"මව් කුසේ සිට ස්වාභාවික මරණය තෙක් ජීවිතය සුරැකිය යුතුයි; ඊට එරෙහි න්‍යායන්ට විරුද්ධ වන්න." - සුදොතුම් පියතුමා ලෝක වෛද්‍යවරුනට අවධාරණය කරයි

'The Church is for life from conception to natural end"  Francis tells Catholic physicians


(2018 මැයි 29)
ජීවිතය ආරක්ෂා කිරීම පිලිබඳ සභාවේ ඉගැන්වීමට විශ්වාසවන්තව සිට එම ඉගැන්වීම පතළ කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ස්ථිරව කැපවී කටයුතු  කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මානව ජීවිතයට ඇති ගරුත්වය ප්‍රතික්ෂේප කරන න්‍යායන්වලට විරෝධය දක්වන ලෙස ද එතුමා ඔවුන්ගෙන් ඉල්ලයි.

"සභාව ජීවිතය වෙනුවෙන් පෙනී සිටියි. එබැවින් ඇය සැලැකිල්ල යොමු කරන්නේ කෙතරම් දුර්වල වූවත්, කෙතරම් ආරක්ෂා රහිත වූවත්, වර්ධනය නොවූ හෝ උසස් තත්වයට පත් වී නොතිබුනත්, මූර්ත පැවැත්මේ  යථාර්ථය තුළ කිසිවක් ජීවිතයට විරුද්ධව නොයා යුතුය යන කාරණය වෙතටයි," යැයි එතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කතෝලික වෛද්‍ය නියෝජිත කණ්ඩායමක් වතිකානයේ දී එතුමන් මුණගැසුණු අවස්ථාවේදීය. කතෝලික වෛද්‍ය සභා ලෝක සංසදයට අයත් මෙම  නියෝජිතයෝ 22 දෙනා මැයි 28 වැනිදා වතිකානයේ සුදොතුම් පිය ශාලාවේදී එතුමන් හමුවූහ. ඔවුන් වතිකානයට  පැමිණියේ මැයි 30 සිට ජුනි 2 දක්වා ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් අගනුවර පැවැත්වෙන එම සංසදයේ 25 වැනි ලෝක  සම්මේලනයට සූදානම් වීමක් ලෙසය.

සීමා රහිතව මානව බලය වන්දනා කිරීම සහ ප්‍රයෝගික සාපේක්ෂතාවාදය හේතුවෙන්  තමාගේ වාසියට හේතු නොවන සියල්ල අදාල  නොවන තත්වයට පත්කරනු ලැබ ඇතැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. මෙවැනි තත්වයක් තුළ සභාවේ ඉගැන්වීම්වලට විශ්වාසවන්තව සිය සේවා ඉටුකරන්නට යාමේ දී කතෝලික වෛද්‍ය වරුනට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ගැන  දන්නා බව එතුමා කියා සිටියේය. "විශේෂයෙන්ම මව් කුසේ සිට ස්වාභාවික අවසානය තෙක් මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කිරීමට ඔබ ගන්නා ප්‍රයත්නයේ දී මෙම දුෂ්කරතා මතු වන බව මම දනිමි" යි එතුමා කීවේය.

"පුද්ගලයකු ලෙස රෝගියකු ගේ කේන්ද්‍රීය බවත්,  අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකම්, විශේෂයෙන් ම ජීවත් වීමට ඔවුනට ඇති අයිතිවාසිකමත් ආරක්ෂා කිරීමට  වෛද්‍යවරු කැඳවනු ලැබ සිටිති. ශීල ධාර්මික මුලධර්ම වලට ගරු නොකර රෝගියකු අලුත්වැඩියා කළ යුතු යන්ත්‍රයක තත්වයට පහත්   කරන්නා  වුද, කාර්යක්ෂ්මතාවයේ  සහ ලාබයේ න්‍යායයන්ට නොගැලපෙන බැවින් දුර්වලතම වූවන් වීසි කර දැමීමේ සුරාකෑමට ලක්කරන්නාවූද ප්‍රවණතාවට විරුද්ධව නැගී සිටිය යුතුයැ"යි   එතුමා අවධාරණය කළේය.

ලෝක කතෝලික වෛද්‍ය සභාව කතෝලික සභාවේ ගුරුබලයට විශ්වාස පක්ෂව සිටීම ගැන ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා එහි සාමාජිකයනට ප්‍රශංසා කළේය. මෙම මාර්ගයේ වඩාත් අධිෂ්ඨානපූර්වකව සහ ශාන්තිමත්ව නොකඩවා ගමන් කරන්නැයි එතුමා ඔවුන් දිරිමත් කළේය.

"කතෝලික වෛද්‍යවරයකු වීම යනු ඇදැහිල්ල සහ සභාව සමග සමවායෙන් විසින් තමා ඉදිරියට ගෙනයනු ලබන බව හැඟී යාමයි; එසේම කිතුනු සහ වෘත්තීය හැඩගැස්ම තුල වර්ධනය වීමයි; එසේම වඩාත් හොඳින් ජීවිතයට සේවය කිරීම සඳහා ස්වාභාවික නීතීන් දැන සිටීමයි. මේ සඳහා කතෝලික  වෛද්‍යවරුන් සභාවේ ජීවිතය සහ දූත මෙහෙවර සමග සම්බන්ධ වී සිටීම අත්‍යවශ්‍ය වේ" යයි එතුමා පෙන්වා දුන්නේය.

මානව පුද්ගල ගරුත්වය පිළිගන්නා වෙනත්  ආගම්වල වෛද්‍යවරුන් සමග ද එක්ව වැඩ කරන්නැයි සුදොතුම් පියතුමා කතෝලික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

"ප්‍රීතියෙන් සහ ත්‍යාගශීලිත්වයෙන් යුතුව ඔබගේ ගමනේ නොකඩවා යෙදෙන්න. ජීවිතයට ඇති ආදරය පිළිගෙන බෙදා ගන්නාවූත් ජීවිතයේ  ගරුත්වය සහ පරිශුද්ධත්වය ආරක්ෂා කොට ඊට සේවය කිරීමට ප්‍රයත්න දරන සියලු ජනයා සහ ආයතන සමග මෙම ගමනේ නිරත වන්න" යයි එතුමා ලොව පුරා කතෝලික වෛද්‍යවරුන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය