"ප්‍රතිමුර්තීන් නොවේ, දෙවියන් වහන්සේ විශ්වාස කරන්න" - පොදු හමුවේ ධර්මෝපදේශය

 Pope Francis says at general audience:"Trust God – not idols"

සුදොතුම් පියතුමා පොදු හමුවේ දී 

(2018 අගෝස්තු 11)
ප්‍රතිමුර්තීන් සහ මිථ්‍යාවන්  වෙත  ඇති බැඳීම නිසා දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය බිඳ වැටෙන  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. කතෝලිකයන් සිය දුර්වලතා පිළිගෙන සිය හදවත් සුවපත් කරන්නට ක්‍රිස්තුන් වහන්සේට ආරාධනා කල යුතු බව එතුමා පවසයි.

සුදොතුම් පියතුමා මෙම ඉගැන්වීම කලේ අගෝස්තු 8 වැනි බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. මෙවර  ධර්මෝපදේශ මාලාව සඳහා එතුමන් මාතෘකාව ලෙස තෝරාගෙන ඇත්තේ දස පනතයි. පසුගිය සතියේ සිට එතුමන් භාවනා කරන්නේ පළමුවන දේව පනත ගැනයි.

"ප්‍රතිමුර්තීන් වෙත ඇති බැඳීමේ තුවාලයට සුවය ලැබෙන්නේ, දිළින්දකු වී, අසාර්ථකත්වය පිළිගෙන,  අපගේ අනතුරුදායකත්වය ප්‍රේමයෙන් සහ ශක්තියෙන් පිරවීම සඳහා එය භාරගත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වෙතින් පමණකි" යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

"අප ජේසු සමිඳුනට අපගේ හදවත්තුළට ඇතුළුවීමට ඉඩ දුන් විට, අපගේ දුර්වලතා පිළිගැනීම මනුෂ්‍ය ජීවිතයේ අවාසනාවක් නොව සැබැවින්ම ශක්තිමත් වූ තැනැන්වහන්සේට විවෘත වීමට අවශ්‍ය කොන්දේසියක් බව අපට තේරුම් ගත හැකිවනු ඇත. එවිට දෙවියන් වහ්සේගේ ගැලැවීම අපගේ දුර්වලතාවේ දොරෙන් අප තුළට ඇතුළු වනු ඇත."

"මිනිසා ගේ නිදහස පැණනගින්නේ දෙවියන් වහන්සේ සිය එකම සමිඳාණන් වීමට ඉඩ හැරීම තුළින් පමණි. මේ මගින් අපගේ බිඳෙනසුළු බව පිළිගෙන අපගේ හදවත් තුළ ජීවත් වන ප්‍රතිමුර්තීන් සහ මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කිරීමට  අපට හැකිවනු ඇත."

"සියල්ල අප කෙරෙන් ඉවත් වන්නේ සියලු දේට වඩා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අප අසමත් වීම නිසාය; අපගේ ආරක්ෂාව උන්වහන්සේ  ගේ දෑත මත තැබීමට අප අසමත් වීම නිසාය; එසේම අපගේ හදවත් තුළ ඇති අභිලාෂයනට සැබෑ ගැඹුරක් දීමේ අවකාශය අප උන්වහන්සේ කෙරෙන් ඉවත් කරගන්නා නිසාය. ස්වකීය ජීවිතය තුළ දෙවියන්වහන්සේ ගේ ශ්‍රේෂ්ඨත්වය නොමැති වූ විට කෙනෙකු පහසුවෙන් ප්‍රතිමුර්ති සහ මිථ්‍යා වන්දනාවට හසුවන" බව ද එතුමා කීවේය.

ඉකුත් සතියේ සිය සතිපතා පොදු හමුවේ  ධර්මෝපදේශ දේශනය සඳහා සුදොතුම් පියතුමා පාදක කරගෙන  තිබුණේ  නික්මයාම පොතෙන් කොටසකි. දෙවියන් වහන්සේගෙන් දස පනත ලබා ගැනීමට කන්ද මතට ගිය මෝසස්තුමා ආපසු පැමිණෙන තෙක් බලා සිටි ඊශ්‍රායෙල් ජනතාව මෝසස් තුමා ගේ පමාව නිසා රන් වස්සකු සාදා ගෙන ඊට දේව වන්දනාව පුද කරන අයුරු මෙම කොටසේ සඳහන් වෙයි.

"මෙම කතාවට පසුබිම් වන්නේ කාන්තාරයයි. මේ 'කාන්තාරය' යන වචනයට ඊට සුවිශේෂ වූ අර්ථයක් තිබේ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "කාන්තාරය යනු කුමක්ද? එය අවිනිශ්චිත බවත් අනාරක්ෂිත බවත් රජකරන ස්ථානයකි. කාන්තාරයේ කිසිවක් නැත. කාන්තාරයේ ජලය නැත; ආහාර නැත; හිසට වහලක් හෝ සෙවනක් නැත" එතුමා පැහැදිලි කළේය.

"කාන්තාරයේ චිත්තරූපය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මනුෂ්‍ය ජීවිතයේ පවතින අවිනිශ්චිත බව සහ අනාරක්ෂිත බවයි. ජීවිතයේ පවතින මෙම පුරෝකථනය නොකළ හැකි බවේ ශාංකාවත් දෙවියන් වහන්සේ තමන් සමග නැතැයි යන හැඟීමත් නිසා  ජනතාව බොරු, මිථ්‍යා, ව්‍යාජ  මෙන්ම 'තමන්ට ගැලපෙන ලෙස තනාගත්' දෙවිවරුන් මත එල්ලෙන්නට උත්සාහ කරති. කාන්තාරයේ දී ඊශ්‍රායෙල් ජනතාව රන් වස්සා තනා ගත්තේ ඒ ආකාරයටය."

" මේ හේතුව නිසා අවසානයේ දී දෙවියන් වහන්සේ ගේ විශිෂ්ට ක්‍රියාව වූයේ ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවේ වහල්කමින් මුදා ගැනීම නොවේ; ඔවුන්ගේ හදවත් වලින් ප්‍රතිමුර්ති හා මිථ්‍යා ඇදහිල්ල පලවා හැරීමයි" යි සුදොතුම් පියතුමා විස්තර කළේය.

"දෙවියන් වහන්සේ තවමත් අපගේ හදවත් වලින් ප්‍රතිමුර්ති හා මිථ්‍යා ඇදහිලි  පලවා හැරීමට ක්‍රියා කරමින් සිටිති. උන්වහන්සේ ගේ විශිෂ්ට ක්‍රියාව මෙයයි: එය නම්, අප අපගේ හදවත් වල දරාගෙන සිටින, මිථ්‍යාවේ  බන්ධන බඳු  'ඊජිප්තු' වලින් අප මුදා ගැනීමයි"

"උන්වහන්සේ අප වෙත එන්නේ දෙවියන් වහන්සේ ගේ පිතෘත්වය අපට හෙළිදරව් කිරීමටයි.ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ බිඳෙනසුළු බව ශාපයක් නොව පියාණන් මුණගැසිය හැකි ස්ථානයකි; ඉහළින් අපවෙත ගලා එන ශක්තියේ උල්පතකි" සුදොතුම් පියතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය