"ක්‍රිස්තුන් වහන්සේ ගැන දැනගැනීම ගණිත සූත්‍රයකට ලඝු කළ නොහැකියි" - ශු. පේදුරු-පාවුළු මංගල දින තුන්කාල ආරාධනා භාවනාව

To know and love Christ is  a mystery and a grace; It cannot be reduced to a mathematical proof" Angelus reflection 


(2018 ජුලි 1)
ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීම සහ උන්වහන්සේට ප්‍රේම කිරීම අභිරහසක් සේම දේව වරප්‍රසාදයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එය ගණිත සූත්‍රයකින් කල හැක්කක් හෝ පෙන්වා දිය හැක්කක් නොවේ. කිතුනුවන් එය තේරුම් ගන්නේ ඇතුළාන්තයෙන් බව එතුමා පෙන්වා දෙයි.

"ජේසු සමිඳාණෝ දේව පුත්‍රයාණෝය. එබැවින් උන්වහන්සේ ගේ පියාණන් සදාකාලිකව ජීවමාන වන්නා සේම උන්වහන්සේ ද නිත්‍යව ජීවමාන වන සේක. ජේසු සමිඳාණන් පිලිබඳ අභිරහස වෙත තමන් විවෘත කරන සියල්ලන් ගේ හදවත් තුළ දේව වරප්‍රසාදය විසින් දල්වනු ලබන නව්‍යතාව මෙයය: එය ගණිතමය නොවන, එහෙත් ඊට වඩා ප්‍රබල, ආභ්‍යන්තරික නිශ්චිතතාවකි; ජීවිතයේ උල්පත, එනම් දෘශ්‍යමාන, ස්පර්ශකළ හැකි මාංශගත වූ,  ජීවිතයම මුණගැසුණාවූ  නිශ්චිතතාවකි" යි එතුමා පෙන්වා දුන්නේය.

ජුනි මස 29 වැනි සිකුරාදා පැවැත්වුණු ශු. පේදුරු-පාවුළු මංගල්‍ය දින දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය මෙනෙහි කිරීම සිදු කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේය.  සිරිත් පරිදි සුදොතුම් පියතුමා තුන්කාල ආරාධනා යැදුමට පෙර සිය මෙනෙහි කිරීම සිදු කළේය.

"ක්‍රිස්තුන් වහන්සේ සදාකාලිකව ජීවමාන වන බවත් සදාකාලිකව වැඩවෙසෙන බවත් යන මෙම දැනුම යම් පුද්ගලයකු හුදෙක් කිතුනුවකු වීම නිසා පමණක් අත්දකින අත්දැකීමක් නොවේ. එය ත්‍රිත්වයික දෙවිඳුන් වන පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන වරප්‍රසාදයේ තිළිණයකි" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

මෙම මෙනෙහි කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාදක කරගත්තේ එදින දිව්‍ය පූජාවට නියමිත ශු. මාර්කු තුමාගේ සුබාරංචියේ කියවීමයි. "මා කවුරුන්දැයි ඔබ කියන්නේද" යන ප්‍රශ්නය ක්‍රිස්තුන් වහන්සේ මෙහිදී සිය ශ්‍රාවකයන් ගෙන් විමසන සේක. "මෙම ප්‍රශ්නයට ශු. පේදුරු තුමන් දෙන පිළිතුර තුළ මෙම අභිරහසේ බීජ අන්තර්ගත වී තිබේ" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"සුබ අස්නේ එන ශ්‍රාවකයන් ජේසු සමිඳුන් පිළිබඳව ජනතාව දරන විවධ අදහස් ගැන උන්වහන්සේට පවසති. එසේම ලෝකය සියවස් ගණනාවක් තිස්සේ උන්වහන්සේ ගැන විවිධ අර්ථකතන දෙමින් සිටියි.  යුක්තිය සහ ප්‍රේමය පිලිබඳ විශිෂ්ට දිවැසිවරයෙක්, ජීවිතය පිලිබඳ ස්වාමියෙක්, දෙවියන් වහන්සේ ගේ සිහින පිලිබඳ සිහින දකින්නෙක් යනු ඒ අතර නිර්වචන කිහිපයකි. එහෙත් ජේසුන් වහන්සේ ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් වූ මේ වෙනස් උපකල්පනවල ව්‍යාකුලතාව මධ්‍යයේ පේදුරු තුමන් ගේ විශ්වාසයෙන් පරිපූර්ණ හා නිහතමානි ප්‍රකාශනය අදත් සරලව සහ පැහැදිලිව නැගී  සිටියි. පේදුරු තුමා පැවසුවේ, 'ඔබ ක්‍රිස්තුවරයාණෝය; ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය' කියායි" යයි සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

පේදුරු තුමා ගේ මෙම ප්‍රකාශනයෙන් පසුව ජේසු සමිඳුන් විසින් එතුමන් සිය සභාවේ නායකයා ලෙස පත් කලන ලද බව සුබ අස්න උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම්   පියතුමා මතක් කළේය. "මෙහිදී  සමිඳුන් 'සභාව' යන වචනය භාවිත කරයි. සුබාරංචිවල 'සභාව' යන වචනය සඳහන් වන ප්‍රථම අවස්ථාව  මෙයයි. මෙහිදී සමිඳුන් සභාව යන්න භාවිත කරන්නේ ඊට ඇති සිය ප්‍රේමය පැහැදිලිව ප්‍රකාශ කරමින් 'මාගේ සභාව' යනුවෙනි. ... මේ ප්‍රකාශනත් සමග ජේසු සමිඳාණෝ සිය නව ගිවිසුමේ සංඝය පිහිටුවන සේක. එම සංඝයේ පදනම තමා කරෙහි වූ ඇදහිල්ල ය" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

මෙම විශ්වාසය භාග්‍යවන්ත සවැනි පාවුළු පාප්වහන්සේගේ යාච්ඥාවක සඳහන් වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.
"එම විශ්වාසය භා. සවැනි පාවුළු පාප් තුමන් මිලාන් නුවර අගරදගුරුතුමා ලෙස සිටියදී කියූ මෙම ගෞරවනීය යාච්ඥාවේ පැහැදිලිව සඳහන් වේ:
'අපගේ එකම මධ්‍යස්ථකාරයාණන් වන ජේසුනි, අපට ඔබ අත්‍යවශ්‍ය ය. පියාණන් වන දෙවියන් වහන්සේ සමග සහභාගිත්වයෙන් සිටීමට ද, උන්වහන්සේ ගේ එකම  පුත්‍රයාණන් වන ඔබ සමග ඒකීය වනු සඳහා ද, ශුද්ධාත්මයාණන් තුළ අලුත් වනු සඳහා ද අපට ඔබ අත්‍යවශ්‍ය ය."




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය