"මවිතය, කඩිනම සහ ප්‍රශ්නය: උත්ථානයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?" - සුදොතුම් පියතුමා පාස්කු ඉරිදා අසයි

"What is your response to the resurrection?" Pope Francis asks on Easter Sunday 

ඕලන්දයේ වසන්ත මලින් සැරසුණු සාන්ත පීතර චතුරශ්‍රය තුළ සුදොතුම් පියතුමන් පාස්කු ඉරිදා දිව්‍ය පූජාව ඔප්පු කළා 

(2018 අප්‍රේල් 1. පාස්කු ඉරිදා)
දෙවියන් වහන්සේ සිය ප්‍රකාශනයන් (දැනුම් දීම්) සිදුකරන්නේ සිය ඉලක්ක ග්‍රාහකයා මවිතයට පත්කරමින් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.ආබ්‍රහම් තුමාගේ සිට ගැලවීමේ ඉතිහාසය පුරා මෙය දකින්නට ලැබේ. එම දැනුම් දීම ලබන ග්‍රාහකයා කිසිවක් ප්‍රශ්න නොකොට වහාම - ලහි ලහියේ - එම ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වන බව එතුමා පෙන්වා දෙයි. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීමේ ආරංචිය ප්‍රකාශ කරන ලද්දේ ද උන්වහන්සේ ගේ සමීපතම ශ්‍රාවකයන් මවිත කරමිනි. එහෙත් මෙම මවිතයත්, කම්පනයත් තුළ, ඔව්හු ඉතා කඩිනමින් ඊට ප්‍රතිචාර දැක්වූහ.

"එහෙත් අද ජීවත් වන ඔබ ක්‍රිස්තු උත්ථානයේ ප්‍රීතිමත් සුබාරංචියට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? " මෙම ප්‍රශ්නය තමන්ගෙන් විමසන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එතුමා  මෙම ආරාධනය කලේ පාස්කු ඉරිදා උදාසන පාස්කු මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම  දේශනාව කරමිනි. මාර්තු 31 සෙනසුරාදා රාත්‍රියේ සාන්ත පීතර බැසිලිකාව තුළ, නව ගින්දර සහ  ජලය ආශීර්වාද කිරීම සහ ගැලවීමේ ඉතිහාසය ඇතුළත් දේව වචනයේ ජන වන්දනාව ඇතුලත් පාස්කු පූර්ව රාත්‍රී දිව්‍ය පූජාව පැවැත්වූ එතුමා ඉරිදා උදාසන දිව්‍ය පූජාව පැවැත්වූයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දීය.

දිව්‍ය පූජාව පවත්වන ලද පුදසුන හා හාත්පස සුන්දර වසන්ත මලින් සරසා තිබිණ. සාම්ප්‍රදායික අයුරින්   මේ වසරේ ද මෙම මල් වතිකානයට එවනු ලැබ  තිබුනේ වසන්ත මල් වලට ප්‍රසිද්ධ ඕලන්දයේ මල් කරුවන් විසිනි.

සාමාන්‍යයෙන් දිව්‍ය පූජාවේ දේශනාව සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිටපතක් භාවිත කරන නමුදු මෙදින එතුමා දේශනා කලේ පිටපතක් නොමැතිවය. මෙය එතුමා ගිය වසරේ පාස්කු ඉරිදා ආරම්භ කල සම්ප්‍රදායකි.

එම පණිවිඩය ඇතුළත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ  පාස්කු ඉරිදා ධර්ම දේශනය සම්පූර්ණයෙන් මෙසේය: 

"සුබ අස්නේ මෙම කොටසට සවන් දීමෙන් පසුව කාරණා තුනක් ගැන ඔබගේ අවධානය යොමු කරන්නට මම කැමතියි.

ප්‍රථමයෙන් ප්‍රකාශනය; ආරංචිය: ස්වාමීන් වහන්සේ උත්ථාන වූ සේක.මෙම ප්‍රකාශනය පළමු කිතුනුවන් ගේ සිට අද  දක්වාම පිළිරැව් දෙනවා.පලමු කිතුනුවන් ගේ කාලයේ සිට ඔවුන් එකිනෙකාට සුබ පැතුවේ මෙසේයි: ස්වාමින් වහන්සේ උත්ථාන වූ සේක. 
සතියේ පළමු දිනයේ සමිඳුන් ගේ සිරුර ආලේප කිරීම කිරීමට ගිය ස්ත්‍රීන් විමතියකට මුහුණ දුන්නා විශ්මය. විමතිය. දෙවියන් වහන්සේ ගේ ප්‍රකාශන සෑමවිටම විශ්මයක්. විමතියක්. මන්ද අපේ දෙවියන් වහන්සේ විශ්මයේ දෙවිඳානන්  කෙනෙකු නිසයි. මේ නිසා, ගැලවීමේ ආරම්භයේ  සිට, 'යන්න. නැගිට මා  ඔබ යවන දේශයට යන්නැ'යි  ආබ්‍රහම් තුමාට පැවසූ තැන සිට, උන්වහන්සේ සිය ප්‍රකාශන දෙන තැනැත්තන් දිගින් දිගටම විමතියට පත් කරනවා. අප විමතියට පත් නොකර ප්‍රකාශනයක් කරන්නට, ආරංචියක් දෙන්නට දෙවියන් වහන්සේ දන්නේ නැහැ.  මේ ආරංචිය, ප්‍රකාශනය ඔබගේ හදවත සලිත කරනවා. සසල කරනවා. එම ආරංචිය ඔබව  ස්පර්ශ කරනවා. එය සිදුවන්නේ ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන අවස්ථාවකයි. එය ඔබ කම්පනය කරන විශ්මයක්. එය ඔබව සම්පූර්ණයෙන්ම කතා නොමැති තත්වයට පත් කරනවා. ඉතින්, මේ ආකාරයට පාස්කු ඉරිදා දෙවියන් වහන්සේගේ ප්‍රකාශනය මවිතයක්.

දෙවනුව වේගය. කඩිනම. ස්ත්‍රීන් දිව ගියා. "අපි මෙය දුටුවා" යයි කියන්නට ඔවුන්  කඩිනමින් ගියා. දෙවියන් වහන්සේගේ මවිතයන්, කල් බලමින් නොසිට අපව අපගේ මාර්ගයට, අපගේ ගමන් මගට වහාම යොමු කරනවා. ඉතින් ඔවුන් (ස්ත්‍රීන්) වහාම පේදුරු තුමන් සහ ජුවාම් තුමන් සොයා දුව යනවා. නත්තල් දින, ජේසු සමිඳුන් බෙත්ලෙහෙමේ උපන් දා රාත්‍රියේ, ගොපල්ලන් ජේසු බිලිඳුන් දකින්නට දුව යනවා. "මෙය අලුත් දෙයක්. මගේ ජීවිතයේ මා කල සෑම දෙයක්ම මට කී පුද්ගලයෙකු මට හමුවුනා" යැයි සිය ජනතාවට කියන්නට සමරිතාන ලඳ දුව යනවා. මේ සියලු පුද්ගලයන් තමන් කරමින් සිටින දේ පසෙක තබා දුව යනවා. මෙම මවිතය, ආරංචිය දකින්නට, මේ දුව යාම -කඩිනම - වැදගත්.  මෙය අපගේ ගම්මානවල, අසල්වාසියේ අදත් සිදුවෙනවා. යමක් සිදුවූ බව දැනගත් විට ජනතාව එය දකින්නට කඩිනමින් දුව යනවා. "අපට මෙසායා හමුවුනා" යයි කියන්නට අන්ද්‍රේ කඩිනමින් පේදුරු තුමන්  සොයාගෙන යනවා. එහෙත් මෙම ආරංචිය දකින්නට යුහුසුළු නොවන, ඒ සඳහා කල්ගන්නා තැනැත්තෙකුත්  සුපුවත තුළ සිටිනවා. ඒ තෝමස් අපෝස්තුලු තුමා. එහෙත් සමිඳාණන් ඉතා යහපත්. උන්වහන්සේ තෝමස් එනතෙක් ආදරයෙන් බලා සිටිනවා. "මා විශ්වාස කරන්නේ මා උන්වහන්සේගේ තුවාල දුටුවායින් පසුවයි" යයි කිවේ මේ තෝමස් තුමයි. නැගිට වහාම තමන් සොයා නොඑන ජනතාව ගැන සමිඳුන් ඉවසිල්ලෙන් බලා සිටිනවා.

තුන්වනුව තිබෙන්නේ ප්‍රශ්නයක්. ඉතින්, මා කොයි ආකාරද? මගේ ප්‍රතිචාරය කෙබඳුද? මගේ හදවත දෙවියන් වහන්සේ ගේ මවිතයනට විවෘතද? නැගිට කඩිනමින්, ලහි ලහියේ යන්නට මට පුලුවන්ද? නැතිනම්, එහිම සිට, 'මා හෙට යනවා' යි කියනවා ද? මවිතය මට දෙන පණිවිඩය කුමක්ද? ජුවාම්  තුමා සහ පේදුරු තුමා ...ඔවුන් ගල්ලෙන වෙත දුව ගියා.  'විශ්වාස කරන්න' යයි අද සුපුවතින් ජුවාම් තුමා අපට කියනවා. පේදුරු තුමාත් විශ්වාස කරනවා. ඒ එතුමන්ටම සුපුරුදු ආකාරයට. එතුමා තුළ විශ්වාසයත්, බ්‍රහස්පතින්දා රාත්‍රියේ සමිඳුන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව හටගෙන තිබූ වේදනාව සහ පසුතැවිල්ලත් මිශ්‍රව තිබුණා.

ඉතින්, මේ කාරනා තුන ගැන මෙනෙහි කරන්න: මවිතයක් ඇතිකොට, කඩිනමින් ගොස් බලන්නට පොළඹවන ආරංචිය (ප්‍රකාශනය) සහ ප්‍රශ්නය: අද 2018 පාස්කුව සමරන  මා ගැන කුමක් කිව හැකිද? මා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? "

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය