සුදොතුම් පියතුමා කතෝලික ධර්මෝපදේශය ප්‍රතිශෝධනය කරයි: "මරණ දඬුවම පිළිගත නොහැකියි" පැහැදිළිව අවධාරණය කරයි

Pope Francis revises teaching on death penalty- it’s ‘inadmissible’: the revision says


(2018 ජූලි 4)
කතෝලික සභාවේ ධර්මෝපදේශය අනුව කවර තත්වයක්, අවස්ථාවක් හෝ වාතාවරණයක් මත  හෝ මරණීය දණ්ඩනය තව දුරටත් පිළිගත නොහැකිය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ උපදෙස් මත කතෝලික ධර්මොපදේශයේ මරණ දඬුවම ගැන සඳහන් කොටසට සිදුකරන ලද මෙම ප්‍රතිශෝධනය අගෝස්තු මස  2 වැනිදා ශුද්ධාසනයේ  විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය විසින් නිකුත් කරනු ලැබිණි.

මේ අනුව "මරණ දඬුවම පිළිගත නොහැකිය. මන්ද එය පුද්ගලයාගේ ගරුත්වයටත් අනුල්ලංඝනීය බවටත් පහර දීමක් වන බැවිනි" යි ප්‍රතිශෝධිත ධර්මෝපදේශය පැහැදිලිව ප්‍රකාශ කරයි. "ලොව පුරා මරණ දණ්ඩනය අහෝසි කිරීමට කතෝලික සභාව අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කරයි" යන වගන්තියක් ද ඊට එකතු කර තිබේ.

මෙම ප්‍රතිශෝධනය ඇතුළත්ව කතෝලික ධර්මොපදේශය මරණ දඬුවම සම්බන්ධයෙන් කරන ඉගැන්වීම සම්පූර්ණයෙන් මෙසේය:

"සාධාරණ නඩු විභායකින් පසුව, පොදු යහපත සුරක්ෂිත කිරීමේ මාර්ගයක් වශයෙන්  නීත්‍යානුකුල බලධාරීන් විසින්  ඇතැම් බරපතල අපරාධ සම්බන්ධයෙන්  මරණීය දණ්ඩනය පැනැවීම,  ඒවාට නිසි ප්‍රතිචාරයක් ලෙස කාලයක් තිස්සේ පිළිගනු ලැබ තිබිණි. 

එහෙත්, අතිශයන් බරපතල අපරාධයක් සිදුකරන ලද්දේ වුවද පුද්ගලයකු ගේ ගරුත්වය නැති නොවන බවට පවතින වැටහීම මේ වන විට වර්ධනය වෙමින් තිබේ. මීට අමතරව, ආණ්ඩු  වීසින් පනවනු ලබන දණ්ඩනීති සම්බාධක (penal sanctions) වල වැදගත්කම පිලිබඳ නව දැනුම හා අවබෝධයන් ද හෙළිදරව් වෙමින් ඇත. අවසන් වශයෙන්, පුරවැසියන් ගේ ආරක්ෂාව සහතික කෙරෙන අතරම, වරදකරුවනට විමුක්තිය ලැබීමට ඇති හැකියාව නියත වශයෙන්ම අහිමි නොකරන  වඩාත් සාධනීය රඳවා ගැනීමේ ක්‍රම වැඩිදියුණු කර තිබේ. 

ඊට ආනුෂංගිකව, සුබ අස්නේ ආලෝකයෙන් 'මරණිය දණ්ඩනය පිළිගත නොහැකිය; මන්ද මන්ද එය පුද්ගලයාගේ ගරුත්වයටත් අනුල්ලංඝනීය බවටත් පහර දීමක් වන බැවිනි' යැයි කතෝලික සභාව උගන්වයි. එසේම ලොව පුරා මරණ දණ්ඩනය අහෝසි කිරීමට ඇය  අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කරයි"

ධර්මොපදේශයේ මෙම ප්‍රතිශෝධිත වගන්තිය සමග විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය විසින් ලොව පුරා කතෝලික රදගුරු හිමිවරුනට ලිපියක් ද  යොමු  කර තිබේ. අළුතින් සුත්‍රකෘත කරන ලද ඉගැන්වීම "මීට කලින් ක්‍රියාත්මක වූ සභා ඉගැන්වීමට කිසිසේත් පටහැනි නොවන අතර එම ධර්ම ඉගැන්වීමේම විශ්වසනීය වැඩිදියුණු කිරීමක්" බව මෙම ලිපිය මගින් සසුන් නියෝජනය අවධාරණය කරයි. "මෙම ඉගැන්වීමට ප්‍රධාන වශෙයන් කේන්ද්‍ර වන්නේ සෑම මානව ජීවිතයකටම හිමි ගරුත්වය සම්බන්ධයෙන් සභාව සතු පැහැදිලි අවබෝධයයි" යි එම ලිපියේ සඳහන් වේ. එසේම මේ ප්‍රතිශෝධනයට ප්‍රධාන වශයෙන් පාදක කරගන්නා ලද ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේගේ ඉගැන්වීම් මෙම ලිපිය තුළ උපුටා දක්වා ඇත. "මිනීමරුවෙකුට වුවද  තමාගේ පුද්ගල ගරුත්වය අහිමි නොවේ. මෙය ආරක්ෂා කරන බවට දෙවියන් වහන්සේම ප්‍රතිඥා දෙයි" යයි එතුමා ප්‍රකාශ කල බව සසුන් නියෝජන ලිපිය පෙන්වා දෙයි.

මෙම ප්‍රතිශෝධනයේ ඉතිහාසය සහ පසුබිම


කතෝලික සභාවේ ධර්මෝපදේශය ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මුල්වරට නිකුත් කරන ලද්දේ 1992 දීය. ඒ මගින් මරණීය දණ්ඩනය තවදුරටත් පිළිගනු ලැබ  තිබිණි. මෙය කතෝලික සභාවේම බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතු විය. ඊට එල්ලවූ  ප්‍රබල විරෝධය නිසා එවකට විශ්වාස ධර්ම සසුන් නියෝජනයේ ප්‍රධානි කාදිනල් ජෝසප් රැට්සිඟර් හිමි (පසුව සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ) ගේ සහාය ඇතිව එතුමා එය 1997 දී ප්‍රතිශෝධනය කළේය. එහෙත් එම ප්‍රතිශෝධිත ධර්මෝපදේශය විසින් ද මරණ දඬුවම ඍජුව ප්‍රතික්ෂේප කර තිබුනේ නැත. එහි සඳහන්ව තිබූ වක්‍ර අපැහැදිලි වගන්ති නිසා ඇතැම් අවස්ථාවල මරණ දඬුවම භාවිත කළ හැකිය යන නිගමනය ගත හැකිව තිබිණි. එම වගන්තිහ මෙසේය:

" "ආක්‍රමණිකයාගෙන් ජනතාව ආරක්ෂාකොට සුරක්ෂිත කිරීම සඳහා මරණීය නොවන ක්‍රමවේද සහ මාර්ග ප්‍රමාණවත් බව හැඟී යන්නේ නම්, බලධාරීන් අනුගමනය කළ යුත්තේ එම මරණීය නොවන මාර්ග පමණි. මන්ද එම මාර්ග පොදු යහපතට හේතු වන අතර ඒවා මානව පුද්ගලයා ගේ ගරුත්වය හා එකඟ වන බැවිනි."  (මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් මරණ දඬුවම පැනවීමට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කල අවස්ථාවේ ස්වකීය මතය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ අගරදගරු අති  උතුම්  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පාදක කරගත්තේ එම වගන්තියයි, ඒ බව එතුමන් විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ව තිබේ..) කෙසේ නමුත් මරණ දඬුවම මේ යුගයට අවශ්‍ය නොවන්නේය යන්න දැක්වීම සඳහා ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මෙම වගන්තිය යොදා ගත්තේය: "මරණ දඬුවම අත්‍යවශ්‍ය යයි හෝ ආචාර ධාර්මික වශයෙන් සාධාරණ යැයි කිව හැකි අවස්ථා වර්තමානයේ අතිශයින්ම විරල හෝ කිසිසේත් හමු නොවේ."

මෙම නොපැහැදිලි ඉගැන්වීම වෙනස් විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2017 ඔක්තෝබර මාසයේ පැවැත්වුණු කතෝලික ධර්මෝපදේශය නිකුත්වීමේ 25 වැනි සංවත්සර උත්සව සභාවේදී ප්‍රකාශ කළේය. එහිදී එතුමා මෙසේ කීවේය:
"කතෝලික සභාවේ ධර්මෝපදේශය තුළ මරණ දඬුවම නමැති මාතෘකාවට වඩා ප්‍රමාණවත් සහ වඩා පැහැදිලි ඉඩකඩක් ලබා දිය යුතුය.....මෑත කාලීන සභා ඉගැන්වීම්  සහ පාප් වහන්සේලාගේ ඉගැන්වීම් සැලකිල්ලට නොගෙන ඉතිහාසයේ හුදු මතකයක්  පමණක් බවට මරණ දඬුවම නමැති මාතෘකාව බාල කල නොහැකිය. එසේම මානව ගරුත්වයට  බරපතල ලෙස හානිකරන මෙම දඬුවම සමග එකඟ වීම ප්‍රතික්ෂේප කරන ක්‍රිස්තියානි ජනතාවගේ අන්‍යෝන්‍ය දැනුවත්කම කෙරෙහිද සැලැකිල්ල යොමු කල යුතුව තිබේ"
"පුද්ගලයකු මරණ දඬුවමට ලක් කිරීම, එය කවර ආකාරයෙන් සිදු කලත්, මානව ගරුත්වයට අවමන් කරන අතිශයින් අමානුෂික ක්‍රියාවක් බව දැඩි ලෙස අවධාරණය කළ යුතුය. එසේම, මානව ජීවිතයක් මර්දනය කිරීමට සිය කැමැත්තෙන්ම තීරණය කිරීමක් සිදුවන නිසා මරණ දඬුවම  එහි ස්වභාවයෙන්ම සුබ අස්නට ඉඳුරාම පටහැනියැ" යි ද එතුමා අවධාරණය කළේය.

ධර්මොපදේශයේ මෙම වගන්ති ප්‍රතිශෝධනය සිදු කරන ලද්දේ එම උපදේශය අනුව යමිනි.

මෙම තත්වය තුළ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සීමිත පිරිසකට හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන පැහැදිලිව කතා කිරීමට ශ්‍රී ලාංකික කතෝලිකයාට දැන් අවස්ථාව ලැබී තිබේ. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය