වතිකානයේ ප්‍රබලම දෙපාර්තමේන්තුවට ගිහි කාන්තාවන් තුන් දෙනෙක් - සභාවේ කාන්තා නියෝජනය සම්බන්ධ තවත් ඓතිහාසික 'එකක්'

Three women appointed as consultants to the Congregation for the Doctrine of the Faith - Another historical first by Pope Francis

සුදොතුම් පියතුමා කාන්තාවක් ආසිරි ගන්වමින් - Christian Today වෙබ් අඩවියෙනි 

(2018 අප්‍රේල් 22)
වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ උපදේශක මණ්ඩලයට ගිහි කාන්තාවෝ තිදෙනෙක් පත්කෙරෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  විසින් මෙම පත්වීම් සිදුකරන ලද බව වතිකානය ඉකුත් සෙනසුරාදා (අප්‍රේල් 21) ප්‍රකාශ කළේය. සභාවේ සහ ශුද්ධාසනයේ ඉහලම පරිපාලන ව්‍යුහය වන රෝම කියුරියාව තුළ  කාන්තා භූමිකාව ප්‍රවර්ධනය කිරීමට සුදොතුම් පියතුමා ගන්නා ප්‍රයත්නයේ තවත්  පියවරක් ලෙස  මෙම පත්වීම්  සිදුකර ඇති බවද වතිකානය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

C.D.F. යන කෙටි නමින් හැඳින්වෙන (Congregation for the Doctrine of the Faith) විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදයේ උපදේශිකාවන් ලෙස පත් කරනු ලැබ ඇති කාන්තාවන් වන්නේ  ආචාර්ය ලින්ඩා ඝිසෝනි, මහාචාර්ය මිචෙලිනා ටෙනස් සහ මහාචාර්ය ලැටීෂියා කැල්මේන් යන තිදෙනාය. මේ අතරින් දෙදෙනෙකු ඉතාලි ජාතිකයන් වන අතර තෙවැන්නිය බෙල්ජියන් ජාතිකයෙකි. ඔවුන් සමග රෝමයේ ග්‍රෙගෝරියාන  විශ්ව විද්‍යාලයේ දේවධර්මය පිලිබඳ මහාචාර්ය සර්ජියෝ පවොලෝ බොනිනි  සහ රෝමයේ ලැතෙරාන විශ්ව විද්‍යාලයේ සිවිල් නීතිය සහ සභා නීතිය යන ද්විත්ව ආයතන වල ප්‍රධානී ක්ලැරේසියාන නිකායික මැනුවෙල් හේසුස් ඇරෝබා යන පියවරු දෙදෙනා ද මෙම පර්ෂදයේ උපදේශක මණ්ඩලයට පත් කරනු ලැබ සිටිති.

වතිකාන පර්ෂද (congregations) සහ සසුන් පිය මන්ත්‍රණ සභා (pontifical councils) යන දෙපාර්තමේන්තුවල උපදේශක මණ්ඩල පත්කරනු ලබන්නේ සුදොතුම් පියතුමන් විසිනි. රෝම කියුරියාවේ උපදේශකයකුගේ කාර්ය භාරය වන්නේ විසඳීමට ඇති ගැටළුවක් හෝ අධ්‍යයනයක් සම්බන්ධයෙන් උපදෙස් දීම සහ මත දැක්වීමයි. අදාළ ප්‍රශ්නය හෝ අධ්‍යයන මාතෘකාවට අදාළ දිග පළල, ගැඹුර, සහ අවධානය යොමු කල යුතු කේන්ද්‍රය  පෙන්වා දීම උපදේශකයකු ගෙන් අපේක්ෂා කෙරේ.

විශ්වාස ධර්මය පිලිබඳ වතිකාන පර්ෂදය ((Congregation for the Doctrine of the Faith-C.D.F.) සැලැකෙන්නේ රෝම කියුරියාවේ බලවත්ම දෙපාර්තමේන්තුව ලෙසයි. විශ්වාස ධර්මය හා වේද සත්‍යතා සම්බන්ධයෙන් දේවධර්ම ශාස්ත්‍රවේදීන් විසින් ලියනු ලබන පත පොත, ලිපි හෝ දක්වනු ලබන මත ගැන අදහස් විමසීමට C.D.F. පර්ෂදයේ උපදේශකයෝ නිතර කැඳවනු ලබති. මේ අනුව විශ්වාස ධර්මයට පටහැනි යයි සැලකෙන මත දක්වන පුද්ගලයන්ට එරෙහිව සසුන් නීතිය අනුව දඬුවම් කිරීමටද, ඇතැම් විට ඔවුන් සභාවෙන්  නෙරපා හරින ලද්දන් ලෙස ප්‍රකාශ කිරීමේ බලය ද මෙම පර්ෂදයට පැවරී තිබේ. මෙම ප්‍රබල පර්ෂදය පිහිටුවන ලද්දේ 1542 දී තුන් වන පාවුළු පාප් වහන්සේ විසිනි. "කතෝලික ලෝකය පුරා විශ්වාසීය ධර්මය  ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමත් සභා සම්ප්‍රදාය ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමත්" මෙම පර්ෂදයේ කාර්යභාරය ලෙස නම් කරමින් ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ 1998 දී එහි භූමිකාව යළි නිර්වචනය කළහ. සාම්ප්‍රදායිකව මෙම පර්ෂද වලට පත්කරන ලද්දේ පිරිමින් පමණි.

මෙම පසුබිම සැලකිල්ලට  ගත් කල C.D.F පර්ෂදයේ උපදේශක මණ්ඩලයට කාන්තවන් තිදෙනෙකු පත් කිරීම "ඓතිහාසික තීරණයක්" බව වතිකානයේ පලවන L’Osservatore Romano පුවත්පත කියා සිටියේය. මෙය වඩාත් වැදගත් වන්නේ එම කාන්තාවන් පැවිදිවරියන් නොව ගිහි කාන්තාවන් වීම නිසාය.

සුදොතුම් පියතුමන් විසින් පත් කරනු ලැබූ  එක් උපදේශිකාවක් වන ආචාර්ය ලින්ඩා ඝිසෝනි මේ වනවිටත් වතිකානයේ ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ දෙපාර්තමේන්තුවේ හිහියා පිලිබඳ කාර්යාලයේ උප ලේකම්වරිය ලෙස සේවය කරයි. මෙම තනතුර අනුව ගිහියා පිලිබඳ කාර්යාලයේ ප්‍රධානියා ඇය ය.  2017 නොවැම්බර මාසයේ ඇය එම තනතුරට පත්කළේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමායි. විවාහක කාන්තාවක හා දූ වරුන් දෙදෙනෙකුගේ මවක් වන ඇය දර්ශනය, දේවධර්මය යන විෂයයන් සඳහා උපාධි ලබා ඇති අතර සසුන් නීතිය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ රෝමයේ ග්‍රෙගෝරියාන සරසවියෙනි. පසුව ඈ එම සරසවියේම සසුන් නීතිය පිලිබඳ ආචාර්යවරියක ලෙස කටයුතු කල අතර වතිකානයේ එක් උසාවියක් වන රෝම රෝටාවේ තනතුරු කිහිපයක සේවාව කලාය.

මහාචාර්ය මිචෙලිනා ටෙනස් ප්‍රංශ විශ්ව විද්‍යාලයේ දර්ශන උපාධිධාරිනියකි. පසුව රෝමයෙන් දේවධර්ම උපාධි ලැබූ ඇය ග්‍රෙගෝරියාන විශ්ව විද්‍යාලයෙන් දේවධර්මය පිලිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තාය. ඇය එම සරසවියේම දේවධර්මය සහ පෙරදිග ක්‍රිස්තියානි ධර්මය යන විෂයයන් පිලිබඳ ආචාර්ය වරියකි.

බෙල්ජියමේ උපන් ලැටිෂියා කැල්මේන් සහන වෛද්‍ය (palliative medicine) හෙදියක ලෙස සේවය කරන අතර ඇය කැපවුණු ගිහි  කන්‍යා සොයුරියකි. එසේම දේවධර්මය පිලිබඳ මූලික උපාධිය බ්‍රසල්ස් නුවරින් ලබාගත් ඇය රෝමයේ දෙවැනි ජුවාම් පාවුළු විශ්ව විද්‍යාල විද්‍යායතනයෙන් ඒ පිලිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තාය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය