"යෞවනයිනි, ජේසුගේ ආදරය වෙත දිව යන්න; එතුමන් හා පෙමින් බැඳෙන්න: මහ සිකුරාදා ධර්මදේශනය

"Run toward love of Christ" - Papal preacher tells youth on Good Friday

(2018 මාර්තු 30, මහසිකුරාදා)
ලෝකයේ ආත්මාර්ථකාමය නමැති දිශාවෙන් මිදී ප්‍රතිවිරුද්ධ දිශාවට දිව යාමට එඩිතර වන්නැයි  රැනියේරෝ කැන්ටලමෙස්සා පියතුමා තරුණ පරපුරෙන් ඉලා සිටියි. එම ප්‍රතිවිරුද්ධ දිශාව ස්ථානයක් නොවේ. පුද්ගලයෙකි. එනම් ජේසු සමිඳාණෝ යි එබැවින්  "කුරුසියේ ජේසු සමිඳුන් ගේ යාගික ප්‍රේමය වෙත දිව යන්නට එඩිතර වන්නැයි" එතුමා යොවුන් පරපුර දිරි ගන්වයි.

අද මහසිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ පැවැත්වුණු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය සැමරීමේ ගාම්භීර මෙහෙයේ ධර්මදේශනය මුළුමනින්ම කැපකර තිබුණේ ලෝකයේ කිතුනු තරුණ තරුණියන් වෙනුවෙනි. මේ වසරේ ඔකතෝබරයේ පැවැත්වීමට නියමිත තරුණයන්  පිලිබඳ සිනොඩ් රදගුරු කතිකාව සැලකිල්ලට ගනිමින් තරුණ පරපුර හා ජේසු සමිඳුන් අතර ඇති සම්බන්ධතාව  මෙම ධර්ම දේශනයේ තේමාව කරගෙන තිබිණි.

සාම්ප්‍රදායික ලෙස මෙම මෙහෙයේ ධර්ම දේශනය පවත්වන ලද්දේ සුදොතුම් පිය නිවසේ ධර්ම දේශක කැපුචින් නිකායික රැනියේරෝ කැන්ටලමෙස්සා පියතුමන්  විසිනි,

තරුණයන් තරුණියන් ඇමතූ මෙම  ධර්මදේශනදී  කැන්ටලමෙස්සා පියතුමා ඔවුන්  සුවිශේෂක ජුවාම් තුමාට සමාන කළේය. ඊට හේතුව ජුවාම් තුමා තුළ කැපී පෙනෙන යොවුන් ලක්ෂණ  කිහිපයක්  තිබීම බව කැන්ටලමෙස්සා පියතුමා කීවේය. එතුමන් ජේසු සමිඳුන් විසින් අපොස්තුලුවරයකු ලෙස තෝරාගනු ලැබූවේ  යෞවනයකුව සිටියදීය. එතුමා  ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය සිය ඇසින් දුටු සාක්ෂිකරුවකු වීම තවත්  සාධකයකි. එතුමන් තමන්ව  හඳුන්වා ගත්තේ  "ජේසු සමිඳුන් ප්‍රේම කල ශ්‍රාවකයා" ලෙසය. ජුවාම් තුමා සිය සුබ අස්න ලියුවේ සෙසු සුවිශේෂකවරුන් ලෙස ජේසු සමිඳුන් ගේ "ක්‍රියා සහ ඉගැන්වීම්" ප්‍රකාශ කිරීමට  නොව ජේසු සමිඳුන් නමැති පුද්ගලයා ප්‍රකාශ කිරීමට වීම තවත් සාධකයකි. ජුවාම් තුමා කෙතරම් "සමීපව" ජේසු සමිඳුන් හඳුනාගෙන සිටියේද යන්න මෙයින් පැහැදිලි වන බව  කැන්ටලමෙස්සා පියතුමා සිය දේශනාවේදී පේනවා දුන්නේය.

මෙම ධර්ම දේශනාවට අප සවන් දිය යුත්තේ මෙම පසුබිම තුළය

ලෝකයට ප්‍රවිරුද්ධ දිශාවට දුවන්න 

"නූතන ලෝකය සාතන් ගේ සහ පාපයේ බලයට ගොදුරු වී තිබේ. එය ශු. පාවුළු තුමා එපේසි වරුනට ලියූ ලිපියේ සඳහන්  අයුරු 'ගුවනේ ආත්මය' විසින් නතු කරගෙන ඇත. ශු. පාවුලු තුමාගේ එම සඳහන වර්තමානයේ දී එම වචනයේ වාචික අර්ථයට ගැලපෙන තේරුමක් ගනිමින්, එම 'ආත්මය ගුවන් තරංග සහ ඉලෙක්ට්‍රොනික මාර්ගවලින් පැතිර යමින් ඇතැයි" පියතුමා පෙන්වා දුන්නේය.

"මෙම ආත්මයට එරෙහිව කතා කිරීම හෝ සිතීම විකාරයක් ලෙස හෝ සාවද්‍ය ක්‍රියාවක් හා අපරාධයක් ලෙස සලකණු ලැබේ. එහෙත් කෙනෙකු මෙම ලෝකයේ ක්‍රමයට අනනුකුල අයකු බව සහතික කිරීමට ඇති හොඳම මාර්ගය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පිය නැගීමයි. එනම් දුක් විඳින්නන්, දුප්පතුන් සහ සමාජයේ පහලම ස්ථරයේ වෙසෙන්නන් වෙතින් ඉවතට නොව ඔවුන් වෙතට  පියනැගීමයි "

"තේරුම් ගැනීමට දුෂ්කර සත්‍යය මෙයයි: එනම්, අප අපව ලෝකයෙන් 'වෙන් කරගැනීමට' ඇති හොඳම මාර්ගය මෙම දුක් විඳින්නන් ගේ සහ සමාජයේ කෙලවරේ  සිටින්නන්ගේ ලෝකය සමග මුසුකරගැනීමයි. මන්ද  එහි තේරුම වන්නේ ලෝකය තමාට හැකි තරම් වේගයෙන් පලා යන දිශාව වෙත අප ගමන් කරනවාය යන්නයි.  එහි තේරුම ලෝකය පාලනය කරනු ලබන  ප්‍රධාන මූලධර්මය වන  ආත්ම කේන්ද්‍රීය බවින් (self-centeredness; තමන් ගැනම පමණක් සැලකීම) අප අපව වෙන්කර ගැනීමයි."

මෙම අදහස තේරුම් කිරීම සඳහා කැන්ටලමෙස්සා පියතුමා ඉංග්‍රීසි ජාතික කවියකු වූ ටී. එස් එලියට් ගේ කවි පදයක් උපුටා දැක්වීය:
"වරදින් පලායන මිනිසුන් පිරි ලොවක
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට යොමු වන පුද්ගලයන් පෙනෙන්නේ
පලා යන්නන් ලෙසය "
(“In a world of fugitives
The person taking the opposite direction
Will appear to run away.")

"දයාබර තරුණයිනි, තරුණියනි, ජුවාම් තුමා වැන්නකුට ඔබ ඍජුව ඇමතීමට ඉඩ දුන්නේ නම්, මෙවැනි අනුශාසනයක් ලැබෙනු ඇති: 'ප්‍රතිවිරුද්ධ දිශාවට යොමුවන තැනැත්තකු වන්න. ගඟ උඩහට පිහිනීමට ධෛර්යය ගන්න. අපට මෙම ප්‍රතිවිරුද්ධ දිශාව යනු ස්ථානායක්  නොවේ; පුද්ගලයෙකි. එම පුද්ගලයා ජේසු සමිඳාණෝ ය. අපගේ මිතුරා සහ ගැලවුම්කරුවා වන ජේසු සමිඳාණෝ" යැයි දේශනාවාදී කැන්ටලමෙස්සා පියතුමා අවධාරණය කළේය.

ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය සභාවට මෙතරම් වැදගත් ඇයි?

ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසියට  සභාව මෙතරම් දැඩි අවධාරණයක් දෙන්නේ මන්දැයි කන්ටලමෙස්සා පියතුමා විස්තර කළේය.

"එක් මතයකට අනුව සභාව එසේ කරන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේව “sub contraria specie" ආකාරයෙන් හෙළිදරව් කරන නිසාය. එහි අර්ථය නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගේ සැබෑ ස්වරූපයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් උන්වහන්සේ අපට ප්‍රකාශ වන බවයි. එනම් උන්වහන්සේ දුර්වල බව තුළ සිය බලය හෙළිදරව් කරන සේක;  මෝඩකම තුළ සිය ප්‍රඥාව ප්‍රකාශ කරන සේක;  දුප්පත්කම තුළ සිය පොහොසත්කම ප්‍රකාශ කරන සේක."

එහෙත් මෙම තර්කය කුරුසියට අදාළ නොවන  බව කැන්ටලමෙස්සා පියතුමා පෙන්වා දුන්නේය. "මන්ද කුරුසිය මත දෙවියන් වහන්සේ ස්වකීය සැබෑ ස්වරූපයෙන්, උන්වහන්සේ ගේ අතිමහත් ලෙන්ගතුකමින්, සමීපබවින් සහ සැබෑම යථාර්ථයෙන් ප්‍රකාශ වන නිසාය.මෙම යථාව නම් දෙවියන් වහන්සේ ප්‍රේමය බවය; යාගික ප්‍රේමය බවය; එම ප්‍රේමය රඳා පවතින්නේ ස්වත්‍යාජය මතය. ඇත්තෙන්ම, දෙවියන් වහන්සේ ගේ අනන්ත වූ  ස්ව-ත්‍යාගී හැකියාව  කෙතරම් දුරට ගමන් කළ හැකිදැයි විශිෂ්ට ලෙස ප්‍රකාශ වන්නේ කුරුසිය මතයැ"යි එතුමා කියා සිටියේය.

ජේසු සමග "ප්‍රේමයෙන් වෙලෙන්න"

ශු ජුවාම් තුමා සිය සුබ අස්නේ නිතරම තමන් හඳුන්වා ගන්නේ "ජේසු සමිඳුන් ප්‍රේම කළ ශ්‍රාවකයා" ලෙස බව කැන්ටලමෙස්සා පියතුමා පෙන්වා දුන්නේ ය. "ජුවාම් තුමා ගේ සුවිශේෂය මුළුමනින්ම යොමු වී ඇත්තේ ජේසු සමිඳුන් ගේ ක්‍රියා සහ ඉගැන්වීම් වෙත නොව  'ජේසු පුද්ගලයා' වෙතය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ජුවාම් තුමා ජේසු සමග "ප්‍රේමයෙන් වෙලී සිටීමේ" සැබෑ සහ පෞද්ගලික අත්දැකීමේ ගැඹුරු බවයි."

ජුවාම් තුමා, ජේසු සමිඳුන් වෙරල දිගේ ගමන් කරමින් සිටින විට උන්වහන්සේ  පසුපස ගමන් කර එම දවස උන්වහන්සේ සමග ගත කළ  ස්නාවක ජුවාම් තුමාගේ ගෝලයන් දෙදෙනාගෙන් එක් කෙනෙකු බව නිශ්චිත යැයි කන්ටලමෙස්සා පියතුමා කීවේය. එතුමාට මේ හමුවීමේ වෙලාව පවා - දසවැනි පැය ලෙස -   මතක  තුබූ බව පියතුමා සඳහන් කළේය.

"නූතන තරුණයන්ට උදව් කිරීම යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් දෙවියන් වහන්සේ සහ සභාව ඔවුන්ගෙන්   බලාපොරොත්තු වන්නේ කුමක්ද සහ  ඔවුනට සභාව වෙත  පිරිනැමිය හැක්කේ කුමක්ද යන්න  ගැන පමණක් නොව ජේසු සමිඳුනට ඔවුන් වෙත පිරිනැමිය හැක්කේ කුකද යන්නත් ඔවුනට තේරුම් කර දීමයි. ...ජුවාම් තුමා ජේසු සමිඳුන් සමග සිය අත්දැකීම විස්තර කලේ 'ආනන්දයේ පූර්ණත්වය' සහ 'ජීවනයේ බහුලත්වය' ලෙසය. මේ නිසා 'සුපුවතේ ආනන්දය' අපෝස්තලික හසුනේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කරන ආරාධනය පිළිගන්න ලෙස මම ඔබගෙන් ඉලා සිටිමි. එනම්, 'ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමග නැවුම් වූ පෞද්ගලික හමුවීමකට පිවිසෙන්න; නැතහොත් අවම වශයෙන් උන්වහන්සේට ඔබ සම්මුඛ වීමට ඉඩ දීම සඳහා  විවෘත වන්න' යන්නයි."

මෙය සෑම දිනකම නොවරදවා කරන ලෙස  පියතුමා සෑම තරුණ තරුණියකගෙන් ම ඉල්ලා සිටියේය. මන්ද කිසිදු පුද්ගලයකු ජේසු සමිඳුන්ගේ ප්‍රේමයෙන් බැහැර කරනු නොලබන නිසාය.

"ජේසු සමිඳුන් පෞද්ගලිකව මුණගැසුණු පසුව සියල්ල කළහැකි යැයි" පියතුමා අවධාරණය කළේය.

මානව ප්‍රේමය හා දේව ප්‍රේමය 

"තරුණයිනි, තරුණියනි, මානව ප්‍රේමය එය වැටී ඇති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීමේ මෙහෙවර ඔබ වෙත පැවැරී තිබේ. මේ වන විට ප්‍රේමය තමා අනෙක් තැනැත්තා  වෙත ත්‍යාග  කිරීමක් වෙනුවට තමා වෙත අයිති කරගැනීමක් බවට -ඇතැම් විට ප්‍රචන්ඩව   සහ අධිකාරීබවින් අයිතිකරගනීමක් බවට - පත්වී තිබේ. "

ග්‍රීක භාෂාව සහ ක්‍රිස්තු  ධර්මය අනුව ප්‍රේමය යන පදයට  ඇති සමානාර්ථ විස්තර කල පියතුමා ඒවා ජේසු සමග සම්බන්ධයට පාදක වන ආකාර පහදා දුන්නේය. “Agape” යනුවන් හැඳින්වෙන්නේ ජේසු සමිඳුන් කුරුසිය මත පෙන්වූ ස්ව-යාගික ප්‍රේමයයි. “Eros” යනු 'පිළිගන්නා, ලුහුබඳින, ආසාකරන, පෙරළා ආදරය ලැබීමෙන් ප්‍රීතියට පත්වන' ප්‍රේමයයි. "මෙම ප්‍රේම වර්ග දෙක එකිනෙකින් වෙන් කල නොහැකිය; ඒවා එකිනෙකට සම්බන්ධ වී තිබේ" යයි එතුමා කියා සිටියේය.

"දෙවියන් වහන්සේ මිනිසාට ආසා කරන අතර ඔහු කෙරෙහි දයාව ද දක්වයි. මේ නිසා දෙවියන් වහන්සේට ආදරය කිරීමට ඉගෙන ගැනීම යනු ආදරයේ, ආකර්ෂණයේ සහ  'eros' ප්‍රේමයේ ප්‍රීතිය ප්‍රතික්ෂේප කිරීම හෝ ත්‍යාජ  කිරීම නොවේ. එහෙත් එහි අදහස අනෙක් තැනැත්තා කෙරෙහි ඇති ආසාව තුළ   'eros' සහ  'agape' යන ප්‍රේමයන් එක්සත් කිරීමට ඉගෙන ගැනීමයි; අනෙක් තැනැත්තාට තමන් පිරිනැමීමට ඉගෙන ගැනීමයි. ...මෙය එක දවසකින් හෝ දෙකකින් කල හැක්කක් නොවේ. දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියකි."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය