"අපේ තාත්තා අදේවවාදියෙක්. එයා දැන් ස්වර්ගයේ ඇතිද?" පුංචි කැකුලු මලක් අඬමින් සුදොතුම් පියතුමාගෙන් අසයි (වීඩියෝ)

"My dad was a nonbeliever. Is he in heaven?" Little boy asks pope


(2018 අප්‍රේල් 21)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයේ රදගුරු තුමා ලෙස එම පදවියේ මීසම් බැහැදකින්නට යාම සාමාන්‍ය සිද්ධියකි. එලෙස සුපුරුදු ලෙස පසුගිය සතියේ එතුමා රෝමයේ තදාසන්න ප්‍රදේශයක ඇති කුරුසියේ ශාන්ත පාවුළු (St. Paul of the Cross) මීසම බැහැදකින්නට ගියේය.

මීසමේ ඇති ගරාවැටෙමින් පවතින නිවාස සංකීර්ණයක් වටා යමින් මීසම් වාසීන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ආසිරි ගන්වමින් ගිය එතුමා ඉන් පසුව තමන් බොහෝ සේ සිත් ගත් කාර්යයක  නියැලුණේය. එනම් මීසමේ දරුවන් සමග ආධ්‍යාත්මිකව සුන්දර හෝරාවක් ගත කිරීමයි. මේ මීසමේ දී එම කාලය අතිශයින් භාවාත්මක එකක් වූයේය. මෙහිදී එම දරුවෝ "ඔබ පාප්තුමන් ලෙස තේරී පත්වූ විට ඔබට මොනවද සිතුනේ?" වැනි සුපුරුදු ප්‍රශ්න සුදොතුම් පියතුමාගෙන් ඇසූහ.

ඊළඟට ආවේ එමානුවෙල් ගේ වාරයයි. ඔහු සුදොතුම් පියතුමා සමග සිනාසෙමින් මයික්‍රොපෝනය වෙත පැමිණියේය. ඔහු සිය ප්‍රශ්නය අසන්නට උත්සාහ ගත්තේය. සැනෙකින් එය අසන්නට නොහැකිව ගල් ගැසුනේය. ඔහු සිය හිස දෙපසට සෙළවුයේය.

"බැහැ. මට ඒක අහන්න  බැහැ..." ඔහු මයික්‍රොපෝනය වෙතින් ඉවත්වන්නට සැරසෙමින් කීවේය. "කමක් නැහැ පුතේ, ප්‍රශ්නය අහන්න" යි  සුදොතුම් පියතුමා ගේ සහායකයකු වන ලියොනාඩෝ සපියෙන්සා පියතුමා දරුවා දිරිගන්වන්නට උත්සාහ කළේය. "බැහැ. මට බැහැ." එමානුවෙල් කිහිප විටක් කීවේය.එසේ කියමින් ඉකිගසන්නට පටන් ගත්තේය.

එවිට ඔහුට ඇසුණේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෘදු කට හඬය.

"එන්න, එමානුවෙල්. මා ලඟට එන්න. ඔයාගේ ප්‍රශ්නය මගේ කණට කොඳුරලා කියන්න". දරුවා හඬමින් සුදොතුම් පියතුමා වෙත ගියේය. සපියෙන්සා පියතුමා සුදොතුම් පියතුමා වෙත යන්නට ඔහුට උදව් කලේය.

එතුමා අසලට වැදුණු  එමානුවෙල්  එතුමා  ගේ ලය මත මුහුණ සඟවා ගෙන ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තේය. සුදොතුම් පියතුමා ඔහු සිය දෑතින් ආවරණය  කරගෙන වැළඳ ගත්තේය; ඉතා සෙමින් කතා කරමින් ඔහුගේ හිස අතගා සැනසුවේය. ඊලඟට දෙදෙනා  පෞද්ගලිකව රහසින් අදහස් හුවමාරු කරගන්නා අයුරු දක්නට ලැබිණි. ටික මොහොතකින් එමානුවෙල් යාළුවන් අතර සිය අසුන වෙත ගියේය.

"අපේ හදවතේ වේදනාවක් හටගත්තාම අප හැමෝටම එමානුවෙල් වගේ අඬන්නට පුළුවන් වුනා නම්...." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හැඟුම් බර මුහුණින් යුතුව කියා සිටියේය. "ඔහු ඇඬුවේ ඔහුගේ තාත්තා වෙනුවෙන්. අප හැමෝම ඉදිරියේ ඔහුට එහෙම අඬන්න ධෛර්යය ලැබුණේ, ඔහුගේ හදවතින්ම ඔහු තාත්තාට ආදරේ නිසා...."

සිය ප්‍රශ්නය මීසම් වාසීන් සහ යහළුවන් සමග බෙදා ගැනීමට එමානුවෙල් තමාට අවසර දුන් බව සුදොතුම් පියතුමා කීවේය.

"එමානුවෙල් ගේ ප්‍රශ්නය මේකයි: 'ටික දිනකට කලින් මගේ තාත්තා මිය ගියා. එයා දෙවියන් විශ්වාස කල කෙනෙක් නොවේ. (අදේවවාදියෙක්). ඒත් එයා  අපි හතරදෙනාටම ප්‍රසාද ස්නාපනය ලබා දුන්නා. එයා හොඳ කෙනෙක්. අපේ තාත්තා හොඳයි. ඉතින් අපේ තාත්තා ස්වර්ගයේ ඉඳීවිද....?'"  

සුදොතුම් පියතුමා තත්පර කිහිපයකට නිහඬ විය.

"'අපේ තාත්තා හොඳයි.' පුතෙක් එයාගේ තාත්තා ගැන එහෙම කියනවා අහන්න ලැබෙන එක කොච්චර ලස්සනද? " එතුමා  එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීවේය. " ඒ වගේම, මේ පුතාට අප සියල්ලන් ඉදිරියේ හඬන්නට තරම් ධෛර්යයක් තිබුණා. එය  තාත්තාගේ ශක්තිය උරුම කරගත් පුතෙකු සිය තාත්තා වෙනුවෙන් ඉදිරිපත් කරන කෙතරම් ප්‍රබල, සුන්දර සාක්ෂියක් ද? තම දරුවන් මේ ආකාරයෙන් හදන්නට එම තාත්තාට හැකියාවක් තිබුනා නම්, එහෙනම්, ඒ කතාව ඇත්තක්. එනම් ඒ තැනැත්තා යහපත්  කෙනෙක්."

"එම තැනැත්තා තුළ ඇදහිල්ලේ තිළිණය තිබුනේ නැහැ. ඔහු විශ්වාසිකයෙක් නොවේ. එහෙත් ඔහු සිය දරුවන් ප්‍රසාද ස්නාපනය කළා. එනම්, ඔහුට යහපත් හදවතක් තිබුණා." එතුමා කීවේය.

"ස්වර්ගයට යන්නේ කවුදැයි තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණයි" මඳ නිහැඬියාවකින් පසු එතුමා අවධාරණය කළේය.

මේ හැඳින්වීම අනුව එමානුඑල් ගේ  ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා දෙවියන් වහන්සේ කෙබඳු කෙනෙක් දැයි  ඊළඟට විමසා බැලිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.
"දෙවියන් වහන්සේට තිබෙන්නේ කෙබඳු හදවතක්ද ? උන්වහන්සේට තිබෙන්නේ කෙබඳු හදවතක් කියාද ඔබ සිතන්නේ?  පියෙකු ගේ හදවතක්. දෙවියන් වහන්සේට තිබෙන්නේ තාත්තා කෙනෙකුගේ හදවතක්. ඉතින් තමන් දෙවියන් විශ්වාස නොකළ, එහෙත් තම දරුවන්ට ප්‍රසාද ස්නාපනය දානය කල  තාත්තා කෙනෙක්, ඒ වගේම සිය දරුවනට යහපත් ලෙස සැලකූ තාත්තා කෙනෙක්, තම දරුවනට මේ කුසලතා ලබා දුන් තාත්තා කෙනෙක්, දෙවියන් වහන්සේ තමන් වෙතින් ඈත්කර තබාවි කියා ඔබ සිතනවා ද?... ඔබ කියන්න. දෙවියන් වහන්සේ එසේ කරාවිද?"

"නෑ ..." එහි සිටි දරු දැරියෝ කෑ ගසා පිළිතුරු දුන්හ.

"දෙවියන් වහන්සේ සිය දරුවන් අත්හැරදමාවි ද? තම දරුවන් යහපත් වෙද්දී උන්වහන්සේ එම දරුවන් අත්හැරදමාවි ද?" සුදොතුම් පියතුමා යළිත් ඇසුවේය.

"නෑ ...." දරුවෝ පිළිතුරු දුන්හ.

"අන්න. එමානුඑල්. ඒකයි උත්තරේ" සුදොතුම් පියතුමා ඉකි ගසා හැඬු පුංචි කැකුළු මලට කීවේය. "නිසැක වශයෙන්ම දෙවියන් වහන්සේ ඔයාගේ තාත්තා ගැන ආඩම්බර වෙන්නට ඇති. මන්ද, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කෙනෙක් සිය දරුවන්ට  ප්‍රසාද ස්නාපනය ලබා දීම, විශ්වාස නොකරන කෙනෙක් එසේ කිරීමට වඩා පහසුයි. මේ නිසා නිසැකයෙන්ම මේ ක්‍රියාව ගැන දෙවියන් වහන්සේ ඔයාගේ තාත්තා ගැන බොහෝ  ප්‍රසන්න වන්නට ඇති...." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්වාසයෙන් යුතුව කීවේය.

ඊළඟට එතුමා එමානුඑල් දිරිගන්වමින් තවත් සුන්දර උපදේශයක් දුන්නේය:

"ඉතින්, එම්මානුඑල්, ඔයාගේ තාත්තාට කතා කරන්න. ඔයාගෙ තාත්තාට යාච්ඥා කරන්න." 



මීට කළින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චාර්ලොටා නම් දැරිය නැගූ ඊට සමාන තවත් ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේය.

"අප ප්‍රසාද ස්නාපනය ලැබූ විට අප දේව දරුවන් වෙනවා. ප්‍රසාද ස්නාපනය නොලැබූ අය දේව දරුවන් වන්නේ නැතිද?" ඇය ඇසුවාය.

"ඔබේ හදවත ඔබට කියන්නේ මොකක්ද?" සුදොතුම් පියතුමා ඇයගෙන් ඇසුවේය.

"මම හිතන්නේ ඒ අයත් දේව දරුවන් කියලා..." චාර්ලොටා කීවාය.

"ඔබ නිවැරදියි. මම විස්තර කරන්නම් ඊට හේතුව" සුදොතුම් පියතුමා විස්තර කළේය.
"අපි සියල්ලෝම දේව දරුවෝ. සෑම කෙනෙක්ම. සෑම කෙනෙක්ම. ප්‍රසාද ස්නාපනය නොලැබූ අය, වෙනත් ආගම් අදහන අය ...බොරු දේවතාවන්ට වන්දනා කරන අය  සියල්ලෝම දේව දරුවන්.ඒ පමණක් නොවේ. මේ මීසම අවට සිටින ජනතාව ත්‍රස්තවාදයෙන්  බියගන්වන මාෆියාකාරයින් පවා .. දේව දරුවන්. වෙනස ඒ අය යක්ෂයාගේ දරුවන් ලෙස ජීවත් වීමට වැඩි කැමැත්තක් දැක්වීමයි..."

"අප සෑම කෙනෙකුටම ජීවිතය දුන්නේ දෙවියන් වහන්සේයි. අප සෑම කෙනෙකුටම ආදරය කරන උන්වහන්සේ අපගේ හදවත තුළට හර්දය සාක්ෂියක් ඇතුළුකලා. උන්වහන්සේ එසේ කලේ යහපත් දේ හඳුනාගෙන එය අයහපත් දේ අතරින් වෙන්කර ගැනීමේ හැකියාව ලබා දීම සඳහායි."

"වෙනස මෙයයි: ඔබ ප්‍රසාද ස්නාපනය ලැබූ අවස්ථාවේ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබගේ හර්දය සාක්ෂියට ඇතුළු වී, දෙවියන් වහන්සේට ඇති අයිතිය යළි තහවුරු කළා. ඒ අර්ථයෙන් ගත්විට, එක අතකින් ඔබත් සෙසු අය වගේම දෙවියන් වහන්සේ ගේ දරුවෙක්, ඒ වගේම ශුද්ධාත්ම බලයෙන් ලැබුණු ශක්තිය තුළ ඊටත් වඩා වැඩි දරුකමක් ඔබ තුළ තිබෙනවා" චාර්ලොටාට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කියා සිටියේය. .



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය