"මැයි මාසය පුරා ලෝක සාමය වෙනුවෙන් ජපමාලය යදින්න මා සමග ආධ්‍යාත්මිකව එක් වන්න" - සුදොතුම් පියතුමා කතෝලික ඔබට ආරාධනා කරයි

Pope Francis wants you to join him in praying the rosary for peace in the month of May  

සුදොතුම් පියතුමා පාතිමාවේදී 

(2018 මැයි 1)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මැයි 1 දා)  ජනතා ගෞරවයට පත් රෝමයේ 'දිව්‍ය ප්‍රේමයේ අප මෑණියන්' ගේ සිද්ධස්ථානයට ගියේය. එතුමා එහි ගියේ වැදගත් ආධ්‍යාත්මික අභ්‍යාසයකට ය. එනම් එහි පැමිණෙන වන්දනාකරුවන් හා එක්ව ලොව යුද ගිණි ඇවිලී ඇති ප්‍රදේශවලට - විශේෂයෙන්ම සිරියාවට - සාමය පතා ජපමාලය යාච්ඥා කිරීමටය. 

මල් මාසය ලෙසද කතෝලිකයන් හඳුන්වන මැයි මාසය තුළ මරිය මව මලින් සරසා ජපමාලය යදින විට අද ලෝකයට අත්‍යවශ්‍ය විශේෂ අදහසක් වෙනුවෙන් එය ඔප්පු කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පසුගිය ඉරිදා (අප්‍රේල් 29) පාස්කු සමයේ තුන්කාල ආරාධනා යැදුම අවස්ථාවේ ලොව පුරා කතෝලික ජනතවගෙන් ඉල්ලා සිටියේය. මේ මාසයේ තමා ජපමාලය ඔප්පු කරන්නේ ලෝකයේ සාමය වෙනුවෙන් බව එතුමා පැවසුවේය. විශේෂයෙන්ම වසර පහකට අධික කාලයක් යුදගින්නෙන් විනාශවෙමින්, පන්ලක්ෂයකට අධික ජනතාවක් මරුමුවට පත් කොට, මිලියන ගණනාවක ජනතාවක් සරණාගත කර ඇති සිරියාව වෙනුවෙනුත්, නයිජීරියාව සහ කොරියාව යන රටවල් ඇතුළු ලොව පුරා සෑම රටකම සාමය වෙනුවෙනුත් තමා මේ මාසය පුරා යාච්ඥා කරන බව එහි රැස්වී සිටි වන්දනාකරුවන් අමතමින් එතුමා කීවේය. මේ නිසා මේ මාසය පුරා ලෝක සාමය වෙනුවෙන් ජපමාලය යදිමින් තමන් හා ආධ්‍යාත්මිකව එක්වන ලෙස එතුමා කතෝලික ජනතාවට ආරාධනා කළේය.

මෙය ආරම්භ කරමින් මැයි පළමුවනදා ජපමාලය යැදීමට රෝමයේ ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන දිව්‍ය ප්‍රේමයේ අප මාතාවන් ගේ (Our Lady of Divine Love -Madonna del Divino Amore ) සිද්ධස්ථානයට සුදොතුම් පියතුමා ගියේය.

එහි ඇති දෙව්මැදුරු දෙකෙන් එතුමා යාච්ඥා කිරීම සඳහා ගියේ 18 වැනි සියවසට අයත් කුඩා දෙව්මැදුරටය. එහිදී මෙම දෙව්මැදුරේ සේවාව කරන 'දිව්‍ය ප්‍රේමයේ අප මෑණියන් ගේ දියණියෝ' (Daughters of Our Lady of Divine Love ) නිකායේ සොහොයුරියන් විසින් මෙදින තේමාව ඉදිරිපත් කෙරිණි. එනම්, "දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධයෙන් දුක් විඳින අප දයාබර සිරියාවෙන් පටන්ගෙන, සමස්ත ලෝකය පුරා සාමයේ ඵල ඇති කරන ලෙස ඉල්ලා අද අපි කන්නලව් කරමු" යන්නයි.

ඉන් පසුව සුදොතුම් පියතුමා දෙව්මැදුරේ සිටි වන්දනාකරුවන් සමග ජපමාලය යාච්ඥා කළේය. එම කුඩා දෙව්මැදුර තුළ 100ක පමණ වන්දනාකරුවන් පිරිසක් සිටි අතර විශාල දෙව්මැදුරේ සහ ඊට පිටතින් සිටි විශාල පිරිසක් ද ඊට එක්වූහ. වැඩිහිටියන් සේම ළමා පිරිසක් ද ජපමාලය මෙහෙයවූහ.ජපමාලයෙන් පසු "මංගල්‍යස්තු රාජෙශ්වරිනි" යැදුම ගායනා කිරීමෙන් අනතුරව  සාම්ප්‍රදායික දේව මාතා ප්‍රාර්ථනාව ඔප්පු කෙරිණි.

මෙහිදී සුදොතුම් පියතුමා දේශනාවක් හෝ කතාවක් පැවැත්වූයේ නැත.

සිද්ධස්ථානයේ ඉතිහාසය 

දිව්‍ය ප්‍රේමයේ අප මාතාවන් ගේ සිද්ධස්ථානයට මුල පිරුණේ 13 වන සියවසට අයත් නගර ද්වාරයක එක් කුළුනක තිබූ මරිය මෑණියන් සහ ජේසු බිලිඳුන් ගේ බිතු සිතුවමකිනි. මෙම බිතු සිතුවම එම ගමේ බැටළු එඬේරුන්  අතර මහත් ආදරයට හා ප්‍රසිද්ධියට පත්ව තිබිණි. ඔවුන් එහි රැස්වී ජපමාලය යාච්ඥා කල බව ජනප්‍රවාදවල කියැවේ. 1740 දී මේ ද්වාරය ඔස්සේ රෝමයට  යමින්  සිටි වන්දනාකරුවෙක් බල්ලන් ගේ සපාකෑමට ලක්ව බරපතල තුවාල ලැබුවේය. ඔහු සුවය ඉල්ලා මෙම බිතු සිතුවම ඉදිරියේ යාච්ඥා කල අතර  ඔහු සම්පුර්ණ සුවය ලැබුවේය. ඉන් පසු වන්දනාකරුවෝ විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණියහ.

මෙම සිතුවම යළිත් ගෞරවයට පත්වූයේ දෙවන ලෝක යුද්ධ සමයේය. ඒ වන විට රෝමය අවට දරුණු ලෙස යුද ගිනි ඇවිලෙමින් තිබුණේය. නාසි හමුදා කොයි මොහොතක හෝ රෝමය නතුකරගනු ඇති බවට බිය පැතිර ගියේය. මේ තත්වය මැද 12 වන  පියුස් පියතුමා තවත්  දහස් සංඛ්‍යාත පිරිසක් සමග දිව්‍ය ප්‍රේමයේ අප මෑණියෝ බිතු සිතුවම ඉදිරිපස  රැස්වී රෝමය සතුරාගෙන් බේරා දෙන ලෙස ඉල්ලා යාච්ඥා කලහා.

ඉන් දින කිහිපයකට  පසුව නාසි හමුදා පරදා  මිත්‍ර හමුදා රෝමයට අතුලු වූහ. නාසි ආක්‍රමණයකින් රෝමය ගැලවින.

1944 ජුනි 11 වනදා 12 වන පියුස් පාප් වහන්සේ  මරිය මෑණියන්ට ස්තුති කිරීමට යලිත් එම සිද්ධස්ථානයට පැමිණියහ. දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් එක්වූ මෙම මෙහෙයේදී පාප් වහන්සේ දේව මෑණියන්ට නව ගෞරව නාමයක් පුද කළේය. එනම් "නගරය ගැළවූ කාන්තාව" ( Salvatrice dell’Urbe - "She who saves the city") යන්නයි.

මෙම ස්ථානයේ තිබුනේ කුඩා පල්ලියකි. දැන් එහි පවතින දෙවැනි විශාල දෙව්මැදුර ගොඩනගන ලද්දේ 1999 දී ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය