"සැබෑ කිතුනු එකමුතුව සඳහා භේද වලට ඉහලින් ක්‍රිස්තුන් වහන්සේ තබන්න" සුදොතුම් පියතුමා ජිනීවා නුවරදී

 "Puts Christ over division for Christian unity"  -  Pope says in Geneva 




(2018 ජුනි 23)
කිතුනු සභා අතර භේදය පැණනගින්නේ ලෞකිකත්වය නිසා බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. සභා තර එකමුතුව කරා යන ගමනට ඇතිවන බාධා වලින් ජයගැනීම සඳහා භේදයට තුඩුදෙන කරුණුවලට වඩා ක්‍රිස්තුන් වහන්සේට ප්‍රමුඛත්වය දිය යුතු බව එතුමා අවධාරණය කරයි.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ පැවැත්වුණු  ලෝක කිතුනු සභා කවුන්සිලයේ 70 වන සංවත්සර සභාවට සහභාගී වීම සඳහා ජුනි 21 වනදා ජිනීවා නුඅවරට පැමිණි අවස්ථාවේදීය. ක්‍රිස්තියානි විශ්වාසයන් අතර සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලෝක කිතුනු සභා කවුන්සිලය පිහිටුවාගන්නා ලද්දේ 1948 දීය. මේ වන විට ලොව පුරා කිතුනු සභා 348ක් මෙහි සාමාජිකත්වය ලබා තිබේ. රටවල් 110ක ජීවත්වන ඇන්ග්ලිකාන, ඕතඩොක්ස්, බැප්ටිස්ට්, ලුතෙරාන සහ මෙතෝදිස්ත ඇතුළු සභා රැසක කිතුනුවෝ මිලියන 500කට අධික පිරිසක් ඊට අයත් වෙති. වතිකානය හෝ කතෝලික සභා මෙම කවුන්සිලයේ සාමාජිකත්වය ලබා නොමැති අතර නිරීක්ෂක මට්ටමින් ඊට සහභාගී වෙයි. එම කවුන්සිලයේ 70 වන සංවත්සරයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක්වීම නිරීක්ෂකයන් විසින් සලකනු ලබන්නේ  දෙවන වතිකාන කතිකාවෙන් පසුව භා. සවැනි පාවුළු පාප්වහන්සේ ආරම්භ කල කිතුනු සභා එකමුතු ප්‍රයත්නයට කතෝලික සභාවෙන් ලැබෙන ප්‍රබල පිටුබලයක් ලෙසයි.

ආත්මයාණන් ගේ මාර්ගයේ එකට පා නගන්නට සියලු කිතුනුවන් කැඳවනු ලැබසිටිතියි ජිනීවා නුවරට පා තැබීමේ පසුව සිය ප්‍රථම දේශනය පවත්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "මෙහි අරුත නම් ලෞකිකත්වය ප්‍රතික්ෂේප කර සේවාවේ ආකල්පයකට යොමු වීම සහ සමාව දානය කිරීම තුළ වර්ධනය වීමයි. එසේම එහි අරුත නම් දූෂණයේ කුණාටුවට අප හසුකරගැනීමට ඉඩ නොදී, 'ඔබට මෙන් ඔබගේ අසල්වැසියාට ද ප්‍රේම කරන්නැ'යි අපට ඉගැන්වූ තැනැන්වහන්සේ ගේ කාලයේ සලකනු ඔස්සේ සන්සුන්ව පා නගමින්,  ඉතිහාසය තුළ අපගේ භූමිකාව ඉටුකර දෙවියන් වහන්සේ ගේ කාලයට ඉඩ හැරීමයි" යැයි එතුමා කීවේය. 

එක්ව පා නැගීම සඳහා  නිරන්තර සිත් හැරීමක් සහ අප කල්පනා කරන ආකාරයේ වෙනසක්  අවශ්‍ය වන බව සුදොතුම් පියතුමා මෙම දේශනයේ දී අවධාරණය කළේය. ශු. පාවුළු තුමන් කොරින්තිවරුනට ලියූ පළමු ලිපියේ එන එදා කොරින්ති සභාවේ තිබූ බෙදීම් ගැන එතුමා සිහිපත්  කළේය. " 'මම පාවුළුගේය', 'මම අපොලොස්‌ගේය', 'මම සීපස්ගේය', 'මම ක්‍රිස්තුන් වහන්සේ ගේ ය' යි ඔබ එකිනෙකා කියමින් සිටියි. ක්‍රිස්තුන් වහන්සේ බෙදනු ලැබ  සිටින සේක්ද? ඔබ වෙනුවෙන් කුරුසිපත් වූයේ පාවුළු ද? එසේ නැතිනම් ඔබ බෞතීස්ම ස්නාපනය ලැබූයේ පාවුලුගේ නාමයෙන්ද?' යි පාවුළු තුමා  මෙමෙ ලිපියේ ප්‍රශ්න කරන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"නූතන කිතුනුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ ඇපොල්ලොස්ට හෝ සීපස්ට අයත්වීමට කළින් ක්‍රිස්තුන් වහන්සේට අයත්වන ලෙසය; 'ජුදෙව්වකු හෝ ග්‍රීකයකු' වීමට කළින් ක්‍රිස්තුන් වහන්සේට අයත් වීමටය; තමා වමේ හෝ දකුණේ යයි අනන්‍ය වීමට කළින් ස්වාමීන් වහන්සේට අයත්වීමටය; සුබ අස්නේ නාමයෙන් අපගේ සහෝදරයා හෝ සහෝදරිය අපට වඩා ඉහලින් තෝරාගැනීමටය" යි එතුමා අවධාරණය කළේය.

ලෝකයේ දෘෂ්ටි කෝණයෙන් මෙවැනි තෝරාගැනීමක් දකිනු ලබන්නේ ව්‍යාපාරයක් පාඩුවට නඩත්තු කරගැනීමක් ලෙස බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "එහෙත් මෙම පාඩුව ධර්මදානීයය" යි අවධාරණය කළ එතුමා ශු. සුවිශේෂ පාඨයක් උපුටා දැක්වීය.
" 'සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට උත්සාහ දරන තැනැත්තේ එය නැතිකර ගනියි. සිය ජීවිතය නැතිකරගන්නා තැනැත්තේ එය රැකගනියි' යි සමිඳාණෝ වදාළ සේක. එබැවින් අපගේම දේ රැකගැනීම යනු මාංශයට අනුව ක්‍රියා කිරීමයි. ජේසු සමිඳුන් ගේ පිය සටහන් ඔස්සේ සියල්ල නැතිකරගැනීම යනු ආත්මයාණන් තුළ ගමන් කිරීමයි. සමිඳුන් ගේ මිදී උයන ඵල දරන්නේ මේ මාර්ගය තුළ පමණකි" යි එතුමා අවධාරණය කළේය.

කිතුනුවන් අතර භේද ඇති වීමට හේතුව "කිතුනුවන්ගේ මුල් තුළට ලෞකික මානසිකත්වයක් කාන්දුවීම" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "මෙහිදී සිදුවූයේ ක්‍රිස්තුන් වහන්සේ සැලකිල්ල දක්වන කරුණු වලට වඩා තමන්ගේ පෞද්ගලික අපේක්ෂා ප්‍රමුඛත්වයට පැමිණීමයි. මෙය සිදු වූ විට අප බෙදා වෙන් කිරීම යක්ෂයාට අපහසු දෙයක් වූයේ නැත. මන්ද අප ගමන් කරමින් සිටියේ මාංශයේ මාර්ගය ඔස්සේ මිස ආත්මයාණන් ගේ මාර්ගයේ නොවන බැවිනි."

"මෙම භේද අවසන් කිරීමට අතීතයේදී ගන්නා ලද වෑයම් කිහිපයක්ම අවාසනාවන්ත ලෙස අසාර්ථක විය. ඊට හේතුව එම වෑයම් ප්‍රධාන වශයෙන් පදනම් වූයේ ලෞකික සිතිවිලි රටාව මත වීම නිසාය. මේ අතර. කිතුනු  සභා අතර සංවාදයේ ව්‍යාපාරය (ecumenical movement) ශුද්ධාත්මයානන් ගේ වරප්‍රසාදයක් ලෙස ආරම්භ වූ " බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය."කිතුනු සභා අතර සංවාදය (Ecumenism) ක්‍රිස්තුන් වහන්සේගේ  කැමැත්තේ මාර්ගය වෙත අප යොමු කළේය.  එය ආත්මයාණන් ගේ මග පෙන්වීමට අවනත වන අතර, තමන් වෙතම යොමේ වීම නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඊට දියුණුව කරා පා නැගිය හැකි වනු ඇත" යි එතුමා පැවසුවේය. 
අතීතයේ අමිහිරි මතක අමතක කිරීම 
කිතුනු සභා අතර සංවාදයේ ව්‍යාපාරය සෑහෙන දුරක්  ගමන් කර ඇති නමුදු අතීතයේ ඇතැම් අමිහිරි මතකයන් අමතක කිරීම තවමත් අපහසු වී තිබේ. අතීතයේ හටගත් මතභේද වෙනස් කිරීම ද පහසු කටයුත්තක් වී නොමැත. මෙය සභා අතර පූර්ණ  එක්සත්කමට බාධාවක් වී තිබේ. සිය දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ පළමු කිතුනු සභාවේ ද මෙවැනි තත්වයන් පැනනැගී තිබුණු බවයි. විශේෂයෙන්ම ගලාතියේ සභාව තුළ මීට නෑකම් කියන තත්වයක් තිබූ බව එතුමා සිහිපත් කළේය. 

"සිත් රිදවුණු කරුණු පරයා එක්සත්කම ප්‍රවර්ධනය කිරීම කෙතරම් දුෂ්කරද? ශතවර්ෂ ගණනක් පැරණි මතභේද සහ අන්‍යෝන්‍ය දෝෂාරෝපණ අමතක කිරීම කෙතරම් අමාරුද? "

"නොකඩවා මුහුණ දෙන සභා අතර  වෙනස්කම් මධ්‍යයේ වුවද එක්සත් වීමට ඇති ප්‍රයත්නය හෝ උනන්දුව අත්නොහැරිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. 
"අප අතර ඇති වෙනස්කම් සමගි නොවීමට නිදහසට කරුණු  නොවිය යුතුය. අපි දැනටමත් ආත්මයාණන් තුළ ගමන් කරමින් සිටිමු. අපට එක්ව යාච්ඥා කිරීමටත්, ධර්මදානය  කිරීමටත් සේවය කිරීමටත් හැකිය. මේ කල හැකි දෙයකි. එක්ව ගමන් කිරීම, යාච්ඥා කිරීම සහ වැඩකිරීම: එය දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයකි. මෙය පිය  නැගීමට  අප ක්න්දවනු ලැබ ඇති විශිෂ්ට මාර්ගයයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය