දිව්‍ය පූජා සඳහා මුදල් ගැනීම ගැන සුදොතුම් පියතුමාගෙන් දැඩි විවේචනයක්: "දිව්‍ය පූජාව වෙනුවෙන් පියතුමන්ට සල්ලි ගෙවන්න එපා! එය සමිඳුන් ගේ ජීවිත පූජාවේ සැමැරුමයි; ගැලවීම ලැබෙන්නේ නොමිලේ !"

"You do not pay for the Mass! The Mass is Christ's sacrifice, which is free."-Pope says at the General Audience 



(2018 මාර්තු 09)
තම  මීසමේ විශ්වාසිකයන් වෙනුවෙන් හෝ ඔවුන් ප්‍රේම කරන ඥාතියකු හෝ මිතුරකු වෙනුවෙන් හෝ ඔවුන් ගේ ආත්ම වෙනුවෙන් දිව්‍ය පූජා ඔප්පු කිරීම සඳහා පුදැදුරුවරුන්  ජනතාවගෙන්  'ගෙවීමක්' ඉල්ලා සිටින සම්ප්‍රදාය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැඩි විවේචනයට ලක් කරයි. කතෝලිකයකු තමන් ප්‍රේම කරන කෙනෙකු වෙනුවෙන් ස්වකීය කැමැත්තෙන් පඬුරක් ලබා දීමෙහි වරදක් නොමැති නමුදු පූජා සඳහා මිලක් නියම කිරීම මෙන්ම මිලක් ගෙවීමද වරදක් බව එතුමා පෙන්වා දෙයි. දිව්‍ය පුජාව වූ කලී ජේසු සමිඳුන් ගේ ජීවිත පූජාවේ අනුස්මරණයයි. එයින් ගලා එන ගැලවීම නොමිලේ ලැබෙන්නක් බව එතුමා අවධාරණය කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මාර්තු 7 බදාදා පැවැති සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය පවත්වමිනි.

"කිසිදු මුදලක්! ඔබට තේරුනාද? කිසිදු මුදලක් දිව්‍ය පූජාව වෙනුවෙන් ගෙවන්නට එපා! දිව්‍ය පූජාව සමිඳුන් ගේ ජීවිත පූජාවේ අනුස්මරණයයි. ගැලවීමේ ලැබෙන්නේ නොමිලේයි... මේ නිසා ඊට මුදලක් ලබා දිය නොහැකියි"යැයි සිය දේශනා පිටපතින් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

දිව්‍ය පූජාවේදී මුදලක් නොගෙවා යම් කෙනෙකු වෙනුවෙන්  එම පූජාව ඔප්පු කල හැකි බව එතුමා පෙන්වා දුන්නේය.
"කිසියම් කෙනෙකු වෙනුවෙන් යාච්ඥා කරන්නට අවශ්‍ය නම්, ඥාතියෙකු හෝ මිතුරෙකුට යාච්ඥා අවශ්‍ය වන්නේ නම්, සත්ප්‍රසාදික යැදුම මොහොතේ ඒ තැනැත්තා ගේ නම මතක් කොට නිශ්ශබ්දව යාච්ඥා කරන්න. පූජාවේ නිහඬ අවස්ථා තිබෙන්නේ ඒ නිසයි" යි එතුමා කීවේය.

එසේම  තමාගේ කැමැත්තෙන් දිය හැකි පඬුරු ගැනද එතුමා උපදෙස් දුන්නේය.
"ඔබට කැමැත්තෙන් කිසියම් පඬුරක් පුදන්නට අවශ්‍ය නම්, පඬුරක් දීමෙහි වරදක් නැහැ. එහෙත් පූජාවට මුදල් ගෙවිය නොහැකියි" එතුමා අවධාරණය කළේය.

මේ වසරේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවේ තේමාව වී තිබෙන්නේ දිව්‍ය පූජා යාගයයි. එහි විවිධ කොටස් ගැන පසුගිය සතිවල කතා කල එතුමා, ස්තෝත්‍ර යාගික යැදුමේ පූර්විකාව සහ සත්ප්‍රසාදික යැදුම ගැන  මේ සතියේ කතා කළේය.

ස්තෝත්‍ර යාගික යැදුම (Eucharistic Prayer) දිව්‍ය පූජාවේ 'කේන්ද්‍රීය මොහොත' බව සුදොතුම් පියතුමා කියා සිටියේය. "ස්තෝත්‍ර යාගික යැදුම තුළ  සභාව කරුණු දෙකක් ප්‍රකාශ කරයි. එනම්  මෙම අබිරහස තුළ තමන් කරන්නේ කුමක්ද යන්න සහ  එය කවර හේතුවක් මත සමරන්නේ ද යන්නයි. අභිෂේක කරන ලද පූප සහ මිදිරස තුළ සැබැවින්ම වැඩසිටින ක්‍රිස්තුන් වහන්සේ සමග සහභාගීත්වය එහි අරමුණයි."

මෙම යැදුමේ පූර්විකාව (Preface)  ආරම්භ වන්නේ පුදැදුරුතුමන් සහ විශ්වාසික  ජනතාව අතර සංවාදයකිනි. "ඔබගේ හදවත් (සමිඳුනට) ඔසවන්න", "උන්වහන්සේට ස්තුති ප්‍රසංශා කරන්න" යයි මෙම සංවාදයේදී ජනතාවට ආරාධනා කරමින් පියතුමා ස්තෝත්‍ර යාගික යැදුම ආරම්භ කරයි. පුදැදුරුතුමා එහි සිටින සියල්ලන් වෙනුවෙන් ස්තෝත්‍ර යාගික යැදුම දෙවියන් වහන්සේ වෙත යොමු කරයි. මෙම යැදුමේ අර්ථය වන්නේ සමස්ත විශ්වාසික සංඝය ක්‍රිස්තුන් වහන්සේ සමග එක්සත්ව පූජාව ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ විශිෂ්ට ක්‍රියා වලට ප්‍රශංසා කිරීමයි" යි සුදොතුම් පියතුමා කියා සිටියේය.

මෙම එක්සත්බව ඇතිකර ගැනීම සඳහා දිව්‍ය පූජාව තේරුම් ගත යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනා පිටපතින් ඉවතට යමින් කියා සිටියේය. දෙවැනි වතිකාන කතිකාවේදී ජනවන්දනාව එක් එක් දේශීය භාෂා වලට පරිවර්තනය කිරීමට නිගමනය කරන ලද්දේ එය  එය  සියල්ලනට තේරුම් ගැනීමට හැකිවීම සඳහා බව එතුමා පෙන්වා දුන්නේය.

ස්තෝත්‍ර යාගික යැදුමේ පූර්විකාව දෙවියන් වහන්සේ ගේ තිලිණ වෙනුවෙන් කෙරෙන ප්‍රශංසාවක් බව සුදොතුම් පියතුමා කියා සිටියේය. මෙය කුඨප්‍රාප්තියට පැමිණෙන්නේ සියල්ලන් එක්ව "සුවිශුද්ධය, සුවිශුද්ධය , සුවිශුද්ධය" යැයි ගායනා කිරීමෙනි. මෙම ගීය ගායනා කෙරෙන අවස්ථාව ජන වන්දන්නාවේ වැදගත් මොහොතකි. මේ ගිය ගායනා කිරීමේ දී සිදුවන්නේ "දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සහ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීම සඳහා  දිව්‍ය පූජාවට සහභාගී වන සමස්ත විශ්වාසික සංඝය ස්වකීය හඬ දේවදූතයන් සහ සාන්තුවරුන් ගේ හඬ සමග එක් කිරීමයි." " එබැවින් 'සුවිශුද්ධය'  ගායනා කිරීම ඉතාම සුදුසු හා සුන්දර" බව එතුමා අවධාරණය කළේය.

පූප සහ මිදිරස අභිෂේක කිරීම (Consecration) දිව්‍ය පූජා අබිරහසේ උතුම්ම මොහොතයි. මෙහිදී ශුද්ධාත්මයාණන් ගේ ක්‍රියාකාරීත්වයෙන් සහ ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ කියූ වචන පුනරුච්චාරණය කිරීම මගින් එම පුප සහ මිදිරස සැබැවින්ම ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පරිවර්තනය වේ. ඇත්තෙන්ම එම  මොහොතෙන් පසු ජනතාව ප්‍රකාශ කරන 'විශ්වාසයේ අබිරහසෙන්'  (Mystery of Faith) ප්‍රකාශ වන්නේ එම සත්‍යතාව ම බව එතුමා පෙන්වා දුන්නේ ය.

(සේයාරුව: සුදොතුම්  පියතුමා සාන්තා මාර්තා ගෙදර දිව්‍ය පූජාව පැවැත්වූ මොහොතක්)




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය