"සැබෑ වෙනසක් ඇතිකළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණයි."- පෙන්තකොස්ත දින ධර්ම දේශනාව

Pope Francis on Pentecost: The Holy Spirit changes hearts


(2018 මැයි 21)
තමන්ට වෙනසක් ඇති කල හැකි බවට  බොහෝ දෙනෙකු ප්‍රතිඥා දුන්නත් සැබෑ වෙනසක් ඇති කල හැක්කේ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. උන්වහන්සේ වෙනස ඇති කරන්නේ හදවත් යළි ප්‍රාණවත් කිරීමෙන් සහ පිබිදවීමෙන් බව එතුමා පෙන්වා දෙයි.

"තමන්ට වෙනසක් ඇති කල හැකි බවට බොහෝ දෙනෙක් ප්‍රතිඥා දෙති. අලුත් ආරම්භයක්, අති විශාල පුබුදුවක් ඇති කිරීමට තමන්ට හැකි බව ඔවුහු පවසති. එහෙත් යථාව වෙනස් කිරීමට ගන්නා කිසිදු මනුෂ්‍ය ප්‍රයත්නයකට මිනිස් හදවත පූර්ණ වශයෙන් සෑහීමට පත් කළ නොහැකි බව අපි අත්දැකීමෙන් දනිමු. ...පූර්ණ වෙනසක් සිදුකළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණි. එහෙත් උන්වහන්සේ ගෙන එන වෙනස වෙනත් ආකාරයේ වෙනසකි. එනම්, එය අප වටා ජීවිතය විපර්යාසයට පත් කරන්නක් නොවේ. එය අපගේ හදවත් තුළ ඇති කරන විපර්යාසයකි."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඊයේ (මැයි 20 ) පැවැත්වුණු ශුද්ධාත්ම ආගමන මංගල්‍ය දින දිව්‍ය  පූජාවේ ධර්ම දේශනාව කරමිනි. වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී අතුමා මෙම දිව්‍ය පූජාව සිදු කළේය. එතුමා ගේ ධර්ම දේශනාවට පදනම් වූයේ එදින  ජනවන්දනාවේ පළමුවැනි කියවීම වූ අපෝස්තුලු වරුන් ගේ ක්‍රියා පොතේ එන දේවමාතාවන් හා අපොස්තුළුවරුන් මත ශුද්ධාමයානන් වැඩම කිරීමේ සිද්ධියයි.

ශුද්ධාත්මයාණන් ගෙන එන මෙම වෙනස අපගේ සියලු ප්‍රශ්න හා ගැටළු ඉවත් නොකරන බව එතුමා පෙන්වා දුන්නේය. "එහෙත් එම වෙනස එම ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා අභ්‍යන්තරයෙන් අප නිදහස් කරයි. එම වෙනස අපට සෑම දෙයක්ම ලබා නොදෙයි. එහෙත් ජීවිතය ගැන වෙහෙසට, කලකිරීමට පත් නොවී, ආත්ම විශ්වාසයෙන් ඉදිරියට ගමන් කිරීමට අප ශක්තිමත් කරයි. ආත්මයාණෝ අපගේ හදවත් යෞවනත්වයට පත් කරති" යි එතුමා කියා සිටියේය.

"කිතුනු  ඔබගේ ජීවිතය තුළ වෙනසක් අවශ්‍ය නම්, ශුද්ධාත්මයානන් වහන්සේට යාච්ඥා කරන්න" සුදොතුම් පියතුමා උපදෙස් දුන්නේය. "අප අතරින් කාටද වෙනසක්  අනවශ්‍ය? විශේෂයෙන් ම අප අධෛර්යයට පත් වූ විට, දුර්මුඛ වූ විට, ජීවිතයේ අනේක බර නිසා වෙහෙසට පත්වූ විට, අපගේ ම දුර්වලතා විසින් පීඩනයට පත් කරනු ලැබූ විට, තවත් දුර ගමන් කල නොහැකි බව ද ආදරය කිරීම කල නොහැකි බව ද පෙනී යන අවස්ථා වල...මෙවැනි අවස්ථාවල දී ආත්මයාණන් ගේ බලවත් 'කම්පනයක්' නොහොත් උන්වහන්සේ ගේ යළි ප්‍රාණවත් කිරීමක් අපට අවශ්‍ය වෙයි. ...විශ්වාස ලක්ෂණයේ ශුද්ධාත්මයාණන් 'ජීවන දායකයාණන්' ලෙස අප  හඳුන්වන්නේ මේ නිසයි" යයි එතුමා පෙන්වා දුන්නේය.

ශුද්ධාත්ම 'කම්පනය' තුළ දවස ආරම්භ කරන්නැයි සුදොතුම් පියතුමා කිතුනු ජනතාවට උපදෙස් දුන්නේ ය. "සෑම දිනෙකම අප සැම කෙනෙකුටම (ශුද්ධාත්මයාණන්  ගේ ) මෙම කම්පනය දැනිය හැකි නම් කෙතරම් යහපත් ද? සෑම දිනෙකම  උදාසන අප අවදි වූ විට 'ශුද්ධාත්මයාණනි, වැඩම කලමැනව; මගේ හදවතට වැඩිය මැනව. මගේ දවසට වැඩිය මැනව' යි කිව හැකි නම් කෙතරම් අගනේ ද?"

"සුළඟ පරිසරයට විවිධ වෙනස් කම් රැගෙන එයි. සීතල වූ විට උණුසුමත්,දැඩි  උණුසුම ඇති  විට සිසිලත් සුළඟ ගෙන එයි. ශුද්ධාත්මයානන් ද එසේය. විවිධ මට්ටම වල අවශ්‍ය වෙනස උන්වහන්සේ  ගෙන එන සේක. ලෝකය වෙනස් කරන දිව්‍ය බලවේගය උන්වහන්සේ ය" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය. 

(සේයාරුව: ඇමෙරිකාවේ සාන්ත ජෝසප් සොයුරියක වන මේරි සෞත්හාර්ඩ් සොයුරිය ගේ "Illumination" හෙවත් "ප්‍රදීපනය" නමැති චිත්‍රය. උපුටා ගැනීම National Catholic Reporter වෙබ් අඩවියෙනි.)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය