙන් යටවන්නට හැරියේ ද නැත. ඒවා ගැනද මෙහිදී එතුමා යලි සිහිපත් කළේය.

"ඇතැම්විට  මේ දිනවල  අපගේ හර්ද සාක්ෂියට බලවත් අභියෝගයක් වී ඇති මාතෘකාවක් වී ඇත්තේ සරණාගත අර්බුදයයි. මෙය අවසන්වන අර්බුදයක් නොවේ. එය විසඳීම සඳහා කෙටි කාලීන දේශපාලන තීරණ වලින් ඔබ්බට යන ප්‍රඥාව, පුළුල් දැක්ම සහ මානුෂවාදී සැලකිල්ල අවශ්‍ය වේ. ..මානව වර්ගය එක පවුලකි. ජීවත් වන්නේ එකම මානව වර්ගයකි. ...මේ නිසා මෙම අර්බුදය විසඳීම සඳහා එක්සත්කම හා සහෝදරත්වය අවශ්‍ය" යැයි එතුමා පෙන්වා දුන්නේය.

"බොහෝ විට අපට මුහුණ පාන්නට වන වර්ගවාදී සහ ජාති වාදී වෛරය, හික්මවිය නොහැකි ගැටුම් සහ මානව ගරුත්වයටත් ප්‍රධාන මානව අයිතිවාසිකම් වලටත් එල්ලවන ප්‍රචණ්ඩ ප්‍රහාර හා නින්දා මෙන්ම දිනෙන් දින වර්ධනය වන දුප්පත් පොහොසත් පරතරය වැනි අයහපත් දේ නිසා ඒවාට විරුද්ධව සටන් කිරීමට අප බල රහිත බව අපට හැඟී යන"  බව එතුමා සඳහන් කළේය.

උතුරු අයර්ලන්තවාසීන සමග පවතී ගැටුම් හා සාම ප්‍රයත්න ගැන සහිපත් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "සාමය උදකරන්නන් වීමේ බලාපොරොත්තුව හා ධෛර්යය කිසිදා නැති කර නොගන්නැයි" ඉල්ලා සිටියේය.

සේයාරුව: සුදොතුම් පියතුමා අයර්ලන්ත අගමැති සමග


 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය