ත්‍රිත්ව ඉරිදා "ප්‍රේමයේ දෙවියන් වහන්සේව උත්සවශ්‍රීයෙන් සමරන්න"- තුන්කාල ආරාධනා භාවනාව

 "Celebrate the God of Love on the feast of the Most Holy Trinity"- Pope at the Angelus 


(2018 මැයි 27)
ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍ය දිනය හුදෙක් ජේසු  සමිඳුන් ගැන  භාවනා කර ස්තුති ප්‍රශංසා කිරීමට අප කැඳවන  මංගල දිනයක් පමණක් නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "එය ස්වකීය ප්‍රේමය නොමිලේ අපට තිළිණ කරන දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය, සැමදා නවතාවට පත්වන පුදුමයෙන් යුතුව උත්සවශ්‍රීයෙන් සැමැරීමේ මංගල්‍යයයි" යයි එතුමා කියයි.

"තමන්වහන්සේ  වැඩසිටින බව අපට හෙළිදරව් කිරීමට වඩා දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ, උන්වහන්සේ 'අප සමග සිටින දෙවියන් වහන්සේ'  බවත්, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, අපගේ පෞද්ගලික ජීවිත කතාව ගැන උනන්දුවක් දක්වන බවත්, ඉතාම කුඩා වැඩිම අවශ්‍යතාවෙන් පෙලෙන තැනැත්තන් ගේ සිට සෑම කෙනෙකුම  එතුමා දයාවෙන් සුරකින බවත් ප්‍රකාශ කිරීමටය. ..දෙවියන් වහන්සේ වැඩ වෙසෙන්නේ ස්වර්ගයෙහි වුව ද  උන්වහන්සේ මිහිමත ද වෙසෙන සේක. මේ නිසා අප විශ්වාස කරන්නේ අපට  අතිශයින් දුරස්ථ, අපගේ ඕනෑ එපාකම් ගැන උදාසීනව සිටින තැනැත්තෙකු කෙරෙහි නොවේ. ඊට ප්‍රති විරුද්ධව, අප විශ්වාස කරන්නේ විශ්වය මවා, ජනතාවට ජීවය දුන්නා වුද, අප වෙනුවෙන් මාංශගත වී දිවි පුදා උත්ථාන වුනාවූ ද, ශුද්ධාත්මයාණන් ලෙස සියල්ල පරිවර්තනය කර එහි පූර්ණත්වයට පමුණුවන්නා වුද  ප්‍රේමය කෙරෙහි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දෙයි.

එතුමා මෙසේ කියා සිටියේ මැයි 27 ඉරිදා ශුද්ධ වූ ත්‍රිත්ව මංගල්‍ය දින තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය භාවනාව කරමිනි. මෙදින එතුමන් සමග තුන්කාල ආරාධනාවට එක්වීම සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට 25,000 කට අධික වන්දනාකරුවන් පිරිසක් රැස්වී සිටියහ.

මෙදින එතුමන් සිය භාවනාව සඳහා පාදක කරගත්තේ මෙම මංගල්‍ය දින දිව්‍ය පූජාවේ දෙවන කියවීම සහ සුබ අස්නේ එන පනිවිඩයි.

කිතුනුවන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බව ශු. පාවුළු තුමා රෝම වරුන්ට ලියූ ලිපියේ කියයි." මේ නිසා උනහන්සේ ගේ දරුවන් ලෙස දෙවියන් වහන්සේට 'පියාණනි' යයි ඇමතීමට අපට හැකියි" යයි සුදොතුම් පියතුමා කීවේය:

"ප්‍රේමයේ දෙවියන්වහන්සේ තුළ සිදුවන ගැඹුරු පරිවර්තනය ශු පාවුළු තුමා සිය ජීවිතයෙන්ම අත්දැක තිබුනේය. එම පරිවර්තනය තුළ 'පියාණනි'  යැයි උන්වහන්සේව ඇමතීමටත්, ඊටත් වඩා  ඉතාමත් සමීපව සහ ලෙන්ගතු කමින් 'තාත්තේ' (“dad,” abba") කියා ඇමතීමටත් උන්වහන්සේ අපට අවකාශ ලබා දී ඇති ආකාරයත් ගැන පාවුළු තුමා ජීවිතයෙන්ම අත්දැක තිබුණේය. දරුවකු තමන්ට ජීවය දෙන තාත්තා කෙරෙහි වන පූර්ණ විශ්වාසයෙන් තමන් එම පියා  ගේ දෑත් මත අත්හැර දමන්නේ යම් සේ ද එබඳු විශ්වාසයකින් දෙවියන් වහන්සේ ඇමතීමට හැකියාවක් එම පරිවර්තනයෙන් ලැබෙන බව පාවුළු තුමා අත්දැක්කේ යැයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"ශුද්ධාත්මයාණන් වහන්සේ  එක් එක් පුද්ගලයා තුළ ක්‍රියා කිරීම තුළින් ක්‍රිස්තුන් වහන්සේ අතීතයේ ජීවත් වූ පුද්ගලයකු බවට ලුහු නොකොට, උන්වහන්සේ අපට සමීප අපගේ සමකාලීන අත්දැකීම බව පත් කරන සේක. මේ මගින් අප දේව දරුවන් වීමේ ප්‍රීතිය අත්දැකීමට අපට හැකියාව ලැබෙන්නේය."

කිතුනුවනට මග පෙන්වා ඔවුන් කැටුව  යාමට ශුද්ධාත්මයාණන් එවනු ලැබ ඇති නිසා ඔවුන් තනිවී නොමැති බව එතුමා පහදා දුන්නේය. "ශුද්ධාත්මයාණන් ගේ වැඩසිටීමත් උන්වහන්සේ පිරිනමන ශක්තියත් නිසා උන්වහන්සේ අපට පවරන දූත මෙහෙවර ඉටුකරන්නට අපට හැකියාව ලැබේ: එම මෙහෙවර නම්, උන්වහන්සේ ගේ සුබාරංචිය සෑම කෙනෙකුටම ප්‍රකාශ කිරීමටත්, ඒ වෙනුවෙන් සාක්ෂි දැරීමටත්, ඒ මගින් උන්වහන්සේ සමග සහභාගීත්වය පුළුල් කොට එයින් ලැබෙන ප්‍රීතිය අත්විඳීමය."

"සදාකාලික ප්‍රේමය සමග ප්‍රේමය වෙනුවෙන් අනවරතයෙන් මවන්නාවූ ද, ගලවන්නා වූ ද ශුද්ධත්වයට පත් කරන්නා වූ ද   දෙවියන් වහන්සේ ගේ අබිරහස ගැන භාවනා කිරීමට ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය අප කැඳවයි. උන්වහන්සේ ආරදරයෙන් පිළිගන්නා සෑම මැවිල්ලකටම ස්වකීය සෞන්දර්යයේ, යහපත්කමේ සහ සත්‍යයේ ආලෝක කිරණයක් උන්වහන්සේ  තිලිණ කරන සේක."

" ජීවිතයේ අරුත යනු නිශ්චිත වශයෙන්ම අනන්ත වූ ප්‍රේමයය; එනම් පියාණන් ගේ ද පුත්‍රයාණන් ගේ ද ශුද්ධාත්මයානන් ගේ ද ප්‍රත්‍යක්ෂ ප්‍රේමය ය යන්න ගැන  ප්‍රේමයට පිපාසයෙන් සිටින ලෝකයට සාක්ෂියක් වීමට අප සෑම කෙනෙකුටම උදව් කරන්නයි මරිය මෑණියන්ට යාච්ඥා කරමු" යි ආරාධනා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය භාවනාව අවසන් කළේය. 

(සේයාරුව: ත්‍රිත්ව ඉරිදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනාකරුවන්)  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය