"කාන්තාවන්ට පුදැදුරුවරය බැහැ. එම ඉගැන්වීම ස්ථිරයි. සැකයෙන් තොරයි" -වතිකාන වීශ්වාස ධර්ම පර්ෂදයේ නායක අගරදගුරු හිමි අවධාරණය කරයි

Vatican's doctrinal prefect reaffirms ban on women priests; "Teaching definitive" He affirms 



(2018 ජුනි 2)
 කාන්තාවනට පුදැදුරුවරය දානය කිරීම නොකළහැක්කක් බවට   කතෝලික සභාව ප්‍රකාශ කරන ඉගැන්වීම ඉතා පැහැදිලි, ස්ථිර ඉගැන්වීමක් බව වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ ඉහළම අධිකාරිය දරන අගරදගුරු හිමි තහවුරු කරයි. එය අදටත්, අනාගතයටත් එකසේ ම වලංගු බවද එතුමා පවසයි. මේ නිසා ඊට විරුද්ධ අදහස් යෝජනා කිරීම බරපතල ව්‍යාකුලතාවලට හේතුවන බව එතුමා පෙන්වා දෙයි.

වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි ලුයිස් ලැඩේරියා අගරදගුරු හිමි මේ බව කියා සිටියේ වතිකානයේ ලෙ' ඔසවටොරේ රොමානෝ පුවත්පතට යැවූ  ලිපියක් මගිනි. මෙය මැයි 29 වනදා එම පුවත්පතේ පළකර තිබිණි.

"ක්‍රිස්තුන් වහන්සේ මෙම දේව ප්‍රසාද නිධානය (පුදැදුරු වරය,) සියලු දෙනාම පිරිමින් වූ අපොස්තුළුවරුන් 12 දෙනාට පමණක් දානය කල අතර, ඔවුහු  පෙරළා එම වරම වෙනත් පිරිමිනට දානය කළහ. පුදැදුරු වරය (ministerial priesthood) වලංගු ලෙස කාන්තාවනට  දානය කළ හැකි යන අදහස බැහැර කෙරෙන ස්වාමීන් වහන්සේ ගේ මෙම තීරණයට තමන්  බැඳී සිටින බව කතෝලික සභාව නිරන්තරයෙන්ම පිළිගෙන තිබේ" යි එතුමා සිය ලිපියේ කියා සිටියි.

"සියලු කතෝලිකයන් මෙම ඉගැන්වීම "ස්ථිර ලෙස" අනුගමනය කල යුතු බව ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ  1994 දී මේ සම්බන්ධයෙන් නිකුත් කල “Ordinatio sacerdotalis,” නමැති අපෝස්තලික  ලිපියේ පෙන්වා දී ඇති බව එතුමා කියයි. "මේ නිසා මෙම ඉගැන්වීමේ ස්ථිරත්වය ගැන ප්‍රශ්න කෙරෙමින් ඇතැම් රටවල නැගෙන හඬවල්  ගැන බරපතල සැලකිල්ල යොමු වී ඇත. සභාවේ කාන්තා පුදැදුරුවරම් තහනම ගැන තර්ක කරමින්, පාප් වහන්සේට හෝ මන්ත්‍රණ සභාවකට එම ඉගැන්වීම වෙනස් කළ හැකි බවට යෝජනා කිරීම විශ්වාසිකයන් අතර බරපතල ව්‍යාකුලතාවක් ජනිත කරන අතර එය සභාවේ  ගුරුබලය සැහැල්ලුවට ලක් කරයි" යි අගරදගුරුතුමා දැඩි ස්වරයෙන් කියා සිටියි.

කාන්තාවන්ට පුදැදුරුවරය දානය කල නොහැක්කේ මන්දැයි ලුයිස් ලැඩේරියා අගරදගුරු හිමි මෙම ලිපියේ විස්තර කරයි. ඊට එක හේතුවක් වන්නේ මෙම සක්‍රමේන්තුව ලබන්නා පිරිමියකු වීම එම සක්‍රමේන්තුවේ භාවාර්ථයේ කොටසක් (part of the substance of the sacrament)  වී තිබීමයි. සභාවට මෙම භාවාර්ථය වෙනස කල නොහැකිය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ විසින් සථාපිත කරන ලද මෙම සක්‍රමේන්තු සභාවේ  පදනම වීම නිසාය.

අනෙක් අතින්,  මේ පිලිබඳ නැගෙන තර්කවලට පරස්පරව, පුදැදුරුවරයට අදාලව ඇති මෙම සීමාව නිසා සභාවේ සක්‍රීය දූත මෙහෙවරට කිසිදු බාධාවක් සිදු නොවන බව  එතුමා පැහැදිළි කරයි. "මන්ද, සභාවට කිසියම් දෙයක් වෙනස් කළ නොහැකි නම් ඊට හේතුව දෙවියන් වහන්සේ ගේ ප්‍රාකෘත  ප්‍රේමය එම ස්ථානයේ දී මැදිහත් වන නිසාය."

"දේව වරප්‍රසාදයේ ප්‍රධාන උල්පත ලෙස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂ වැඩසිටීම, සභා ඉතිහාසයේ සෑම මොහොතකම පවතිනු සඳහා පුදැදුරුවරය දානය කිරීමේ දී දෙවියන් වහන්සේ ක්‍රියාකාරී වන" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  "Evangelii gaudium" නමැති අපෝස්තලික හසුන උපුටා දක්වමින් අගරදගුරු හිමි කියයි. ශු. දෙවැනි ජුවාම් පාවුළු සහ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේලාගේ ලේඛන කිහිපයක් ද විශ්වාස ධර්මය පිලිබඳ වතිකාන පර්ෂදයේ නායක ලුවිස් අගරදගුරු හිමිගේ මෙම ලිපියේ උපුටා දක්වා තිබේ.

අති භාග්‍යවන්ත මරිය මාතාවන් ගේ ආදර්ශයද එම හිමියන් විසින් පෙන්වා දී ඇත. සභා ඉතිහාසයේ "අති පරිපූර්ණම  තැනැත්තිය" වූ එතුමිය අභිෂේකලත් පුදැදුරුවරියක නොවූ බව එහි  සවිස්තරාත්මකව දක්වා තිබේ.

ස්වීඩනයේ සිට ආපසු වතිකානය බලා එන ගුවන් ගමනේ දී කාන්තා පුදැදුරුවරය ගැන වාර්තාකරුවන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කීවේය:
"කතෝලික සභාව තුළ කාන්තාවනට පුදැදුරු වරය දානය කිරීම සම්බන්ධයෙන් අවසාන පැහැදිලි වචනය ප්‍රකාශ කළේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේයි. එම නිගමනය නොවෙනස්ව පවතිනවා."

කෙසේ නමුදු මෙම ස්ථාවරය පවතින්නේ පුදැදුරුවරය සඳහා පමණක් බව ද ලඩේරියා ලුවිස් අගරදගුරු හිමි සඳහන් කරයි. කාන්තාවනට ස්ථිර  තේවාචාරීවරය ලබාගත හැකිද යන්න ගැන මෙතෙක් තීරණයකට පැමිණ නැත. එම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් මීට වසරකට  පෙර කොමිසමක් පත් කෙරිණි. එම කොමිසමේ සභාපති වන්නේද ලුවිස් අගරදගුරු හිමි ය.

සටහන: "පුදැදුරු" යන්න " ministerial priest" යන්නට නිසි හෙළ වදන බව දේවධර්ම ශාස්ත්‍රය සහ සිංහල භාෂාව ඇතුළු විෂයයන් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පියවරු කිහිප නමක් 'වතිකාන සුළඟට" පෙන්වා දුන්හ. "පූජක" යන්න ඊට නිසි වදන නොවේ. ප්‍රසාද ස්නාපනය මගින් සියලු කිතුනුවෝ ජේසු සමිඳුන් ගේ "පූජක, එඬේර සහ දිවැසිවර" යන තෙවැදෑරුම් මෙහෙවර වල කොටස්කරුවෝ වෙති. දිව්‍ය පූජාව ඔප්පු කිරීමේ වරම් ලැබ එහි මුලසුන දරන්නේ "පුද + ඇදුරු" = පුදැදුරු වේ. එම අදහසින් එන Priest  යන වචනයට හෙළ බස් ඇදුරු, "ඔබට පසස ගී" පබැඳූ ගරු  මෝසැසි පෙරේරා මාහිමියන් යොදා ගත් වචනය ද මෙය ය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය