" මේ මාසයේ ඔබේ පියතුමන්ට ආත්මික තිළිණයක් දෙන්න: එතුමන් වෙනුවෙන් යාච්ඥා කරන්න": ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි (වීඩියෝ)

 "In this month, pray for your priests" - Pope requests Catholics 


(2018 ජූලි 3)
ජූලි මාසය තුළ ඔබගේ පියතුමන්ලා වෙනුවෙන් යාච්ඥා කරමින් එතුමන්ට ආත්මික පඬුරක් පිරිනමන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම ඉතා වෙහෙසට පත් වූ සහ හුදෙකලා වූ පියතුමන් වෙනුවෙන් මෙම යාච්ඥා ඔප්පු කරන්නැයි එතුමා මෙම ඉල්ලීමේ සඳහන් කරයි.

එතුමා මෙම කරන්නේ ජූලි මාසයේ  සුදොතුම් පිය යැදුම් අදහස් වීඩියෝව නිකුත් කරමිනි. සෑම මාසයකම සුදොතුම් පියතුමා ගේ විශේෂ අදහසක් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි  "යාඥාවේ අපෝස්තලික සේවාව" විසින්  ලෝක කතෝලිකයන්ගෙන්  ඉල්ලා සිටිනු ලැබේ. මෙය ජේසු නිකාය විසින් වසර 1800 සිට නොකඩවා කරගෙන ආ අපෝස්තලික සේවාවකි. 1939 සිට එය පාප් වහන්සේ ගේ ලෝකය සඳහා යැදුම් අදහස සහ ධර්මදූතික අදහස ලෙස කොටස් දෙකකින් ඉදිරිපත් කෙරින. එහෙත් ඉකුත් වසරේ සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාසයකට එක් යැදුම් අදහසක් පමණක් ඉදිරිපත් කළ අතර එම යැදුම් ඉල්ලීම වීඩියෝවක් මගින් ලොව පුරා බෙදාහරින්නට ද කටයුතු කළේය.

මෙම මාසයේ එතුමා මෙම යැදුම් වීඩියෝ පණිවිඩය මගින්  ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය පියතුමන් වෙනුවෙන් මේ මාසය පුරා යාච්ඥා කරන ලෙසයි.

"පියතුමන්ලාගේ වෙහෙස ගැන ඔබ  දන්නවාද?.... ඒ ගැන මා කොතෙක් කල්පනා කරනවා දැයි ඔබ දන්නවාද?"

මේ මාසයේ සුදොතුම් පිය යැදුම් වීඩියෝව  ආරම්භ වන්නේ එම වචන වලිනි.

"පුදැදුරුවරුන් සිය ගුණධර්ම මෙන්ම දුර්වලතා ද සමග විවිධ ක්ෂේත්‍ර තුළ සේවය කරති," යි එතුමා එහි කියයි, පියතුමන්  යුද්ධය, ආපදා සහන වැනි විවිධ තත්ත්ව තුළ සේවය කරන ජවනිකා මෙම එම වචන සමග මෙම වීඩියෝවේ  එකින් එක දිගහැරේ.

"මෙවැනි අනේක විධ පෙරමුණුවල සක්‍රීයව සිටින ඔවුනට තමන් අධෛර්යයට පත් වූ විට අක්‍රීයව සිටිය නොහැකිය. මෙවැනි මොහොතක් උදා වූ විට පියතුමන්ලා එක් වැදගත් කරුණක් මතක තබා ගැනීම යහපත්ය. එනම් 'ජනතාව පුදැදුරුවරුනට ආදරෙයි; ජනතාව පුදැදුරුවරුන් විශ්වාස කරනවා' යන කරුණයි" යයි සුදොතුම් පියතුමා කියයි.

ඉන් පසුව මෙම වීඩියෝවේ ජනතාව පුදැදුරුවරුන්ට  සිය ලෙන්ගතුකම පලකරන සොඳුරු දර්ශන පෙළක් දිග හැරේ.

"සිය දහම් සේවා කටයුතු වලදී මහන්සිය. වෙහෙස සහ තනිකම දැනෙන පියවරුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට මේ මාසය පුරා මා සමග එක් වන්න. සමිඳුන් සමග ඇතිකරගන්නා ලෙන්ගතු සම්බන්ධය තුළත් සිය සහෝදර පුදැදුරුවරුන් සමග ඇතිකරගන්නා මිත්‍රත්වය තුළත් සහනය සහ සැනසිල්ල ලැබීමට එම පියතුමන්ට වරම් දෙන ලෙස ඉල්ලා මේ මාසයේ අපි යාච්ඥා කරමු" යි කියමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම මාසික යැදුම් වීඩියෝව අවසන් කරයි.

පූජකවරුන් ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් සිය කැඳවීම රැකබලා ගැනීමට කැපවීමෙන් කටයුතු කල යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිහිප විටක් පවසා තිබේ. විශේෂයෙන්ම සිය දහම් සේවාවේදී වෙහෙසට සහ තනිකමට පත්වන් පුදැදුරුවරුන් එතුමන් ගේ සිතට බොහෝ සමීප පුද්ගලයන් බවට පත්වී තිබේ. 2015 මහා බ්‍රහස්පතින්දා ශුද්ධවූ තෛලය ආශීර්වාද කිරීමේ මෙහෙයේ දී එතුමා මේ ගැන කතා කළේය.

"පියතුමන්ලා ගේ වෙහෙස! ඔබ හැමෝම අත්දකින මේ වෙහෙස ගැන මා කෙතරම් කල්පනා කරනවා දැයි ඔබ දන්නවාද?" එතුමා එදා විමසුවේය.

"විශේෂයෙන් මා වෙහෙසට පත් වූ විට මා ඒ ගැන සිතනවා. යාච්ඥා කරනවා. මා සෑම පියතුමකු වෙනුවෙන් ම යාච්ඥා කරනවා. විශේෂයෙන්ම හුදෙකලා සහ අන්තරාදායක ස්ථානවල සේවා කරන අය වෙනුවෙන් මා යාච්ඥා කරනවා" එතුමා එදා කියා සිටියේය. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය