සවැනි පාවුළු පාප්තුමන් සහ ඔස්කා රොමෙරෝ අගරදගුරුතුමන් සාන්තුවරයට එසැවීම ස්ථිරයි; අදාළ සභා නියෝගයට සුදොතුම් පිය අනුමැතිය

It is official: Pope Paul VI and Archbishop Óscar Romero are set for canonization; Pope Francis authorizes  the decrees 


(2018 මාර්තු 6)
සවැනි පාවුළු  පාප්තුමන් සහ එල් සැල්වදෝරයේ ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ සාන්තුවරභාවය සභාව විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ. මීට අදාළ සභා නියෝග පත්‍රයට ප්‍රන්සිස් සුදොතුම් පියතුමා අද සිය අනුමැතිය ලබා දුන්නේය.

සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග අද පැවැති පෞද්ගලික හමුවේ දී සුදොතුම් පියතුමා එම නියෝගයට අනුමැතිය දුන් බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය. මෙම භාග්‍යවන්තයින් දෙදෙනා සාන්තුවරයට  එසවීමට අවශ්‍ය ප්‍රාතිහාර්ය වල වාර්තාව මීට  කලින් සාන්තුවරයන් පිලිබඳ ක්‍රියාමාර්ග කොමිසමට ඉදිරිපත් කර තිබිණ.. කාදිනල් අමාතෝ හිමියන් සුදොතුම් පියතුමන් හමුවීමට පෙර රැස්වූ එම කොමිසමේ කාදිනල්වරුන්  සහ රදගුරු හිමිවරු  එම ප්‍රාතිහාර්ය මෙම භාග්‍යවරුන් දෙදෙනාගේ මැදිහත්කමින් සිදුවූ ඒවා ලෙස ඒකච්ඡන්දයෙන් අනුමත කළහ.

මෙම භාග්‍යවන්තයන් දෙදෙනා ගේ සාන්තුවරයට එසවීම කෙදිනක සිදුවේද යන්න ගැන කිසිවක් වතිකානය මෙතෙක් නිල වශයෙන්  නිවේදනය කර නොමැත. එහෙත් සුදොතුම් පියතුමන්ට සමීප ආරංචි මාර්ග පවසන්නේ සවැනි පාවුළු පාප් වහන්සේ ගේ සාන්තුවර මෙහෙය මේ වසරේ ඔක්තොබර මාසයේ පැවැත්වෙන රදගුරු සිනොඩ් කතිකාව මැද සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. රොමෙරෝ හිමියන්ගේ සාන්තුවරය ද එදිනම සිදිකිරීමේ ඉඩකඩ ඇතත් තවත්  විචාරකයන් පවසන්නේ ලබන වසරේ පැනමාවෙදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දින රැළිය අතරතුර එය පැවැත්වෙනු ඇති බවයි. ඊට හේතුව ලතින් ඇමෙරිකාව පුරා තරුණ තරුණියන් ඊට සහභාගී වීමට නියමිත බැවිනි. රොමෙරෝ අගරදගුරු තුමන් සමස්ත ලතින් ඇමෙරිකාවේම හද බැඳගත් රදගුරු හිමි නමකි.

මෙම දෙදෙනාගේම සාන්තුවරභාවයට එකවිට අනුමැතිය ලැබීම ද දෛවෝපගත සිද්ධියකි.ඊට එක හේතුවක් වන්නේ එම දෙදෙනාම සිය ජීවිත කාලයේ  මිතුරන් සේ එකිනෙකාට ඉතා සමීපව සිටි පුදැදුරුවරුන් දෙදෙනෙකු  වීමයි. දෙවැන්න දෙදෙනාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ගෞරවාදරයට ලක්ව සිටීමයි.

භා. සවැනි පාවුළු පාප්වහන්සේ 

දෙවැනි වතිකාන කතිකාව පරිසමාප්තියට පත්කරමින් සභාවට නවෝදයක් උදා කලේ සවැනි පාවුළු පාප් වහන්සේ ය. අද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට ප්‍රතිරෝධයක් එල්ල වන්නේ යම් සේ ද එදා   ප්‍රතිසංස්කරණ වල‍දී සවැනි පාවුළු පාප්තුමනට එරෙහිවද විරෝධතාවක් එල්ලවී තිබිණ. එහෙත් එතුමා ඒ සියල්ලට මුහුණ දෙමින් වතිකාන කතිකාව නිමාවකට ගෙනාවේය. අද භාවිත කෙරෙන ජනවන්දනා පිළිවෙත (දිව්‍ය පූජාව) කතිකාවේ නිගමන අනුව එතුමා විසින්ම ඉදිරිපත් කරන ලද්දකි. 

ඊට අමතරව එතුමා සමාජ විශ්ව ලේඛන ඇතුළු විශ්ව ලේඛන කිහිපයක්ම නිකුත් කළේය.

1967 දී සවැනි පාවුළු පාප්තුමා  “Populorum Progressio” හෙවත් "ජනතාවගේ ප්‍රගතිය" නම් සමාජ විශ්ව ලේඛනය නිකුත් කළේය. ඉන් පසුව 1968 දී දෙවන වතිකාන කතිකා නිගමන ක්‍රියාත්මක කිරීම නිමිත්තෙන් ලතින් ඇමෙරිකානු රදගුරු සම්මේලනය පැවැත්වූ  මහා සභා වාරයට සහභාගී වීම සඳහා එතුමා කොලම්බියාවේ මෙඩලින් නගරයට ගියේය. කතෝලික සමාජ දර්ශනයේ ප්‍රධාන කුළුණක් වන "දුප්පතුන් වෙනුවෙන් වූ  තෝරාගැනීම" (preferential option for the poor) යන ඉගැන්වීම සභාවේ ධර්ම දූතික මෙහෙවරේ සම්පූර්ණ කොටසක් ලෙස සභාව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද්දේ මේ සමුළුවේදීය. 

භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමි 

දේව ධර්මය පිලිබඳ විද්වතෙකු වන රොමෙරෝ හිමිපාණන් ගේ දූත සේවාවට අනුප්‍රාණය ලැබුනේ දෙවන වතිකාන කතිකාවේ ඉගැන්වීම්, සවැනි පාවුළු පාප්තුමා සහ මෙඩලින් සමුළුව වෙතිනි.

මේවා පිළිබඳව එතුමන් තුළ පූර්ණ අවබෝධයක් සහ කැපවීමක් තිබුනත් සන් සැල්වදෝර අගරදගුරු තුමන් ලෙස පත්වීමෙන් පසුව මුල්කාලයේ එතුමන් කටයුතු කලේ සම්ප්‍රදාය වාදියකු ලෙසය. එරට දුප්පතුනට සහ පීඩිත ගොවි කම්කරු ජනතාවට එරෙහිව එරට පාලක දක්ෂිනාංශික රෙජීමය විසින් එල්ල කරන ලද පීඩනයට එතුමා එතරම් සංවේදී භාවයක් දැක්වූයේ නැත.

එහෙත් අයිතිවාසිකම් අහිමි කරන ලද දුප්පතුන් හා ගොවීන් ගේ විලාපය සහ  ඔවුනට සිදුව ඇති අයුක්තිය පසුකාලීනව එතුමාට  දැනෙන්නට  පටන් ගත්තේය. දුප්පතුන් වෙනුවෙන් කැපවී සේවය කරමින් සිටි එතුමා ගේ ලබැඳි මිතුරකු වූ ජේසු නිකායික රුටිලියෝ ග්‍රන්ඩි පියතුමන් රෙජීමයට අයත් 'හඳුනා නොගත්' ඝාතකයන් පිරිසක් විසින් මහමගදී ඝාතනය කරන ලද්දේ මේ අතරය. රොමෙරෝ අගරදගුරු තුමා සිය මිතුරා මරා දමන ලද ස්ථානය බලන්නට වහාම එහි ගියේය. ග්‍රන්ඩි පියතුමා තවත් ගිහියන් දෙදෙනෙකු සමග ඔවුන් ගමන් කල මෝටර රථය තුළ ඝාතනය කර තිබු ආකාරය අගරදගුරුතුමා දැක්කේය. එතුමාගේ දූත මෙහෙවර පිලිබඳ පණිවිඩය සමිඳාණන් විසින් එතුමාට දෙන ලද්දේ එතැනදීය. "ඔවුන් (ඝාතකයන්) ග්‍රන්ඩි පියතුමාව එසේ මරා දැමුවා නම්, මමත් ගමන් කල යුත්තේ ඒ පාරේම බව මට එතැනදී වැටහුණා" යි රොමෙරෝ හිමියන් එවකට එල් සැල්වදෝරයේ ජේසු නිකායික ප්‍රාදේශීය නායක පියතුමන්ට පවසා තිබිණ.

ඉන් අනතුරුව රොමෙරෝ හිමියෝ සන් සැල්වදෝරයේ දුක් විඳින ජනතාවගේ හඬ බවට පත් වුනේය. "අද දෙවියන්  වහන්සේ ගේ වැඩ සිටීම යනු එල් සැල්වදෝරයේ පීඩා විඳින මේ දුප්පත් ජනතාවයි" කියා එතුමනට සිතෙන්නට ඇත. ("අද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම යනු රෝහින්ග්‍යා ජනතාව" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත්දා බංගලි දේශයේදී කියා සිටියේය.)

එවකට වතිකානයේ සිටි බොහෝ නායකයෝ රොමෙරෝ හිමිපාණන් ගේ සේවාව තේරුම් ගත්තේ නැත. එතුමා "විමුක්ති දෙවධර්මවාදියකු" බවට ඔව්හු චෝදනා කළහ. එහෙත් සවැනි පාවුළු සුදොතුම් පියතුමා එතුමා තේරුම් ගත්තේය.

"මම වතිකානයේ දී අවසන් වතාවට (සවැනි පාවුළු) පාප්තුමන් මුණගැසුණු අවස්ථාවේදී එතුමා බොහෝ   වෙලාවක්  මගේ දකුණතින්  අල්ලාගෙන හිටියා." යයි රොමෙරෝ අගරදගුරු තුමා පසු කලෙක පවසා තිබිණි. "ඔබ භාරගෙන තිබෙන මෙහෙවර කොච්චර දුෂ්කරද කියා මට තේරුම් ගන්න පුළුවන්. එහෙත් කෙනෙක්  ඉතා පහසුවෙන් එය වැරැදියට තේරුම් ගන්නත් පුළුවන්" යැයි එම හමුවේදී සවැනි පාවුළු සුදොතුම් පියතුමන් ප්‍රකාශ කර තිබිණි. 

එය එසේම විය. සිය රටේම වෙනත් රදගුරු හිමිවරුතන්, ලතින් ඇමෙරිකාවේ කාදිනල් හිමිවරුන්  සේම රෝම කියුරියා වෙනුත් එතුමාට සහය වෙනුවට ලැබුනේ බාධාය. හිරිහැර ය.  එහෙත්  එල් සැල්වදෝරයේ කුරිරු රෙජීමයේ පීඩනයට ගොදුරුව සිටි දුප්පත් ගොවි කම්කරු ජනතාව ගේ ජීවිත තුළ මුණගැසුණු ජේසු සමිඳුන් වෙනුවෙන් එතුමා දිගටම කැපවිය. ඔවුනට ආධාර කළේය. ඔවුන්ගෙන් උදුරාගනු ලබමින් සිටින ජීවිත හා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගුවේය.

අවසානයේ දී රෝහල් දෙව්මැදුරක උදෑසන දිව්‍ය පූජාව පවත්වමින් සිටි එතුමා සොයා ආණ්ඩුවේ කුලී තුවක්කුකරුවෙක්  පැමිණියේය.

දුක් විඳින දේව ජනතාව වෙනුවෙන් කැපවී සේවය කරමින් සිටියදී ඝාතනය කරන ලද  ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ සාන්තුවර ක්‍රියාමාර්ගය 1997 දී ආරම්භ කෙරිණ. එහෙත්  ජේසු සමිඳුන් ගේ ප්‍රේමයේ ඉගැවීමත් සභාවේ සමාජ දර්ශනයත් මටත් පදනම් වූ එතුමන් ගේ දූත මෙහෙවර තේරුම් නොගැනීම නිසා ඊට බොහෝ බාධා එල්ල විය. එම බාධා නිසා එම සාතුවර ක්‍රියා  මාර්ගය  අවහිරකොට තිබිණි. එය යළි ආරම්භ කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි.

2015 මැයි මාසයේදී රොමෙරෝ හිමියන් භාග්‍යවරයට ඔසවන ලදී.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය